[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දොඩම්පහලින් මතු වූ රුවන්මිණ

දොඩම්පහලින් මතු වූ රුවන්මිණ

අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම

"මහාවිහාරවංශාලංකාර ශාසන විභූෂණ අමරපුර ගණපාමොක්ඛාචරිය කල්‍යාණිවංශ කීර්ති ශ්‍රී වංගීසවංශාලංකාර විපස්සනා කම්මට්ඨානාචාර්ය අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ සුරතින් පිළිගැන්වීමේ මහෝත්සවය මේ මස (14) පස්වරු 3.00 ට පැවැත් වීමට නියමිතව තිබුණි."

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවිය හොබවා වදාළ, ධර්මපාල වංශාලංකාර ත්‍රිපිටක විශාරද, අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස උත්තරීතර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වර්ෂ 2021ක් වූ මාර්තු මස 22 වන දින අපවත් වී වදාළෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවිය සඳහා ජූලි මස 21 වන දින අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහානායක මාහිමිපාණන් වහන්සේ තෝරා පත් කර ගන්නා ලදහ.

අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම සම්භාවනීය ශාසනික පදවිය හෙබවීමට සැම අතින්ම සුදුසුකම් ලද මහා යතින්ද්‍රයන් වහන්සේ නමකි. පුරා විසි පස් වසරක් කල්‍යාණිවංශ නිකායේ මහානායක පදවිය හෙබ වූ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අද ලක්දිව වැඩසිටින මහානායක හිමිවරුන් අතර වැඩිම කාලයක් මහානායක පදවිය හෙබවූ ජ්‍යෙෂ්ඨතම මහානායක හිමිපාණන් වහන්සේ වෙති. ආරෝහ පරිණාහ දේහ සම්පත්‍යයෙන් යුතු, මනාව ශාසනික සම්ප්‍රදායන් සුරකින, අල්ප කතා ඇති, දුටුවන් පහදවන පුණ්‍ය සම්පත්‍යයෙන් මහානායක මාහිමිපාණන් වහන්සේ අනූන වෙති.

කිසිදු විටෙක මහණකම වරදවා නොගත් බව මහ නාහිමියන් වදාරන්නේ අප්‍රමාණ ප්‍රීතියකිනි. අසූ තුන් වැනි විය ඉක්මවා වැඩ සිටිය ද තමන්වහන්සේගේ කටයුතු මැනවින් සිදු කොට ගැනීමට මහනාහිමිපාණන් වහන්සේ හට තවමත් ශාරීරික යෝග්‍යතාව පවතී.

අමෙරිකාව, ඉන්දියාව, නේපාලය, වියට්නාමය, තායිලන්තය, මැලේසියාව, චීනය, තායිවානය, කැනඩාව, මියන්මාරය, සිංගප්පූරුව ඇතුළු රටවල් රාශියක ධර්ම ප්‍රචාරයෙහි නිරත වී ඇති මහ නාහිමිපාණන් වහන්සේ සුවිශේෂී යතිවරයාණන් වහන්සේ නමක වශයෙන් එම රටවලදී ද සම්භාවනාවට පත් වී තිබේ. කිරම විමලජෝති හිමියන්ගේ ඇරයුමෙන් තායිවානයේ සීමා සම්මතයක් සිදු කොට එරට කුල දරුවන් දස දෙනකු පැවිදි කොට සාමණේරයන් වහන්සේලා හය නමක් උපසම්පදා කරවීම නාහිමි දිවියේ වැදගත් සිදුවීමකි.

විහාරස්ථාන හැටක් සඳහා ත්‍රිපිටක පොත් වහන්සේලා පූජා කොට ඇත. තම උපන් ගමෙහි පසු කාලීනව ආරම්භ කළ දොඩම්පහල කනිටු විදුහලේ ඉගෙනුම ලබන සිසු දරුවන් වෙත වාර්ෂික ව අධ්‍යාපන ආධාර පිරිනැමීම ද නාහිමිපාණන් වහන්සේ නොකඩ කොට සිදු කරති.

තමන් වහන්සේ හට විද්‍යාලෝක පිරිවෙනේ ඉගැන්වීම් කටයුතු සිදු කළ රාජකීය පණ්ඩිත ගම්මැද්දේගොඩ පුඤ්ඤසාර මාහිමියන් වහන්සේ වෙත සිදු කරන ගුරු පූජාවක් වශයෙන්, එම මාහිමියන්ගේ ආධිපත්‍යයේ පැවති තෙල්වත්තේ තොටගමු රජමහා විහාරයේ තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමි ගුණසමරු පුස්තකාල ගොඩනැගිල්ල තනවා පූජා කළහ.

කල්‍යාණිවංශ නිකායේ උපසම්පදා කටයුතු සිදු කරන දොඩන්දූවේ ශෛලබිම්බාරාම මූලමහා විහාරාසන්න සීමාව නවීකරණය කරවීමට ද මහනාහිමිපාණන් වහන්සේ මූලිකත්වය ගත්හ.

අද වන විට කලපලුවාව ගෝතම තපෝවනය, මහනුවර උඩවත්ත කැලේ ශ්‍රී දළදා තපෝවනය, කෑගල්ල අභයභූමි තපෝවනය, මිහින්තලේ කළුදියපොකුණ අරහන්ත තපෝවනය, පදවිය දෙවියන්ගේ කන්ද තපෝවනය, කතරගම මාතික මාතා මධ්‍යස්ථානය, මස්කෙළිය සුමනාරාමය, මස්කෙළිය රිකාල්ටන් ජනපදයේ ජලනන්දාරාමය, ගාල්ල මිලිද්දුව සුදර්ශනාරාමය, කුඩාවැල්ලේ වාලූකාරාමය සේ ම අමෙරිකා එක්සත් ජනපදයේ බෞද්ධ මධ්‍යස්ථාන පහක් ද අතිපූජ්‍ය උත්තරීතර මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක වෙයි.

මහනාහිමිපාණන් වහන්සේ සම්බුදු සසුනෙහි අවිච්ඡින්න බව උදෙසා කුලදරුවන් විශාල ප්‍රමාණයක් පැවිදි කරවූහ. තමන් වහන්සේ වෙත පැවිදි නොවුණ ද උත්තරීතර මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ධර්මාන්තේවාසික ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා වශයෙන් ස්වකීය දිවිමඟ එකලු කර ගත් යතිවරයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වෙති. අමරපුර කල්‍යාණිවංශ මහා නිකායේ ශාස්ත්‍රීය කටයුතු බොහෝමයක් සඳහා දායකත්වය ලබා දෙන, තත් නිකායේ හිටපු වැඩබලන ලේඛකාධිකාරී, විද්‍යානිධි, පණ්ඩිත අම්බලන්ගොඩ සුමේධානන්ද ස්ථවිරයන් ඇතුළු ශිෂ්‍ය ස්වාමින්ද්‍රයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් ඒ අතර වෙති.

අභිනව උත්තරීතර මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මහරු මෙහෙවර අගයමින් බුහුමන් ලද අවස්ථා රාශියකි. කල්‍යාණිවංශ මහා නිකාය විසින් ‘කල්‍යාණිවංශ කීර්ති ශ්‍රී වංගීසවංසාලංකාර විපස්සනා කම්මට්ඨානාචාර්ය’ යන ගෞරවාභිධානය පිරිනමමින් තම මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මෙහෙවර ඇගයීමට පත් කළහ. අප සිරි සද්ධම්මවංස මහානිකාය මගින් ‘අමරපුර ගණපාමොක්ඛචරිය’ නාමයෙන් මහනාහිමිපාණන් වහන්සේ සම්භාවනාවට පත් කිරීමට ලැබීම අප ලද භාග්‍යයකි. සැදැහැති දායකවරයකු වූ ජයන්ත සුමනසේකර මහතා ප්‍රමුඛ අනගාරික ධර්මපාල පරෝපාකාර පදනම මඟින් උත්තරීතර මහනාහිමියන් එම පදනමෙහි උත්තරීතර අනුශාසක පදවියක පිහිටුවා ‘මහාවිහාර වංශාලංකාර ශාසන විභූෂණ’ අභිධානය පිරිනමා ඇත.

එසේම 2021 වර්ෂයේ දී බුරුම රජය මගින් ‘අග්ගමහාපණ්ඩිත’ ගෞරව උපාධිය පිරිනමන ලදී. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන මගින් 2021 දෙසැම්බර් මස පස් වන දිනට යෙදුණු විද්‍යාලංකාර පිරිවෙනේ 146 වන සංවත්සර උළෙලෙහි දී ‘ස්ථවිරවංශාලංකාර ශාසනකීර්ති ශ්‍රී’ නාමධෙය පිරිනමා අතිපූජ්‍ය උත්තරීතර මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සම්භාවනාවට පත් කළහ.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 17 සඳුදා පූර්වභාග 03.19 පුර පසළොස්වක ලබා 18 අඟහරුවාදා පූර්ව භාග 05.19 න් ගෙවේ. 17
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]