[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

  නව වසර සුබ වීමට නම් . . .

 නව වසර සුබ වීමට නම් . . .

වසරක් ගෙවී වසරක් ආරම්භ වීමේ දී සියල්ලෝ ම බොහෝ බලාපොරොත්තු සහිත ව කටයුතු ආරම්භ කිරීමට උත්සුක වේ. එළැඹෙන නව වසර ද යහපත් සෞභාග්‍ය සම්පන්න බවට පත් කර ගැනීම අප සියල්ලන්ගේ ම ඒකායන පැතුමයි. ආගමානුකූල ව එළැඹෙන වර්ෂයට ආශිර්වාද ලැබීම සාමාන්‍ය ස්වභාවය යි.

ඊට අමතරව මෙම පවතින තත්ත්වයන් තුළ ආගමෙහි, දර්ශනයෙහි ඇතුළත් ඉගැන්වීම් ජීවිතවලට එකතුකර ගැනීම ඉතාම වැදගත් වේ. වර්ෂයක් ආරම්භයේ දී අප සියල්ලෝ ම ප්‍රාර්ථනා කරනුයේ නිදුක්, නීරෝගී සුබ නව වසරක් වේවා යන්නයි. එසේ වුව ද වසර තුළ නිදුක් බව, සුබ බව සකසා ගත යුත්තේ තම තමන් විසිනි. තමන්ගෙන් එහා තිබෙන ශක්තීන් පිළිබඳ සිතනවාට වඩා තමා තුළ ඇති ශක්තිය කල්පනා කිරීම ඉතා වැදගත් ය.

සම්බුද්ධ දේශනාව තුළ නැකත ලෙස සඳහන් වන්නේ යමක් හරියට පිළිවෙළට සිදු කිරීම ය. “අත්ථෝ අත්තස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා’ නිවැරැදිව සිදුකිරීම නැකතයි . එවන් පසුබිමක තාරකා මොනවා නම් කරන්න ද?

එක් පැත්තකින් වසරක් උදාවීම යනු ජීවත්වීමට ඇති කාලයෙන් යම් ප්‍රමාණයක් අඩුවීම ය. තථාගත දේශනාවට අනුව විශුද්ධි මග්ගයේ දී ජීවිත දසක දහයකට බෙදා දක්වා ඇත. ඒ දසකයන් තුළ තමන් මුහුණදිය යුතු ඉලක්ක අභියෝග පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම ඉතා අවශ්‍යය.

වසරින් වසර වයසට යාමේ දී තමන්ගේ ජීවිතයේ දසකයන් පසු කරන අතර වර්තමාන වසංගත තත්වය හමුවේ වෙන කවර කලකටත් වඩා අවිනිශ්චිතතාවය ජීවිතවලට බලපාන අයුරු පැහැදිලි ය.

එවන් පසුබිමක එළැඹෙන වසර තුළ අපට තිබෙන ලොකුම අභියෝගය සෞඛ්‍ය සම්පන්න ව ජීවත්වීමයි. මෙහිදී සිහියෙන් මෙන්ම වීර්යයෙන් යුතුව ජීවිතය සැලසුම් කර ගැනීම වැදගත් ය.

සෞඛ්‍ය යන්නෙන් හඳුන්වන්නේ කායික පැත්ත පමණක් නොව මානසික ආධ්‍යාත්මික, සාමාජීය අංශයන් ය. වසර මුලදී ම මේ ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.

එමෙන්ම බුදු දහමේ උගන්වන්නට යෙදුණ ආර්ථික දර්ශනය ප්‍රායෝගික ව පුරුදු කිරීම වැදගත් වේ. ලැබෙන ධනය ආපදාවන්වල දී වැදගත්වන ආකාරයට ජීවිතවලට එකතු කර ගැනීම අවශ්‍ය වේ.

අවුරුද්ද ආරම්භ කිරීමේ දී විශේෂයෙන් දෙසැම්බර් 31 දවස අවභාවිත නොකිරීම ඉතා වැදගත් වේ. මන්ද යත් වර්ෂයක් ආරම්භ වන දවසක ගෙදර පිරිමි සිහිබුද්ධියෙන් සිටිය යුතු වේ. එසේ නොවන විට මුළු වසර ම අසිහියෙන් ගෙවීමට සිදුවේ.

ලෝකය දිනූ සියල්ලෝ ම සිහියෙන් හා බුද්ධියෙන් කටයුතු කළ අය බව අමතක නොකළ යුතු වේ. ශ්‍රී දේවිය පලා ගොස් මූ දේවිය යම් නිවසක පදිංචි වේ නම් එය අනුමත කළ නොහැකි ය. වෙනදාමෙන් සමාජ සම්බන්ධතා ඇති කර ගැනීමට යැයි කියා ඒකරාශිවීම සිදු නොකරන්නේ නම්, ආධ්‍යාත්මික බැඳීම්වලට වටිනාකම් ලබා දෙන්නේ නම් වර්ෂය පුරාම සතුට , සාමය රැඳී පවතිනු ඇත.

එමෙන්ම සීමාව තුළ පිහිටා යුතුකම් ඉටු කිරීම ඉතා වැදගත් වේ. එමෙන්ම විශ්ව ශක්තිය තමන්ට නිවසට ලබා ගත හැකි ආකාරයෙන් ආධ්‍යාත්මික පාරිශුද්ධභාවය සකසාගෙන එකට එක්ව ආගම සිහිකිරීම පවුලට මහත් අස්වැසිල්ලකි.

මේ එක්කම පරාජිත නොවීමට අදාළව වසර මුල අලුත් ඇඳුම්, භාජන, හුණුපිරියම් කිරීම් සේ ම ආකල්පමය වශයෙන් ද අලුත් බවක් නිර්මාණය කර ගත යුතු වේ.

මහා මංගල සූත්‍රයේ දැක්වූ පරිදි පරාජය නොවෙන්නට නම් මංගල කාරණා තමන්ගේ ජීවිතවලට එකතුකර ගැනීමට කටයුතු කළ යුතු ය. මෙම තත්ත්වය තුළ එළැඹෙන වසර ගෙවුණු වසරට වඩා හොඳ එකක් වනු නොඅනුමාන ය.

මිනිසාගේ ස්වාමියා මිනිසා ම ය. එහි වගකීම තව කෙනකුට බාරදිය නොහැකි ය. යහපත් මිනිසුන් ආශ්‍රය කිරීම, අයහපත් අය දුරු කිරීම, සුදුසු ප්‍රදේශයන් තෝරාගෙන කටයුතු කිරීම, බහුශ්‍රැතවීම, පෙර පින් ඇති බව, සිත මනාව පාලනය කර ගැනීම, නීතිගරුක බව, ශිල්ප දැනීම, මව්පියන්ට, ඥාතීන්ට දරුවන්ට මනාව සැලකීම ඉතා වැදගත් ය.

වයස් භේදයකින් තොරව සමාජයේ පවතින එක් අයහපතක් වන්නේ සමාජ යුතුකම් ,වගකීම් පැහැර හැරීමයි. මෙම කාරණා සිදුවන්නේ නම් එය සුබ මංගල කටයුත්තකි. යහපත් වචන, යහපත් කටයුතුවල හික්මීම, නිරවුල් රැකියාවන්වල යෙදීම දැහැමි ජීවිතගත කිරීම ඉතා සුබ වේ.

බොහෝවිට රටක ගමක පැන නඟින බොහෝ ප්‍රශ්නයන්ට මූලය එය එසේ නොවීමයි. පමා නොවී කුසල් කිරීම, මත්පැන් පානයෙන් ඉවත්වීම, ගරු කිරීම, යහපත් පැවැත්ම, ලද පමණින් සතුටුවීම, කළගුණ දන්නා බව, සුදුසු අවස්ථාවේ බණ අහන බව සුබය.

අටලෝ දහමෙන් කම්පා නොවී පවතින යතාර්ථය මනාව තේරුම් ගෙන කටයුතු කිරීම ඉතාම සුබය. මේ ආදි වශයෙන් දක්වනු ලබන මංගල කාරණා ඕනෑම සමාජයක යහපැවැත්ම සැකසීමට හේතු වේ.

අනවශ්‍ය තරගයක් නිර්මාණය කොට නො ගෙන, ජීවිතය මනාව මෙහෙයවීම ඉතා වැදගත් වේ.

මෙහිදී දෛනිකව, මාසිකව, තම කටයුතු ප්‍රත්‍යවේක්ෂාකොට ආයති සංවරය සකසා ගැනීමට වග බලා ගත යුතු ය. මෙවැනි පසුබිමක් තුළ තමන් සහ තමන්ගේ දරුවන්ගේ ජීවිත ඉහළින් ඔසවා තැබිය හැකි වේ.

උඳුවප් අව අටවක පෝය

දෙසැම්බර් 26 ඉරිදා අපරභාග 20.08 අව අටවක ලබා 27 සඳුදා අපරභාග 19.28 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]