[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිවෙන

විද්‍යාලංකාර නාහිමි භෂ්මාවශේෂ තැන්පත් කෙරේ

අපවත් වී වදාළ පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති සහ අධ්‍යක්ෂ, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, අග්ගමහාසද්ධම්මජෝතිකධජ, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය ධුරන්ධර ආචාර්ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්ම නාහිමියන්ගේ භෂ්මාවශේෂ විද්‍යාලංකාර පිරුවනෙහි පෞරාණික සොහොන් ගැබෙහි තැන්පත් කිරීම පසුගිය තුන් වැනි දින පෙරවරු කාලයේ සිදු කරන ලදී.

වර්ෂ 1887 අපවත් වී වදාළ විද්‍යාලංකාර පිරුවනේ ආදිකර්තෘ බෝධිසත්ව ගුණෝපේත රත්මලානේ ශ්‍රී ධර්මාරාම මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ පටන් මේ දක්වා පරිවේණාධිපති ධුරය හොබවා අපවත් වී වදාළ සියලු නාහිමිපාණන් වහන්සේලාගේ භෂ්මාවශේෂ මෙම සොහොන් ගැබෙහි තැන්පත් කොට ඇත.

වර්තමාන විද්‍යාලංකාර පරිවේණාධ්‍යක්ෂ සහ උපපරිවේණාධිපති, පණ්ඩිත වැලමිටියාවේ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ විසින් භෂ්මාවශේෂ සොහොන් ගැබෙහි තැන්පත් කරන ලදී.

මීට සමගාමීව ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ විසින් ආරම්භ කරන ලද වාර්ෂික විද්‍යාලංකාර දින සැමරුම් පුණ්‍යෝත්සව මාලාව ද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරන ලදි. දෙසැම්බර් තුන් වැනි දින අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමියන් විසින් සහ හතරවැනි දින කහගොල්ලේ සෝමවංශ හිමියන් විසින් ධර්ම දේශනා පවත්වන ලදී. හතරවැනි දින විද්‍යාලංකාර පිරුවෙනේ වැඩහිඳීන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරවා විශේෂ ධාතු පූජාවක් පවත්වන ලද අතර පස්වැනි දින සන්ධ්‍යාවේ දී පානකාවේ පේමරතන නාහිමියන්ගේ මූලාසනයෙන් වාර්ෂික විද්‍යාලංකාර දින උත්සව සභාව පවත්වන ලදී. මෙහිදී අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි උත්තරීතර මහ නානිමි, ආචාර්ය ගුණදාස අමරසේකර මැතිතුමා සහ නීතීඥ දක්ෂිණී සේනානායක මැතිණිය වෙත ගෞරවනාම පිරිනමන ලද අතර විද්‍යාලංකාර අවසාන විභාග සමත් ශිෂ්‍ය හිමිවරුන් ඇතුළු දක්ෂතා දැක්වූ හිමිවරුන් වෙත ත්‍යාග සහ සහතික පත් පිරිනමන ලදී.


විදුලකර අභිනව නාහිමියෝ පත්වෙති

නාවින්නේ
සුගුණධම්ම නාහිමි
වැලමිටියාවේ
ඤාණරතන හිමි
උඩගලදෙණියේ
ධම්මවිමල හිමි

පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති සහ අධ්‍යක්ෂ, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය ධුරන්ධර, ආචාර්ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ විද්‍යාලංකාර පරිවේණාධිපති පදවිය සඳහා තත් පිරුවනෙහි උපපරිවේණාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ උපප්‍රධාන සංඝනායක, නාවින්නේ කීර්ති ශ්‍රී සුගුණධම්ම නාහිමිපාණන් වහන්සේ පසුගියදා රැස් වූ විද්‍යාලංකාර සභාව විසින් ඒකච්ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ලදී.

වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ විද්‍යාලංකාර පිරුවනේ අධ්‍යක්ෂ පදවිය සහ සුගුණධම්ම නාහිමියන් පරිවේණාධිපති පදවියට පත්වීමෙන් පුරප්පාඩු වූ උපපරිවේණාධිපති පදවිය සඳහා විද්‍යාලංකාර සභාවේ සම ලේකම් පදවිය හෙබ වූ වැලමිටියාවේ ඤාණරතන හිමියන් තෝරා පත් කොට ඇත.

එසේම මෙතක් කල් වැලමිටියාවේ ඤාණරතන හිමිපාණන් වහන්සේ විසින් හොබවන ලද විද්‍යාලංකාර සභාවේ සම ලේකම් පදවිය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය උඩගලදෙණියේ ධම්මවිමල හිමියන් පත් කොට ඇත.


කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති නා හිමියෝ පත් වෙති

 

කොල්ලුපිටියේ
මහින්ද සංඝරක්ඛිත නාහිමි

වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමියන් විසින් හොබවන ලද කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් , ඓතිහාසික කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමලත් මහාචාර්ය, අග්ගමහාපණ්ඩිත, කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේ වෙත පිරිනමා ඇත.


ආකල්ප පුහුණු වැඩසටහනක්

කොළඹ දිස්ත්‍රික් පිරිවෙන් සිසුන්ගේ ආකල්ප වර්ධනය හා ගීත කාව්‍ය රසවින්දන වැඩසටහනක් පසුගිය දා කොළඹ 12, ගුණසිංහපුර විද්‍යානිකේත පිරිවෙනේ දී පැවැත්විණ. කොළඹ දිස්ත්‍රික් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) විතාරන්දෙනියේ මේධානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද මෙම වැඩසටහන විද්‍යානිකේතන පරිවේණාධිපති පරගම්මන අමරකිත්ති හිමියන් විසින් සංවිධානය කරන ලදී. එසේ ම මාවරමංඩිය ශ්‍රී ධීරානන්ද පිරිවෙන ද මෙම වැඩසටහන සංවිධානය කිරීමට සහයෝගය දැක්වීය.

මෙහි දී පිරිවෙන් සිසුන්ගේ ආකල්ප වර්ධනය පිළිබඳ ව දේශනය විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ චන්දන කුමාර කඩිගමුව මහතා සිදු කළ අතර, ගීත කාව්‍ය රසවින්දන වැඩසටහන කොළඹ විශ්වවිද්‍යාලයීය බාහිර කථිකාචාර්ය කිත්සිලු වික්‍රමසිංහ මහතා හා ප්‍රවීණ සංගීත ආචාරිණී විශාරද ස්වර්ණා එගොඩවත්ත මැතිණිය සිදු කරන ලදී. නිවේදන කටයුතු සිදුකරමින් ශාස්ත්‍රපති මහින්ද කුමාර රාජපක්ෂ මහතා වැඩසටහන මෙහෙයවීම සිදු කළේ ය.

 

උඳුවප් අව අටවක පෝය

දෙසැම්බර් 26 ඉරිදා අපරභාග 20.08 අව අටවක ලබා 27 සඳුදා අපරභාග 19.28 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]