[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යසස දියුණුව ලබන්න නුවණින් උත්සාහය පුරුදු පුහුණු කරන්න

යසස දියුණුව ලබන්න නුවණින් උත්සාහය පුරුදු පුහුණු කරන්න

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

උට්ඨානවතො සතිමතො
සුචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤ තස්සච ධම්ම ජීවිනො
අප්පමත්තස්ස යසො භිවඩ්ඪති

“සුපින්වතුනි,

සකල සත වෙත පතළ මහා කරුණා ඇති අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවන මහා විහාරයෙහි වැඩ වසන සමයෙහි කුම්භ ඝෝෂක සිටාණන් අරබයා මෙම උතුම් ගාථා ධර්මය දේශනා කළ සේක.

අප බුදුරදුන් දිවමන් කල රජගහ නුවර අභිවාතක නම් ඉතා භයානක වසංගතයක් හට ගත්තේ ය. එය ක්‍රමයෙන් පැතිරී සිටු මැදුරට ද බෝ විය. සිටු බිරිඳ හා සිටාණන් රෝගයෙන් අසාධ්‍ය ව සිය පුතු කැඳවා “ ‘පුතුනි, අප මෙම රෝගයෙන් පෙළෙමු. මෙයින් සුවවීමට නොහැකි ය. අසවල් තැන සතළිස් කෙළක් ධනය ඇත. දැනට මෙම රෝගයෙන් බේරීමට ඈත පෙදෙසකට වහාම යන්න. බොහෝ කල් පසුව අවුත් එම ධනය ගෙන යහතින් දිවි ගෙවන්න”යැයි කීහ. ඔවුහු ඒ දරුණු රෝගයෙන් අසාධ්‍ය ව මිය ගියහ.

සිටු පුතා බොහෝ ඈත පළාතකට ගොස් ජීවත් වූයේ ය. දොළොස් වසරකට පසුව රජගහනුවරට ආවේ ය. නිදන්ගත ධනය පරික්ෂා කර බැලුවේ ය. මව්පියන් කී පරිදි ම ධනය නොනැසී තිබුණි. එහෙත් තමන්ගේ ස්වභාවය අනුව මෙ තරම් ධනයක් ගැනීම අන්තරායකර බව සිතුවේ ය. උපායෙන් විසීම සුදුසු යැයි සිතට නැඟුªණි. සිටුතුමා දිළිඳු වෙස් ගෙන දිවි රැකුම සඳහා නුවර ම රැකියාවක නිරතවිය. නාගරික කම්කරුවන් අලුයම නින්දෙන් පිබිදවීම එම රැකියාව යි. මෙම සිටු තරුණයා අවදි වන්නේ සෑමදාම ඉරු උදාවීමට පෙර ය. ඉන්පසු මුරගා ඇවිදින කම්කරුවන් අවදි කරන්නේ ය. ඔහු ඝෝෂක නමින් ප්‍රසිද්ධ වූයේ එහෙයිනි.

බිම්බිසාර මහ රජතුමාට මොහුගේ හඬ ඇසුණි. මේ කටහඬ හිමි තැනැත්තා මහා ධනවන්තයෙක් විය යුතු යැයි රජතුමා සිතුවේ ය.

එම තරුණයා රජ ගෙදරට ගෙන්වා සියලු තොරතුරු විමසා බැලුවේ ය. ඔහුට තනතුරු ද දී උසස් තත්වයකට පත් කළේ ය.

බිම්බිසාර රජතුමා එම ඝෝෂක සිටුවරයා බුදුරදුන් වෙත කැඳවා ගෙන ගොස් මුල පටන් සියලු සිද්ධීන් විස්තර කොට හඳුන්වා දුන් පසු අප බුදුරජාණන් වහන්සේ මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක.

ආරම්භක උත්සාහය, සිහිය ඇති බව, පවිත්‍ර ක්‍රියාව , පරික්ෂාකාරී බව, සංවරකම, දැහැමි ජීවිතය, අප්‍රමාදය යන කරුණු හත ඇති තැනැත්තාගේ යසස වැඩෙන්නේ ය.

පින්වත්නි,

මෙම ගාථාවේ සඳහන් පරිදි කෙනකුගේ දියුණුව ඇතිවන්නේ ධනය, බලය, තනතුර ආදී භෞතික සම්පත් නිසා නොවේ. තමා විසින් ම බුද්ධියෙන්, උත්සාහයෙන්, සිහිකල්පනාවෙන් ඇතිකර ගන්නා වූ කුසල බල මහිමය නිසා ම ය. සත්වයා විසින් අති දීර්ඝ කාලයක් සසර ඇවිදිමින් රැස්කර ගන්නා ලද දුක් වේදනා නැති කර ගැනීමට වීර්ය අවශ්‍ය වන්නේ ය. “විරියේන දුක්ඛං අච්චේති, යනුවෙන් දේශනා කළ පරිදි විරිය පාරමිතාවක් වශයෙන් බෝසත්වරු පුරුදු පුහුණු කරන්නේ දුක් වේදනා සමනය කිරීම එතරම් දුෂ්කර නිසා ය.

දෛනික ව වැඩ රාජකාරි කිරීමට, අකුසල් දුරුකිරීමට කුසල් වැඩීමට, බණ භාවනා කිරීමට, මෙන් ම මරණින් මතු සුගතිගාමීවීමට නිවන් සම්පත් ලැබීමට වීර්යය අවශ්‍ය වන්නේ ය. එහෙත් අප අපේක්ෂා කරන වීර්යය ප්‍රඥාවෙන්, සිහියෙන් , පරික්ෂාවෙන් පාලනය කරගත යුතු වන්නේ ය.

සය වසරක් දුෂ්කර ක්‍රියාවෙන් ඉමහත් වේදනාවක් විඳි අප බෝධිසත්වයන් වහන්සේට සතානුසාරී ප්‍රඥාව හෙවත් සත්‍ය මාර්ගය දක්නා වූ නුවණ පහළ වුණේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමෙනි.

ලෝකයේ සෑම සත්වයා ම තමාගේ දැනීම හා පරිසරය අනුව යම්කිසි සීමාවක සිට පෞද්ගලික අපේක්ෂා සාර්ථක වනතුරු උත්සාහයක් ගනී. එහෙත් එම වීරිය අනුව අපේක්ෂා සඵල නොවන්නේ සසර දී කළ අකුසල් නිසා ය. මේ නිසා අප යම්කිසි උත්සාහයක් ගන්නා විට සිත, කය, වචනය යන තුන්දොර සංවර කර ගෙන කුසල් වැඩීමට උත්සාහ ගත යුතු ය. එවිට එම වීර්යය ප්‍රතිඵල සහිත වන්නේ ය. එය කුඩා දරුවාගේ පටන් රජ, මැති, ඇමැති ගිහි, පැවිදි සෑම දෙනාට ම සර්ව සාධාරණ වන්නේ ය.

ආරම්භ ධාතු , නික්කම ධාතු, පරක්කම ධාතු වශයෙන් විරිය චෛතසිකයේ අවස්ථා තුනක් ඇත. යම් ක්‍රියාවක් ආරම්භ කිරීමේ දී ආරම්භ ධාතු හෙවත් ප්‍රථම සිහිය අනුව යන වීර්යය තිබිය යුතු වන්නේ ය. එය ඉදිරියට කරගෙන යාම නික්ඛම ධාතු වන අතර, එය කෙ තරම් බාධා පැමිණියත් ප්‍රතිඵලය දක්වා නො නවත්වා කරගෙන යෑම පරක්කම ධාතු නම් වන්නේ ය.

මෙම ගාථාවේ සඳහන් කරුණුූ හතම එකිනෙකට අත්‍යාවශ්‍ය ව සම්බන්ධ වන අතර, ඒවා ස්වල්ප වශයෙන් හෝ ඇති කර ගැනීමෙන් ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමටත්, උපරිම වශයෙන් ළඟා කරගෙන පුරුදු පුහුණු කිරීමෙන් ජීවිතාන්තය දක්වා නීරෝගී සම්පත් ලබා ගැනීමටත් සසර දුක් නැතිකර උතුම් නිවන් සම්පත් ලබා ගැනීමටත් හේතු වන්නේ ය.

උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 18 සෙනසුරාදා පූර්වභාග 07.24 පසළොස්වක ලබා 19 ඉරිදා පූර්වභාග 10.05 ගෙවේ. සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]