[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වෙල්යාය ඉස්මත්තේ මහ ලියද්දේ පිහිටි මාලියද්ද පුරාණ විහාරය

වෙල්යාය ඉස්මත්තේ මහ ලියද්දේ පිහිටි මාලියද්ද පුරාණ විහාරය

මහ ලියද්ද ඉස්මත්තේ විහාරෙකි
ගම් පියසේ පුනරුදයේ සලකුණකි
ආගම දහම සැමටම දෙන සිප්හලකි
පුරාණයේ බිතුසිතුවම් ඇති සෙයකි

මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාලියද්ද පුරාණ විහාරය ව්‍යවහාර වර්ෂ 1700 මුල් භාගයේ ආරම්භ වන්නට ඇතැයි සලකනු ලැබේ.

වේහැල්ලේ ධම්මදින්න හිමි, කෝන්ගස්තැන්නේ ධම්මපාල හිමි, බඹරැන්දේ බුද්ධරක්ඛිත හිමි, දෙමටපිටියේ සංඝරක්ඛිත හිමි යන ස්වාමීන් වහන්සේලා මාලියද්ද පුරාණ විහාරස්ථ ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරට අයත් වූ අතර, නෙටොල්පිටියේ අත්ථදස්සි හිමි, හමාරගොඩ රේවත හිමි, විල්පිට සුමංගල හිමි, විල්පිට සාරානන්ද හිමි, බඹරැන්දේ උපතිස්ස හිමි, විල්පිට බුද්ධරක්ඛිත හිමි, බඹරැන්දේ යසස්සි හිමි යන ස්වාමීන් වහන්සේලා මෙම විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා ලෙස කටයුතු කොට ඇත.


වත්මන් විහාරාධිපති
කුඹුක්වැවේ හේමසිරි හිමි

වර්තමාන විහාරාධිපති ස්වාමීන් වහන්සේ වන සද්ධර්ම කීර්ති ශ්‍රී විද්‍යාතිලක, ප්‍රවචන කීර්ති ශ්‍රී උපතිස්ස, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ හම්බන්තොට මාගම්පත්තුව ඇතුළු ගාලු මාතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ශාස්ත්‍රවේදී විශ්‍රාමලත් ධර්මාචාර්ය කුඹුක්වැවේ හේමසිරි ස්වාමීන් වහන්සේ විසින් මෙම විහාරස්ථානයේ උන්නතිය උදෙසා කරන ලද කටයුතු හා කරමින් පවතින කටයුතු බොහෝ ය.

විහාරස්ථානයේ පෞරාණික බව හා එහි සංස්කෘතික වටිනාකම ගැන සලකා බැලීමේ දී විහාර මන්දිරය මාල තුනකින් සමන්විත වන අතර, මැද මාලයේ දොළොස් රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ තුන් නමකි. එහිම දෙපස විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ දේව ප්‍රතිමා නෙළා ඇත. ඇතුල් මාලයේ දේව ප්‍රතිමා ඇති කොටසෙහි නුවර යුගයේ චිත්‍රවලින් අලංකාරවත් වී ඇත.

දුටු දුටුවන්ගේ සිත් බුදු සිරිත කෙරෙහි නැඹුරුවන සේ දෙවැනි මාලය බිතුසිතුවම්වලින් ද සූවිසි විවරණ ප්‍රතිමාවලින් ද යුක්ත ය. එසේම දෙවැනි මාලයේ අඩි 40 ය 40 ප්‍රමාණය වන සතරපස බිත්තිවල උම්මග්ග ජාතක කතාව පමණක් සිතුවම් කිරීමෙන් බෞද්ධ අබෞද්ධ කාගේත් සිත්සතන් අමන්දානන්දයට පත් කරමින් උම්මග්ග ජාතක කතා පොත පරිශීලනය කළ‍ා හා සමාන දැනුමක් ලබා ගත හැකි වේ. එම චිත්‍ර නුවර යුගයට අයත් වන අතර දැනට පතුරු ගැලවෙමින් විනාශ මුඛයට යාම බොදුනුවන්ගේ සිත්වල දහම් සංවේගය දනවන දසුනක් වූව ද දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ චිත්‍ර සංරක්ෂණය වේ. ඒ ආකාරයෙන් පැරැණි බිතුසිතුවම් හා පිළිම වහන්සේලා රැක ගැනීමට යුහුසුළුව ක්‍රියාත්මක වීම අප කාගේත් යුතුකමකි.

1954 වසරේ දී එවක විහාරාධිපති ව වැඩ විසූ බඹරැන්දේ උපතිස්ස හිමිපාණන් වහන්සේ ශ්‍රී මහා බෝධි ශාඛාවක් මාලියද්ද පුරාණ විහාරස්ථානයේ මනරම් වෙල්යාය ඉස්මත්තේ රෝපණය කර ඇත.

වර්තමානය වන විට මාලියද්ද පුරාණ විහාරස්ථානය විහාර මන්දිරය, චෛත්‍ය, බෝධිය, සීමාමාලකය, සංඝාවාසය, ධර්ම ශාලාව, ධාතු මන්දිරය, දාන ශාලාව, ළිං පොකුණු හා පිවිසුම් මාර්ගවලින් සමන්විත වී ඇත.

වර්තමාන විහාරාධිපති කුඹුක්වැවේ හේමසිරි ස්වාමීන් වහන්සේ විසින් තම ගුරුදේවයන් වහන්සේ නමින් සිරි උපතිස්ස නම් දහම් පාසල අරඹා පවත්වාගෙන යයි. එය 1991 දී ස්ථාපිත කොට ඇත. එසේම විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සුජාත කුලඟන සමිතිය, වැඩිහිටි සමිති, සමෘද්ධි සමිති, ග්‍රාම සංවර්ධන සමිති ආදී ආගමික සාමාජික සංවිධාන විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රදේශයේ ජනතාවගේ ආගමික හා සංස්කෘතික හැදියාවේ උන්නතිය කෙරෙහි සපයන සේවාව අතිශය ප්‍රශංසනීය ය.

සර්වඥ ධාතුන් වහන්සේ හා ලෝහමය ප්‍රතිමා වහන්සේ රැසක් ද විහාරස්ථානයේ දී දැක බලා වැඳ පුදා ගැනීමට හැකියාව ඇති අතර පේමවතී සේනානායක ඇතුළු දූ දරුවන් තම පරපුරට අයත්ව තිබූ පෞරාණික ඇත් දළ යුගලයක් ද විහාරස්ථානයට පූජා කොට ඇත.

වත්මන් විහාරාධිපති පූජ්‍ය කුඹුක්වැවේ හේමසිරි හිමියන්ගේ පියාණන් විසින් පරිශීලනය කළ යන්ත්‍ර මන්ත්‍ර ඇතුළත් පුස්කොළ පොත් ද, එම ස්වාමීන් වහන්සේට ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් පරිත්‍යාග කළ ස්වර්ණාලේපිත ලෝහමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ද බෞද්ධයන්ගේ වන්දනාමානයට පාත්‍රවෙමින් පවතී.

උඳුවප් අව අටවක පෝය

දෙසැම්බර් 26 ඉරිදා අපරභාග 20.08 අව අටවක ලබා 27 සඳුදා අපරභාග 19.28 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]