[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විදුලකර පිරුවන්පති නාවින්නේ ශ්‍රී සුගුණධම්ම නාහිමි

විදුලකර පිරුවන්පති නාවින්නේ ශ්‍රී සුගුණධම්ම නාහිමි

 

පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති සහ අධ්‍යක්ෂ, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ගමහාසද්ධම්මජෝතිකධජ, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය ධුරන්ධර ආචාර්ය, වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ විද්‍යාලංකාර පරිවේණාධිපති පදවිය සඳහා පසුගියදා රැස් වූ විද්‍යාලංකාර සභාව විසින් විද්‍යාලංකාර පිරුවනේ වැඩබලන පරිවේණාධිපති, නාවින්නේ කීර්ති ශ්‍රී සුගුණධම්මාභිධාන කොළඹ හලාවත දෙදිසාවේ උප ප්‍රධාන සංඝ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ තෝරා පත් කොට ගන්නා ලදි.

පෙරදිග මහා තක්ෂිලාව ලෙසින් විරුදාවලි ලත් පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනෙහි පරිවේණාධිපති පදවිය මෙරට සම්භාවනීයතම ශාසනික ඨානාන්තරයකි. වර්ෂ 1875 නොවැම්බර් මස පළමුවැනි දින බෝධිසත්ව ගුණෝපේත රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ ආරම්භ කොට තදනන්තරව සාර්වභෞම පණ්ඩිත රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමි, සාහිත්‍යශූරී පණ්ඩිතාචාර්ය ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නාහිමි, ආගමචක්‍රවර්තී පණ්ඩිතාචාර්ය කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමි, සාර්වභෞම පණ්ඩිත සාහිත්‍යචක්‍රවර්තී යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමි, විනයාචාර්ය නාත්තන්ඩියේ ශ්‍රී ප්‍රඥාකර නාහිමි සහ ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමි යන මහා යතීන්ද්‍රයන් වහන්සේලා ශෝභාවත් කළ විද්‍යාලංකාර පිරුවනෙහි පරිවේණාධිපති ධුරය හොබවන අටවැනි නාහිමිපාණන් වහන්සේ නාවින්නේ සුගුණධම්ම නාහිමිපාණන් වහන්සේ ය.

අතිගරු නාවින්නේ සුගුණධම්ම නාහිමිපාණන් වහන්සේ විද්‍යාලංකාර පරිවේණාධිපති ධුර හෙබ වූ කිරිවත්තුඩුවේ සහ යක්කඩුවේ නාහිමිපාණන් වහන්සේලා විසින් අතීත විද්‍යාලංකාර සම්ප්‍රදාය අනාගතය කරා සම්ප්‍රේෂණය කිරීම උදෙසා පැවිදි කර මැනවින් හික්මව වූ ‘දස ධම්ම’ යනුවෙන් හඳුන්වන ශිෂ්‍යවරුන්ට පසු පැවිදි කළ කනිෂ්ඨතම ශිෂ්‍යවරයන් වහන්සේ සේ ම එම පිරිසෙන් සුජීවත්ව සිටින අවසාන ස්වාමිපාදයන් වහන්සේ ද වෙති. එසේම විද්‍යාලංකාර සඟ පරපුරෙහි දැනට වැඩසිටින ජ්‍යෙෂ්ඨතම සංඝ පීතෘවරයාණන් වහන්සේ ද නාවින්නේ සුගුණධම්ම නාහිමිපාණන් වහන්සේ ය.

වර්ෂ 1949 ජූලි මස 06 වැන දින කොළඹ දිස්ත්‍රික්කයේ සල්පිටි කෝරළයේ පල්ලේපත්තුබද නාවින්න ග්‍රාමයේ විසූ විජේසිංහ ආරච්චිගේ පීටර් විජේසිංහ මැතිතුමාගේ සහ පලිහවඩන ආරච්චිගේ නන්දා පලිහවඩන මැතිණියගේ පුත් රුවනක ලෙසින් ජන්මලාභය ලද නාහිමිපාණන් වහන්සේ මෙත්තානන්ද යයි නම් ලැබූහ. කැලණිය ගෝනවල ප්‍රදේශයේ නැන්දනියක වාසය කළ බැවින් විද්‍යාලංකාර පිරුවනේ යතීන්ද්‍රයන් වහන්සේලා ආරම්භ කළ කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමට නාහිමියන් භාග්‍යවත් විය.

විද්‍යාලංකාර පිරුවනට අනුබද්ධ ගෝණවල වර්ධනාරාමාධිකාරීව වැඩ විසූ ධර්මාචාර්ය මාපිටිගම ගුණරතන නාහිමිපාණන් වහන්සේ තමන්වහන්සේ සන්තක වූ එකම බිම් කොටස වූ අද පන්නිපිටිය විද්‍යාලංකාර පිරුවන පිහිටි අක්කර තුනක බිම් කොටස විද්‍යාලංකාර පිරුවනට අනුබද්ධ පිරුවනක් ආරම්භ කිරීම පිණිස පුද දුන් අතර, එම පින්කමෙහි සුවිශේෂී අංගයක් වශයෙන් ඊට නුදුරු නාවින්නේ උපත ලබා ගෝණවල හිඳීමින් අධ්‍යාපන කටයුතු කළ මෙත්තානන්ද කුල කුමරුන් වර්ෂ 1964 මැයි මස 21 වැනි දින කිරිවත්තුඩුවේ සහ යක්කඩුවේ නාහිමිපාණන් වහන්සේලා ආචාර්ය උපාධ්‍යාය කොට ගනිමින් නාවින්නේ සුගුණධම්ම නමින් සසුන්ගත කරවීය.

පන්නිපිටියේ විද්‍යාලංකාර පරිවේණස්ථානයේ කෘත්‍යාධිකාරී ව වැඩ සිටි වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, ආචාර්ය වැලමිටියාවේ ධම්මරක්ඛිත නාහිමි, ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමි ප්‍රමුඛ ඇදුරු මඬුල්ල පා සෙවණෙහි වර්ග පටිපාටියෙන් ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය සිදු කළ සුගුණධම්ම හිමිපාණන් වහන්සේ පිරුණු විසි වයස් ඇතිව 1971 මැයි 20 වැනි දින මහනුවර මල්වතු මහා විහාරයේ රාජපූජිත මංගලෝපෝෂථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත සුපරිශුද්ධෝපසම්පදාව ලදහ.

1970 වර්ෂයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් ව ගණිතය සහ සංඛ්‍යානය විෂයයන්ගෙන් 1974 වසරෙහි ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය සහ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව හිමි කර ගන්නා ලද නාහිමිපාණන් වහන්සේ පන්නිපිටිය විද්‍යාලංකාර පිරුවනෙහි සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආචාර්ය පදවි හෙබවූහ, නුවරඑළිය හැදුණුවැව මධ්‍යවිද්‍යාලයේ ආචාර්ය පදවියකට පත් වෙමින් 1976 රජයේ ගුරුසේවයට එක් වූ නාහිමිපාණන් වහන්සේ 1977 සිට 1988 වසර දක්වා කොළඹ නාලන්දා විද්‍යාලයේ ද ඉන් පසු කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ද, ධර්මාචාර්ය හිමිනමක ලෙස ක්‍රියා කොට 1990 වර්ෂයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරුවන් ඒකකයේ ගණිත පාඨමාර්ග උපදේශක හිමිනමක වශයෙන් සේවය කොට 2004 වසරේ විශ්‍රාම ලැබූහ.

රාජකාරිය අතරතුර පරිවේණාධිපති නාහිමිපාණන් වහන්සේලාගේ දැන්වීම පරිදි විද්‍යාලංකාර පිරුවනෙහි ආචාර්යයන් වහන්සේ නමක වශයෙන් කටයුතු කළ සුගුණධම්ම නාහිමිපාණන් වහන්සේ වෙත ගෝණවල වර්ධනාරාම විහාරස්ථානය සකලාංග පිරිපුන් විහාරස්ථානයක් බවට ස්වකීය ජ්‍යෙෂ්ඨ පැවිදි සහෝදර සියඹලාගහරුප්පේ විජිතධම්ම මාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ විද්‍යාලංකාර පිරුවනේ උපපරිවේණාධිපති පදවියෙහි වගකීම් 2007 වසරේ දී පැවරුණි. විද්‍යාලංකාර පිරුවනෙහි අධ්‍යයන අංශාධිපති පදවිය ද නාහිමියන් විසින් දරන ලදී. ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ ගිලන් භාවයට පත් වීමෙන් පසු වැඩ බලන පරිවේණාධිපති පදවියෙහි වගකීම් උසුලන ලද නාහිමිපාණන් වහන්සේ වෙත 2020 වර්ෂයේ දී මල්වතු මහා විහාරය මගින් කීර්ති ශ්‍රී නාමධෙය සහිතව කොළඹ හලාවත දෙදිසාවේ උපප්‍රධාන සංඝ නායක පදවිය පුද දෙන ලදී.

තමා හමුවට පැමිණෙන කා හටත් අනතිමානී ගුණයෙන්, කාරුණිකව සලකන අභිනව නාහිමිපාණන් වහන්සේ හට විද්‍යාලංකාර ගුරුකුලයේ අතීත අභිමානය ප්‍රතිෂ්ඨාපනය කිරීම පිණිස ආයු ආරෝග්‍යාදී සම්පත් සකලාභිවෘද්ධිසාධනය වේවා යි ප්‍රාර්ථනා කොට සිටිමු.

උඳුවප් අමාවක පෝය

ජනවාරි 02 ඉරිදා පූර්ව භාග 03.43 න් අමාවක ලබා 03 සඳුදා පූර්වභාග 00.05 න් ගෙවේ. 02 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]