[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මෙවර ජයග්‍රාහී නිර්මාණය

අපේ ගෞතම බුදුපියාණෙනි

කෙලෙස් ගිනි වැද දැවුණු සතහට දහම් ඔසු දුන් වෙදැදුරාණෙනි
දැවුණු හදවත් අමා දම් ඉස සනසවාලු බුදුපියාණෙනි
උතුම් නිවනට මඟ කියා දුන් සිරිමතාණෙනි
නෙළුම් කඩුපුල් පුදා වඳිනෙමි පා කමල් යුග බුදුපියාණෙනි

දුගී පැල්පත සිටුමැදුර වෙත එකම නෙත හෙළු බුදුපියාණෙනි
රහල් කුමරුට අඟුල්මල්හට එකම නෙත හෙළු බුදුපියාණෙනි
පිහිට වන්නේ කාටදැ’යි ලොව දිවැස් හෙළු සම්බුදු පියාණෙනි
නෙළුම් කඩුපුල් පුදා සිරිපා බැතින් නමදිමි බුදුපියාණෙනි

සුභා ඛේමා සෝණ චාලා සරණ පැතු දින බුදුපියාණෙනි
අතිර පස් කඳ දෙසට යොමුකර සසර දිනවිය බුදුපියාණෙනි
අවිදු අඳුරේ ඇවිද ගිය අපි එළිය ලැබුවෙමු දම් රජාණෙනි
නෙළුම් කඩුපුල් පුදා වඳිනෙමි පා කමල් යුග බුදුපියාණෙනි


සමුගත් පුතනුවනි

හිටිහැටියේ ම ඔබ අප අතහැර දමලා
ගියෙ ඇයි මගෙ පුතේ අපගෙන් දුරස් වෙලා
ක්ෂණිකව එය අසා මගෙ හද දෙකඩ වෙලා
වෙන්වන බවක් දැනුණා ළය සිදුරු වෙලා

මගෙ මුව අගුළු වැටිලා කත් බිහිරි වෙලා
මුළු සිරුර ම පණ නැති වි වෙව්ලනවා
බුදු රුව වෙතට ගොස් පහනක් දල්වාලා
පැතුවෙමි පුතේ නිවනෙහි දොර හැරෙන ලෙසා

සමුගෙන ගියත් පුතුනේ ඔබෙ සුවඳ මට
උණුසුම සමඟ ගෙන දෙයි හද විවර කොට
සිටියත් කවුරු මාගේ තනි නොතනියට
නැහැ ඔබ තරම් මැණිකක් මේ ලොවෙහි මට

සෙනෙහස ඔබේ ප්‍රබලයි මව් සනසන්න
ඔබ වෙහෙසුණා ඔබෙ දරුවන් රැක ගන්න
නොසිතූ විලස අප හැම අතහැර යන්න
සිදුවිය ඔබට මට බැහැ මෙය ඉවසන්න

මිහිදන් වුවත් ඔබගේ ගත මගෙ පුතුනේ
ඉතිරි කළා ඔබ මනුසත්කම වරුණේ
ඔබ පින් පිඩකි ආදරබර මගෙ පුතුනේ
දොරටුව හැරේවා නිවනෙහි භව ගමනේ

පියකරු ඔබේ හදවත මැනවින් දිලුනා
ගරු සැලකිල්ල කාගෙත් ඔබ හට ලැබුණා
මිහිකත පවා හඬනා හඬ මට දැනුනා
මගෙ රත්තරං සෙනෙහේ උල්පත සිඳුණා

ඔබ භාවනාවෙකි මගෙ හද තුළ වැඩිය
ජීවත් වෙන්න මට ඔබ දුන්නා සවිය
දිවි මග කෙටි වුණත් සසරේ මඟ දිගය
මගෙ පුතු රොෂාන් ඔබ මට සෙත් පිරිතක් ය


පිළිවෙත් රකිමු

පස් පවින් වැළකෙන්න
බුදුසරණින් සුරැකෙන්න
එක් රැස් වී නොසිටින්න
කොරෝනාව දුරලන්න

එකම පිහිට ඇත්තේ බුදු හිමි සරණ
බණ දහමින් දෙන්නේ උපදෙස් වරුණ
කවියෙන් පවා දෙයි ජීවය රැක ගැනුම
දුරස්වෙලා රෝගය දුරලමු මැනව


නිහඬ සිතක් ළඟ

සිතක්
සිත් ගොඩක්,
නිහඬ වී
දුරක ගිය
සිතක් ළඟ
සිත් ගොඩක්...
යනෙන සිත්
ගැටෙන සිත්
නොයන්නට දුර
සිතන සිත්
නොදැන ගමනක
අතරමං වී
සිතක් ළඟ
සිත් ගොඩක්.......
ගමන දුර සිත්
මුළා වී සිත්
පමා වී සිත්
පරවෙලා සිත්
දැවෙන සිත්
සිතක් ළඟ
සිත් ගොඩක්..........
එතෙර යන්නට
සිත් නොවී
උතුම් සැනසුම
නොපෙනෙනා සිත්
සසර ගමනේ
දුක වෙළා සිත්
සිතක් ළඟ
සිත් ගොඩක්....
තනිවෙලා සිත්
හඬන සිත්
පිරි කඳුළැලි
ගලන සිත්
සුමිහිරි දම් හඬ
නො ඇසෙනා සිත්,
නිහඬ සිතක් ළඟ
සිතක්
සිත් ගොඩක්......


සසර දුක

බඹයක් පමණ සිරුරෙන් ඇති වැඩක් නැති
දෙතිස් කුණුපයට පිළිකුල් දැනෙනු ඇති
එනමුත් වටිනකම හිතුවට නිමක් නැති
මෙ තුළම නැණවතුට වටිනා කමක් ඇති

ඇඳුමෙන් විලාසිතයෙන් හැඩ කරන ගත
කැටයම් දමා ඔපගන්වන විටදි වත
දුටුවන් පිනා යන්නේ කුමකට ද සිත
සසරෙහි අරුත නැණවත මේ තුළ ම ඇත

මම මගෙ යැයි කිසිත් අරගන්නට ම නැත
ආදරයෙන් වැළඳගත් කිසි දෙයක් නැත
පෙන්වා දෙන විටදි දුක අනියත නියත
සැනසෙන්නට පතමි සමිඳුගෙ දහම මත

ගන්නට කිසිත් නැත වෙන් කර බැලුවාම
පිළිකුල මෙන්ම අස්ථිර බව දැනුනාම
බුදු හිමි දෙසු දහම තුළ ඇති හැමදේම
බඹයක් කැටිව ඇත එහි සිටිනව ද මම


සිත

වටකරලා වැට බඳින්න
සීමා මායිම් නොදනිමි
විවරව ඇති කවුළු තුළින්
සොර සතුරන් පැමිණෙනවා

සොරු කිසිවක් රැගෙන නොයති
සොර පදවිය මාවෙත දෙයි
මගෙ ඇඟපත මගේ වදන්
කිළිටිවෙලා ලෙඩ වෙනවා


උඳුවප් අමාවක පෝය

ජනවාරි 02 ඉරිදා පූර්ව භාග 03.43 න් අමාවක ලබා 03 සඳුදා පූර්වභාග 00.05 න් ගෙවේ. 02 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]