[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රහත් ඵලයට පැමිණ මිස මම මේ දානය නො වළඳමි

රහත් ඵලයට පැමිණ මිස මම මේ දානය නො වළඳමි

සද්ධාතිස්ස මහ රජතුමාගේ රාජ්‍ය සමයේ ඉතා දුප්පත් අඹු සැමි යුවළක් එදාවේල පිරිමහ ගනිමින් ජීවත් වුණා. ඔවුන් දෙදෙනාට සිටියේ එකම දියණියයි. රැකියාවක් කිරීමට තරම් කායික ශක්තියක් දෙදෙනාට ම නො තිබුණේ දැඩි රෝගී තත්ත්වයකින් පෙළුණු නිසා.

නිවසෙහි තිබුණු ධාන්‍ය අවසන් වීමෙන් පසු ගෙයි උපකරණ උකස් කරමින් සහ විකුණමින් ජීවිකාව ගෙන යන්න පටන් ගත්තා. එහෙත් නොබෝ දවසකින් ඒ සියල්ලත් ඔවුන්ට අහිමි වී ගියා. දියණිය පමණයි අවසානයේ ඔවුන්ගේ දුක සැප බැලීමට ඉතිරි වුණේ.

ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නාක් මෙන් දුක සේ ජීවත් වෙමින් සිටි ඔවුන්ට දුර්භික්ෂ සමයකට ද මුහුණ දීමට සිදු වුණා. මේ අතරේ ප්‍රභූ නිවෙසක දිවා සේවය කිරීමට සේවිකාවක් සොයන බව දියණියට ආරංචි වුණේ තමන්ගේ යහළුවකුගෙන්. ඇය වහා එහි ගොස් නිවෙස් හිමියා අමතා” ස්වාමීනි, මම ඔබගේ නිවසේ දිවා රාත්‍රී සේවය කරන්නම්. මගේ මව්පියන් රැක ගැනීමට මාහට වැටුපක් ලබා දෙන්න” යැයි ඉල්ලා සිටියා. ඇයගේ ඉල්ලීමට කැමැත්ත පළ කළ නිවෙස් හිමියා මසකට කහවණු දොළස බැගින් දීමට පොරොන්දු වුණා.

මව්පියන්ගේ රෝගයට ප්‍රතිකාර කරමින් දින, සති, මාස ගෙවා දැමුවා. ඇගේ බලාපොරොත්තුව ඉටුවෙමින් මව්පියන් සුවපත් වුණා. පියතුමා දියණිය මුදවාගෙන නිවසෙහි තබා සුපුරුදු අයුරින් වෙළඳාම් කිරීමට පටන් ගත්තා. දිනක් ගැල්වලට භාණ්ඩ පුරවාගෙන පිරිස සමඟින් පිහිටි රටේ සිට මායා රටට යාමට පිටත් වුණා. පා ගමනින් බොහෝ දුරක් දින ගණනක් ගමන් කිරීම එකල සිරිතයි.

ඔවුන්ගේ නඩයට පිහිටි රටේ ආරාමයක සිට මාගම ප්‍රදේශයේ ආරාමයකට වැඩම කරන එක් භික්ෂුවක් ද පිටත් වුණා. පළමු දින පිටත් වුණු පිරිස ආහාර අනුභව කර ගමන ආරම්භ කළා. සවස් සමයේ කිසියම් ස්ථානයක නතර වී ආහාර සකසා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි. එහෙත් එක් භික්ෂූන් වහන්සේ නමක් තමන්ගේ නඩය සමඟ පිටත් වී ඇති නිසා දිවා සමයේ දන් වළඳන වේලාව පැමිණියත් දානයක් දීමට ක්‍රමයක් සකසා ගැනීමට ගැල්කරු පියාට නො හැකි වුණා.

තමන් සතුව ඇත්තේ කහවණු අටක් පමණයි. ඒ සියල්ල සුරැකිව තබාගෙන සිටින්නේ වෙළඳාමට අවශ්‍ය කටයුතුවලටයි. පැමිණි නඩයේ අයගෙන් කිසිවකු හෝ කෑම පාර්සලයක් ගෙනැවිත් තිබේ’දැයි පළමුව විමසා සිටියා. එක් අයෙක් දිවා ආහාරයට නිවසින් කෑම පාර්සලයක් සකසා ගෙනවිත් තිබුණා. උපාසකයා ඔහු අමතා “පින්වත් මහත්මාණෙනි,” මට ඔබගේ කෑම පාර්සලය මිලදී ගන්න පුළුවන්ද? අපත් සමඟ මාගම බලා පිටත් වුණු එක් භික්ෂූන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. උන් වහන්සේට පිණ්ඩපාතය කිරීමට ළඟපාතක ගම්මානයක් පෙනෙනතෙක් මානයක නෑ. ඔබට මම එක් කහවණුවක් දෙන්නම් මට කෑම පාර්සලය දෙන්න”යි ඉල්ලා සිටියා. කෑම පාර්සලය හිමි තැනැත්තා ගැල්කරු අමතා

“සමාවෙන්න මහත්මාණෙනි, එය නම් දෙන්න විදිහක් නෑ”යි පිළිතුරු දුන්නා. දෙවැනි වතාවේ දී ගැල්කරු ඔහු අමතා, “පින්වත් මහත්මාණෙනි, මම ඔබට කහවණු දෙකක් දෙන්නම්. කෑම පාර්සලය දෙන්න”යැයි ඉල්ලා සිටියා. එම අවස්ථාවේදීත් ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ක්‍රමයෙන් කහවණු ගණන වැඩි කරමින් කහවණු අටම දීමට පොරොන්දු වුණා. ඒත් කෑම පාර්සලය ගැනීමට නො හැකි වුණා. අවසානයේ තමන්ගේ ගමනට එකතු කරගත් ධාන්‍ය පෙට්ටියක්, කහවණු අටත් දීමට පොරොන්දු වුණා. වෙන කිසිම වස්තුවක් තමන්ගේ ගමනට එකතු කරගෙන නැති බවත්, තමන් සතු වස්තුව මෙපමණක් ම බවත් පවසමින් ඒ සියල්ල ඔහුට දී කෑම පාර්සලය ඉතාම සතුටින් මිල දී ගත්තා.

ඔහුගේ සතුට දැන් කියා නිම කළ නො හැකියි . භික්ෂූන් වහන්සේ වෙත දිව ගිය ඔහු උන්වහන්සේට වන්දනා කර උන්වහන්සේගේ පාත්‍රයට එය පූජා කිරීමට සූදානම් වෙමින් සියලු පුවත් සැල කළා. කෑම පාර්සලය ශ්‍රද්ධාවෙන් යුතුව පිළිගන්වන බවත්, එය පිළිගෙන වළඳන ලෙසත් ආයාචනා කර සිටියා.

තෙරුන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළා. දෙවැනි වරටත්, තෙවැනි වරටත් නමස්කාර කරමින් තමන්ගේ දානය පිළිගෙන වළඳන ලෙසට ආරාධනා කළා. තෙවැනි වර සිදු කළ ආරාධනාවෙන් පසු මහත් වූ කරුණාවෙන් යුක්තව එය පිළිගෙන මෙසේ කල්පනා කළා. “සැදැහැවත් මේ උපාසකයා, බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාගේ ගුණ සිහිපත් කරමින්, දානයෙහි ආනිශංස දැක මහත් වූ වෙහෙසක් ගෙන, තමන් සතු සියලු වස්තුව මිල කර, ජීවිතාශාව ද නොතකා, ආර්ථිකය ද නො සලකා, අඹුදරුවන් ගැන ද නො සිතා, මා වෙත අද මේ දානය පිළිගැන් වූවා. මා තවමත් පෘථග්ජනයි. ඒ නිසා මේ දානය වැළඳීම ඔහුගේ පින අඩු කිරීමට හේතුවක්. ඔහුට මහත් වූ ආනිශංස ගෙන දීමට නම් රහත් ඵලයට පැමිණ මිස මේ දානය නො වළඳමි”යි සිතා, වහා අසල වනයට ගොස් සුදුසු ස්ථානයක් බලා හිඳ විදර්ශනා වඩන්න පටන් ගත්තා.

නොබෝ වේලාවකින් අර්හත්භාවයට පැමිණ දානය වැළඳුවා. උපාසකයාත්, පැමිණි පිරිසත් තෙරුන් වහන්සේගේ මෙම ක්‍රියාව දෙස බලා කරුණු වටහා ගත්තා. ක්‍රමයෙන් දින ගණනකින් පසු ගමන නිමා කළා. නිවසට ගිය ගැල්කරු හටගත් මහත් සතුටින් ඉපිළ යමින් දියණිය අමතා සියලු පුවත් සැල කළා. දියණියත්, මවත් එම පින් අනුමෝදන් වෙමින් සාධුකාර පැවැත්වූවා. එම ශබ්දය අසා සිටි සද්ධාතිස්ස මහ රජතුමාගේ රජගෙහි සේසතෙහි වසන දේවතාවාත් එම දානය අනුමෝදන් වෙමින් සාධු සාධු සාධු යැයි මහත් සේ කියා අනුමෝදන් වුණා. රජතුමා ඒ සාධු නාදය අසා අද මා දුන් දානයට මෙසේ සාධුකාර පැවැත් වූයේ යැයි සිතා ඔහුගේ සාධු නාදයට හේතු විමසා සිටියා.

ඒ අවස්ථාවේ දී “පුදුමයි, මෙතරම් දුෂ්කර දානයක් දුන්නේ ය”යැයි පවසා සිටියා. කවුරුන් විසින් කාහට එතරම් වටිනා පින්කමක් කළේ ද? යනුවෙන් තොරතුරු විමසා සිටි විට රජතුමාට සියලුම පුවත් පිළිවෙළින් ම ප්‍රකාශ කළා. රජතුමාත් පැහැදීමට පත්ව සාධු නාද පැවැත්වූවා. පසු දින රාජ පුරුෂයන් යවා අඹු සැමි දෙදෙනාත්, දියණියත්, රාජ මාලිගයට කැඳවා ඔවුනට සත්කාර සම්මාන පවත්වා, දියණිය තමාගේ ලේලි තනතුරෙහි ද තැබුවා.

දුෂ්කර අවස්ථාවක දී සිල්වතුන් උදෙසා ඉතා කුඩා පූජාවක් පවත්වා මෙලොව දී ම මහත් වූ සැප සම්පත් ලැබීමට ඔවුන් තිදෙනා ම භාග්‍ය සම්පන්න වුණා. එබැවින් හැකි සෑම විට ම අවස්ථාවක් ලද මොහොතෙහි ම තමා සතු කුඩා දෙයක් වුව සතුටු සිතින් දන් දී මෙලොව සහ පරලොව සැප ළඟා කර ගැනීමට කටයුතු කිරීම වැදගත් වෙනවා.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 17 සඳුදා පූර්වභාග 03.19 පුර පසළොස්වක ලබා 18 අඟහරුවාදා පූර්ව භාග 05.19 න් ගෙවේ. 17
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]