[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාව

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාව

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ වත්මන් මහානායක ධුරන්ධර ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ප්‍රතිනිර්මාණය කරන ලද සිරි මංගල උපෝසථාගාරය පිළිබඳ සන්නස් පත්‍රය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වූ අවස්ථාව

ලක්දිව මහණ උපසම්පදාව ආරම්භ වූ දින පටන් ම ඒ ඒ අවස්ථාවන්හි නැවත නැවත උපසම්පදාව පිහිටුවීමේ දී ද, උපසම්පදාව වෙනත් රාජ්‍යයක් වෙත යැවීමේ දී ද එම කටයුතු සිදුකොට ඇත්තේ රාජ්‍ය අනුග්‍රහයෙනි. ලක්දිව උපසම්පදා විෂයයෙහි යම් යම් බලපෑම් කතිකාවත් හරහා සිදුව ඇති බව දක්නට ලැබේ.

දඹදෙණි කතිකාවතෙහි සඳහන්, නියමය අනුව රාජ සම්මතයෙන් තොරව නොයෙක් නොයෙක් ස්ථානයන් හි උපසම්පදාව නොකොට යුතු කරුණකි. නුවර යුගයේ දී සියම් උපසම්පදාව පිහිටුවීමේ දී ද මේ කරුණ පිළිබඳ අවධානය දක්වා ඇත. මේ ආකාරයෙන් රජු විසින් සම්මත කරනු ලැබුවේ තත්කාලීන සමාජ ගැටලු ආදි නොයෙක් ආකාරයේ විවිධ බාධක හේතුකොට ගෙන ය. මේ පිළිබඳව සැලකීමේ දී බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද විනය නීති පිළිබඳව ද අවධානය යොමු කළ යුතුව ඇත.

බුදුරජාණන් වහන්සේ විසින් ම ආරම්භයේ දී ලබා දුන් මහණ උපසම්පදා කිරීමේ බලය ස්වකීය ශ්‍රාවකයන් වෙත පවරමින් අනුදැන වදාරන ලද්දේ, ඒ ඒ දිශාවන්හි ඒ ඒ ජනපදවල දී මහණ උපසම්පදාව කරන ලෙස ය.

එහෙත් දඹදෙණි කතිකාවතෙහි සඳහන් ආකාරයට උපසම්පදාව රාජ සම්මතයෙන් මෙන් ම ව්‍යක්ත විනයධරයන් විසින් සිදුකළ යුත්තකි.

ඒ අනුව පහතරට ආරම්භ වූ කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාව පිහිටුවාලීමට කටයුතු කළ ගණාචරිය බෙම්තර අත්ථදස්සි හිමි, මලිගස්පේ ධර්මකීර්ති ශ්‍රී මංගල හිමි, පැපිළියානේ සීලවංශ හිමි, පානදුරේ සුමංගල හිමි, වලානේ සිද්ධාර්ථ හිමි යන මහ තෙරුන් වහන්සේලා තත්කාලයේ පහතරට ලංකාවේ වැඩ සිටි විනයධර ව්‍යක්ත මහතෙරවරු වීම තුළ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව පිහිටුවා එහි උපසම්පදාව ලබා දීමට ආරම්භ කිරීම පෙර කී බුද්ධ නියමය අනුව විනයානුකූල වෙයි.

කල්‍යාණි සාමග්‍රීධර්ම සංඝ සභාව විසින් පහතරට උපසම්පදාව වසර තිස් හත (37)ක් කල්‍යාණී නදී උදකුක්ඛේප සීමාවේ දී සිදු කරගෙන පැමිණි පසු සංඝ සභාවට අයත් භික්ෂු සංඝයාගේ ප්‍රමාණය අධික වූයෙන් කල්‍යාණි නදී උදකුක්ඛේප සීමාවේ උපසම්පදා කටයුතු සිදුකිරීම දුෂ්කර විය.

මේ හේතුවෙන් සංඝ සභාවේ කාරක සභිකයන් වහන්සේලා 1893 වර්ෂයෙහි මැයි මස තිස් වැනි සිකුරාදා දින කෝට්ටේ රාජ මහා විහාරයට රැස්ව මෙතෙක් උපසම්පදාව පවත්වාගෙන ආ නදී සීමාවෙන් උපසම්පදා විනය කර්මය පැවැත්වීම කෝට්ටේ රාජ මහා විහාරස්ථ බද්ධසීමාවේ මංගල උපෝසථාගාරයට රැගෙන ඒමට කතිකාවක් ආරම්භ කොට ඇත.

පොතුවිල ශ්‍රී ඉන්දජෝති හිමි, මුල්ලේරියාවේ ආනන්ද හිමි, බද්දේගම සරණංකර හිමි, බෝගොඩ ධම්මකිත්ති හිමි හා නාවල සිද්ධත්ථ හිමි යන මහ තෙරුන් වහන්සේලා ප්‍රධාන සංඝ සභාව 1894 වර්ෂයේ මැයි මස 21 වැනි දින පටන් කෝට්ටේ රාජමහා විහාරස්ථ බද්ධ සීමාවෙහි උපසම්පදාව ආරම්භ කළහ. මෙසේ 1893 වර්ෂයේ දී කෝට්ටේ රාජ මහා විහාරයේ උපසම්පදා විනය කර්මය සිදුකිරීමට සම්මත කර ගත් බැවින් එවක් පටන් කල්‍යාණි සාමග්‍රී ධර්ම සංඝ සභාව යන නාමය වෙනස් වී ‘කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව’ යන නාමය ව්‍යවහාර ප්‍රාප්ත විය.

1893 වර්ෂයේ දී මුල්ලේරියාවේ ශ්‍රී නිවාස හිමියන් විසින් පොතුවිල ශ්‍රී ඉන්දජෝත්‍යභිධාන බෙම්තර වනවාස විහාරාධිපතීන් වහන්සේ වෙත ඔප්පුවෙනු පිණිස ලියා එවන ලද ලිපියට අනුකූලව මුල්ලේරියාවේ ශ්‍රී නිවාස හිමියන් සඳහන් කරන කරුණු කීපයක් මෙහි ලා වැදගත් වේ.

“අප්‍රියෙල් මස 29 වෙනි ඊයේ රිවි දින අපරභාගයේ දී සභා සම්මතයකින් ව්‍යවස්ථා කර ගත් බව මෙයින් ඔප්පුකර සිටිමුව. එහෙයින් මීට බැඳෙන පමණ පිරිසත් සමග මේ කර්මය කල්‍යාණි නදියෙහි අපි පවත්වන බව දැන වදාළ මැනවි.”

යනුවෙන් එහි එන ප්‍රකාශයෙන් කියැවෙන්නේ මුල්ලේරියාවේ ශ්‍රී නිවාස හිමියන් අදාළ දිනයේ රැස් වී සභාවක් පිහිටුවාගෙන එහි දී කල්‍යාණි නදියෙහි උපසම්පදාව සිදුකිරීමට සභා සම්මතයක් ඇති කරගත් බව හා එම සභාවට බැඳෙන පිරිසත් ඊට එකතු කරගෙන ඇති බව යි. ප්‍රධාන පාර්ශ්වයෙන් වෙන් වන අනුපාර්ශ්වය තමන් එසේ වෙන්වන බව ප්‍රධාන පාර්ශ්වයට දැන්වීම ක්‍රමවේදය වේ.

මහනුවර මල්වතු විහාර පාර්ශ්වයෙන් බෙම්තර අත්ථදස්සි හිමියන් පහතරට උපසම්පදාව ආරම්භ කරමින් මල්වතු විහාර පාර්ශ්වයට දන්වා යවා ඇත්තේ ද ඒ ආකාරයට ම ය. එසේ ම මුල්ලේරියාවේ ශ්‍රී නිවාස හිමියන් ද පොතුවිල ඉන්දජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේට එසේ දන්වා සිටීමෙන් පැහැදිලි වන්නේ තමන් ඇතුලු පිරිස වෙනම සභාවක් පිහිටුවාගෙන සභා සම්මතයක් කරගෙන වෙනම උපසම්පදා විනය කර්මය සිදු කරන බව යි.

එසේම එහි සඳහන් ‘මීට බැඳෙන පිරිසත් සමඟ’ යන වැකියෙන් පැහැදිලි වන්නේ ද උන්වහන්සේ නව සංඝ සභාවක් පිහිටුවා ගත් බව යි. එසේ ම ලබුගම ලංකානන්ද මාහිමියන් සඳහන් කරන පරිදි ‘මුල්ලේරියාවේ ශ්‍රී නිවාස මහා ස්ථවිර පාදයන් වහන්සේ ඇතුළු ටිකදෙනෙකුන් වහන්සේ අමුතු සභාවක් පිහිටුවා ගෙන නදී සීමාවට ම ආපසු ගියහ.’33 යන වැකිය අනුව මුල්ලේරියාවේ ශ්‍රී නිවාස මාහිමියන් පිහිටුවාගනු ලැබුවේ අලුත් සභාවක් බව පැහැදිලි වේ.

එසේ ම “කෝට්ටේ රාජමහා විහාරස්ථානයට රැස්ව යථෝක්ත පඤ්ච මහා ස්ථවිර ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ එමැ 1855 වර්ෂයේ දී මැ ‘කල්‍යාණී සාමග්‍රී ධර්ම’ නම් සංඝ සභාව පිහිටුවා ගෙන ඒ සංඝ සභාව මඟින් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදස්පර්ශයෙන් පවිත්‍ර වූ කල්‍යාණි ප්‍රදේශයෙහි කල්‍යාණී නදී උදකුක්ඛේප සීමායෙහි උපසම්පදා කර්මය සිදුකිරීමට ද සම්මත කරන ලද්දේ ය.” යන පාඨයට අනුකූලව ආරම්භයේ පටන් කල්‍යාණි සාමග්‍රී ධර්ම සංඝ සභාව පවත්වා ඇත්තේ කෝට්ටේ රාජමහා විහාරය කේන්ද්‍ර කොටගෙන ය. 1894 වර්ෂයේ පටන් උපසම්පදාව සිදුකරන ස්ථානය පමණක් වෙනස් වී ඇති බව මෙයින් පැහැදිලි වේ.

එම සංඝ සභාව 1856 වර්ෂයේ සිට කල්‍යාණි නදී උදකුක්ඛේප සීමාවේ දී උපසම්පදා විනය කර්මය සිදුකර ඇත. එය විනයෙහි එන ඒ ඒ දිශාවන්හි ඒ ඒ ජනපදයන්හි පැවිදි උපසම්පදාව සිදු කිරීමට බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණු අනුදැනීමට අනුකූල වූවකි. එමෙන්ම ධර්මවිනයධර පැරැණි ලාංකේය මහ තෙරවරුන්ගේ මඟ පෙන්වීමෙන් සිදුකළ දඹදෙණි කතිකාවතේ දැක්වෙන පරිදි රාජ සම්මතය ලබා එනම්, තත්කාලීන ඉංග්‍රීසි ආණ්ඩුවේ අනුමැතිය ලබා සිදුකරන ලද්දකි.

ආරම්භයේ දී ‘කල්‍යාණි සාමග්‍රී ධර්ම සංඝ සභාව’ නමින් ව්‍යවහාර ප්‍රාප්ත මෙම සංඝ සභාව ක්‍රි.ව. 1894 වර්ෂයේ පටන් කෝට්ටේ රාජමහා විහාර බද්ධ සීමස්ථ මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදාව සිදු කිරීමට පටන්ගත් තැන් පටන් ‘කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාව’ නමින් ව්‍යවහාරයට පැමිණ ඇත.

උඳුවප් අමාවක පෝය

ජනවාරි 02 ඉරිදා පූර්ව භාග 03.43 න් අමාවක ලබා 03 සඳුදා පූර්වභාග 00.05 න් ගෙවේ. 02 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]