[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සත්‍යයට කැමැති නම් ධර්මයට ළං වෙන්න . . .

සත්‍යයට කැමැති නම් ධර්මයට ළං වෙන්න . . .

"පාපී අකුසල් කළහොත් දුක් සහිත නිරයට යනවා. පින් කළ තැනැත්තා සුගති සැප ලබනවා."

ගිනියම් වූ යකඩ ගුළියක් තිබෙනවා. හොඳට ම රත් වූ ඒ යකඩ ගුළිය දේව ඇදැහිල්ලක් අදහන ආගමිකයෙක් ඇවිත් අල්ලනවා. මොකද වෙන්නේ? අත පිච්චෙනවා. අපි හිතමු භෞතික විද්‍යාව අනුව ලෝකය දෙස බලන කෙනෙක් ඒ යකඩ ගුළිය අල්ලනවා.

අත පිච්චෙනවා. ආගමක් විශ්වාස නොකරන කෙනෙක් රත් වූ යකඩ ගුළිය ඇල්ලුවත් අත පිච්චෙනවා. බෞද්ධයෙක් ඇවිත් යකඩ ගුළිය අල්ලනවා. මොකද වෙන්නේ? ඒත් අත පිච්චෙනවා. ගිනියම් වූ යකඩ ගුළියේ ස්වභාවය, ගින්දරේ ස්වභාවය අල්ලන කෙනා දැවීම යි. ඒක ගින්නේ පොදු ස්වභාවයක්. ගින්නට ජාතිභේද, ආගම් භේද නැහැ. කුල භේද නැහැ.

ගින්න අසු වූ කෙනා දවනවා. ගින්න දවන ස්වභාවයෙන් යුක්ත යි. ඒ වගේම යි භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් සත්‍ය ලෝකයාට දේශනා කොට වදාළා. ඒ සත්‍යයට ආගම් භේද, ජාති භේද නැහැ. ලෝකයේ යම් දෙයක් සම්බන්ධයෙන් අසත්‍ය බොහෝ තිබෙන්නට පුළුවනි. එහෙත් සත්‍ය තිබෙන්නේ එක යි.

ඒ වගේම යි අ‍පගේ මේ ජීවිතයත්. ජීවිතය කියන දේ සම්බන්ධයෙනුත් තිබෙනවා බොරුව සහ සත්‍යය. බොරු නම් ගොඩක් තිබෙන්න පුළුවන්. ඒ බොරු අතරේ එකම එක සත්‍යයක් තිබෙනවා. ඒ එකම සත්‍ය ලෝකයාට දේශනා කළේ අපගේ බුදුරජාණන් වහන්සේ යි. භාග්‍යවතුන් වහන්සේ සත්‍ය පමණක් ලෝකය‍ට දේශනා කළ නිසා ‘සත්‍ය නාම’ යනුවෙනුත් හඳුන්වනවා.

මේ ජීවිතය තිබෙන්නේ මරණය තෙක් පමණ යි. මරණයෙන් මතු තමා කළ පව හෝ පින අනුව ඒ ඒ අය සාදා ගත් ලෝකවලට යනවා. එයයි මේ ජීවිතයේ තිබෙන සත්‍යය. පාපී අකුසල් කළහොත් දුක් සහිත නිරයට යනවා. පින් කළ තැනැත්තා සුගති සැප ලබනවා. ඒ නිසා පරලොව දී පිහිට පිණිස පවතින උතුම් වූ කල්‍යාණ කර්ම කරගත යුතු වෙනවා. පරලොව සැපය පිණිස පවතින්නේ තමා කර ගත් පින පමණ යි. අවිනිශ්චිත මේ ජීවිතය වයසක්, තැනක්, කුලභේදයක් නැතිව මරණය කරා රැගෙන යනවා. ‍

එනිසා මේ මනුස්ස ලෝකයේ ඉපදුණ අපට ජාති, ආගම්, කුල භේදයක් නැතිව කාරණා දෙකක් කරගත යුතුම යි කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා. පළමුවැන්න පින, කුසලය, යහපත, ගුණ ධර්ම දියුණු කර ගැනීම ආදී ලෙස තමාගේ ජීවිතයේ රැකවරණයක් හදා ගැනීම යි. එය නුවණැත්තා විසින් කළ යුතු දෙයක්. ගුණවතුන් ප්‍රශංසා කරන ජීවිතයක් හදා ගන්න මහන්සි ගන්න ඕනෑ. කෙටියෙන් ම තමාට තමා ගැන සැනසිල්ලක්, සතුටක්, රැකවරණයක් දැනෙන ජීවිතයක් හදා ගන්නට ඕනෑ. ඇයි අප කුසල් රැස්කර ගත යුත්තේ? පින් කර ගත යුත්තේ? අප‍ගේ ජීවිතය රැක ගන්න පුළුවන් පිනට පමණ යි. මේ ලෝකයේ අප ඒකරාශි කරන සෑම දෙයක් ම මිය යන මොහොතේ දී අහිමි වෙනවා. යම්තාක් දේ ගොඩනඟා ගෙන ළං කර ගන්නවා ද ඒ සියලු දේ මරණයත් සමඟ අහිමි වෙනවා.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ දෙවැනි කාරණය නම් තමාගේ ජීවිතය ගැන හොඳීන් අවබෝධ කර ගන්නට මහන්සි වියයුතු බවයි. ජීවිතය ගැන තේරුම් ගැනීමේ දී ඔබ සත්‍යයට කැමැති නම්, ඒ සත්‍යය තේරුම් ගතයුතු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් අප හැම දෙනාට ම සැනසිල්ලේ ද්වාරය විවිර කරනු ලැබුවා. සැනසිල්ලේ ද්වාරය කියා වදාළේ බුදුරදුන්ගේ ශ්‍රී සද්ධර්මය යි.

එනිසා අපි මේ ජීවිතයේ සත්‍යය ‍ඉගෙන ගත්තොත්, කුසල් රැස්කර ගැනීමට මහන්සි වුණොත් අපේ ජීවිතයට රැකවරණයක් ලැබෙනවා. මේ ජීවිතයේ අපට ලැබිය හැකි උතුම් රැකවරණය එය යි.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ අලුත මෙම සිදුවීම සිදුවූයේ. අපගේ මහාකච්ඡායන මහ රහතන් වහන්සේ වන සෙනසුනක කුටියක වැඩ සිටිද්දී ඒ සේනාසනය අසලට තරුණ කුමාරයෙක් පැමිණියා. ඒ අස්සක රජුගේ පුතා වූ සුජාත කුමාරයා. සුජාත කුමරු දුටු විට රහතන් වහන්සේ දුටුවා කුමරුගේ අනාගතය ගැන. ඔහුට ජීවිත්වීමට තිබෙන්නේ තව කෙටි කාලය යි. ඉදිරියට මාස පහක් පමණ යි. තරුණ වයසේ දී ම මේ ලෝකය අත් හරින්නට ඔහුට සිදුවෙනවා. ඒ සුජාත කුමරු මහාකච්ඡායන මහ රහතන් වහන්සේට වන්දනා කර ඒ අසලින් අසුන් ගත්තා.

“කුමාරය, ඔබ තරුණ වයසේ සිටින්නේ. ඔබ සැප සම්පත් මැදයි හැදී වැඩෙන්නේ. එහෙත් මම දැන් ඔබට කියන්නේ දුක්මුසු ආරංචියක්. ඔබ තව මාස පහක් ඇතුළත මරණයට පත්වෙනවා.”

“අනේ ස්වාමිනි, ඔබ වහන්සේ මට පිහිට වෙනවා ද? මට තරුණ කාලයේ නො මැරී සිටින්න පුළුවන් දෙයක් තිබෙනවා නම් කියා දෙන්න. මම අස්සක රජුගේ පුතා. ඕන දෙයක් මම කරන්නම්.”

“සුජාත කුමාරය, මර‍ණයෙන් බේරෙන්න පුළුවන් ශිල්පයක් මේ ලෝකයේ නැහැ.

ඔබට කළහැකි මරණයට පෙර ජීවිතයට ආරක්ෂාවක් හදා ගැනීම පමණ යි.”

“ස්වාමිනි, මම හදාගත යුතු ආරක්ෂාව කුමක් ද?”

“කුමාරය ඔබ බුද්ධං සරණං ගච්ඡාමි කියා බුදුරජාණන් වහන්සේ සරණ යන්න. උන්වහන්සේ තමා මේ ලෝකයට සත්‍යය දේශනා කළේ. මේ ජීවිතයේ වයසට යාම කියා දුකක් තිබෙනවා. ලෙඩවීම, මරණය, පි‍්‍රය අයගෙන් වෙන්වීම, අපි‍්‍රය අමනාප අය හා එක්වීම ශෝක වැළපීම්, දුක් දොම්නස් කියා දුකක් ති‍බෙනවා. ජාති, ආගම් කුල භේදයක් නැතිව අප කවුරුත් කැමැතියි වයසට නොයා ලෙඩ නොවී, සැනසිල්ලේ ජීවත් වෙන්න. කොතරම් කැමැති වුවත් එය ලැබෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒ ඇත්ත දේශනා කළ ශාස්තෘන් වහන්සේ සරණ යන්න. එවිට ඒ කුමාරයා බුද්ධං සරණං ගච්ඡාමි කියා බුදුරජාණන් වහන්සේ සරණ ගියා.”

“කුමාරය, ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් සද්ධර්මය සරණ යන්න. ඒ කුමාරයා ධර්ම රත්නයත් සරණ ගියා.”

“කුමාරය, මේ ලෝකයේ බොහෝ දෙනා බොරුව පසුපස ම යනවා. අසත්‍ය පසුපස යන පිරිස අතරේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඇලුම් කරන පිරිස, ධර්මයේ හැසිරෙන පිරිස ඒ ශ්‍රාවක සංඝ රත්නය යි. ඔබ ඒ ශ්‍රාවක පිරිස සරණ යන්න. එවිට කුමාරයා සංඝං සරණං ගච්ඡාමි කියා සඟ සරණ ගියා.

මහ රහතන් වහන්සේ වදාළා කුමාරය, ඔබ දැන් සතුන් මරන්න එපා, අනුන්ගේ දේ සොරකම් කරන්න එපා, වැරැදිකාම සේවනය කරන්න එපා, බොරු කියන්නත් එපා. මත්ද්‍රව්‍ය පාවිච්චි නොකර පන්සිල් සමාදන් ව හැසිරෙන්න කියා වදාළා. කුමාරයා පන්සිල් සමාදන් වුණා.

‍තෙරුන් වහන්සේ තමන් වහන්සේ සතුව තිබූ ධාතුන් වහන්සේ නමක් සුජාත කුමාරයාට ලබා දුන්නා. ඒ ධාතුන් වහන්සේ තමයි සුගත තථාගතයන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ. කුමාරය‍ා ඒ ධාතුන් වහන්සේ මාලිගාවට වඩම්මවා තිසරණයේ පිහිටා, සිල්පද ආරක්ෂා කරමින්, ධාතුන් වහන්සේ පුදමින් ජීවත් වුණා. ටික කලකින් ඔහු මිය ගියා. නිදා පිබිදියා වගේ ඒ කුමාරයා තිව්තිසාවේ දෙවියන් අතර උපන්නා. ජීවිතයට ආරක්ෂාව ලැබුණා.

එනිසා අපි තේරුම් ගත යුතුයි මේ ලෝකයේ අපි ඉගෙන ගන්න කිසිම විෂයයකට ඒ ආරක්ෂාව සලසා දෙන්න බැහැ. ඒ ආරක්ෂාව සැලසෙන්නේ තෙරුවන් සරණේ පිහිටා, සිල්පද රැකගෙන ධාතුන් වහන්සේ, පිළිම වහන්සේ, බෝධින් වහන්සේ වන්දනා කරමින් ජීවිතයට අපමණ පින් රැස්වෙන පින් කිරීමෙන් පමණයි.

උඳුවප් අමාවක පෝය

ජනවාරි 02 ඉරිදා පූර්ව භාග 03.43 න් අමාවක ලබා 03 සඳුදා පූර්වභාග 00.05 න් ගෙවේ. 02 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]