[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ඉදිරි ගමන

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ඉදිරි ගමන

මෙරට බෞද්ධ විහාරස්ථාන ඇතුළු බෞද්ධාගමට සම්බන්ධ කටයුතුවල දී මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන, සමස්ත ශ්‍රී ලාංකීය දහම් පාසල් ඇතුළු විහාරස්ථාන පද්ධතියේ ප්‍රධාන මෙහෙයුම්කාරකයා ලෙසින් මහා භාරදූර කාර්යයක් සිදු කරනු ලබන්නේ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය විසිනි.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි ධුරය හා සභාපති ධුරය හිමි වන්නේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ හෝ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ තනතුරු හොබවන භික්ෂූන් වහන්සේට ය.

ශාසනාරක්‍ෂක මණ්ඩලය යනු වචනාර්ථයෙන් ම ගම්‍ය වන ආකාරයට සම්බුදු සසුනේ උන්නතිය සහ චිරස්ථිතිය සඳහා ආරම්භ කරන ලද මෙරට ප්‍රබල බෞද්ධ සංවිධානයකි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පදනම් කර ගනිමින් ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයත්, ඒ ඒ දිස්ත්‍රික්ක තුළ ස්ථාපිත ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩල ඒකාබද්ධ ව දිසා ශාසනාරක්‍ෂක මණ්ඩලත්, දිස්ත්‍රික්ක තුළ ක්‍රියාත්මක දිසා ශාසනාරක්‍ෂක මණ්ඩල ඒකාබද්ධ කර සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයත් ස්ථාපිත වී ඇත.

ඒ අනුව ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සිට සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය දක්වා වූ ශාසනාරක්‍ෂක මණ්ඩල ජාලයකි.
මුගුණුවෙල අනුරුද්ධ නාහිමි මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමි

සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ප්‍රධාන සංවිධායක ධුරය දරන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ය. අද ඒ තනතුර දරන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා ය. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය යනු හුදු සාමාන්‍ය සංවිධානයක් නොව අනුමත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ස්ථාපිත කළ මණ්ඩලයක් වන අතර, එය රාජ්‍ය මට්ටමින් ක්‍රියාකාරීත්වයක් ඇති සංවිධානයකි.

ශාසනාභිවෘද්ධිය ඇති කිරීමේ දී සාමණේර භික්‍ෂූ ආකල්ප ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීම, විහාරාධිපති ස්වාමීන් වහන්සේ සඳහා විහාරස්ථාන කළමනාකරණ පුහුණු වැඩසටහන් පැවැත්වීම, දස සිල් මාතාවන් සඳහා ආගමික කටයුතු පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම, සෑම විහාරස්ථානයක් හරහාම කුලදරුවන් පැවිදි කරවීමට කටයුතු යෙදීම, පසළොස්වක පොහොය දින ආගමික ශ්‍රද්ධාව වර්ධනය වන අයුරින් සීල භාවනා පින්කම් සංවිධානය කිරීම වැනි කටයුතු කෙරෙහි ද මණ්ඩලයේ අවධානය යොමු වනු ඇත.

එමෙන්ම දහම් පාසල් අධ්‍යාපනයේ අභිවෘද්ධිය පිණීසත්, දහම් පාසල් නොයන දරුවන් දහම් පාසල් යැවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත්, දහම් පාසල් නොමැති විහාරස්ථානවල දහම් පාසල් ආරම්භ කිරීම, භෞතික සම්පත් අඩු දහම් පාසල්හි එම සම්පත් සම්පූර්ණ කර දීමට මඟ පෙන්වීම, සමස්ත ලංකා දහම් පාසල් දිනය සැමරීම, දහම් පාසල් කොඩි දිනය පැවැත්වීම ඇතුළු වැඩසටහන් රැසක්ද ඇතුළත් වේ.

මීට අමතරව සමාජ සංවර්ධනය උදෙසා කාර්ය භාරයන් රැසක් සිදු කිරීමට ද කටයුතු යෙදේ. එම කටයුතු සම්බුදු සසුනේත්, බෞද්ධ සමාජයේත් අභිවෘද්ධිය ට හේතු වේ.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය ගැන කතා කිරීමේ දී පසුගිය නොවැම්බර් 23 වැනි දා පැවැති නිලවරණයේ දී විශේෂත්වයක් සිදු විය. ඒ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය ස්ථාපිත කිරීමෙන් පසුව ප්‍රථම වරට ලේඛකාධිකාරි ධුරය හා සභාපති ධුර එකවර වෙනස් වීමය.

ලේඛකාධිකාරි හිමියන් ලෙස මෙවර පත් වූයේ මාතලේ බලකඩුව අනුරුධ අරණාධිපති මුගුණුවෙල අනුරුද්ධ නා හිමිපාණන්ය. උන් වහන්සේ ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහ ලේකම් හිමිපාණන් ය. එමෙන්ම ලෝක බෞද්ධ සන්ධානයේ උප සභාපති හිමියන් ය. මැලේසියාවේ ෆිනෑන් බෞද්ධ මධ්‍යස්ථානාධිපති ධුරය ද දරති.

එමෙන්ම නවසීලන්තයේ ශ්‍රී ලංකාරාමයේ නිර්මාතෘවරයාණන් වහන්සේ ය. මෙරට පළමු හා එකම මියන්මාර් චෛත්‍යයේ නිර්මාතෘවරයාණන් වහන්සේ ය. මියන්මාර්හි ස්වේදගොන් චෛත්‍යයේ අනුරුවක් උන් වහන්සේ මාතලේ බලකඩුව අනුරුධ අරණේ ඉදි කළේ මීට වසර 3කට පමණ පෙර දී ය.

පසුගිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල නිලවරණයෙන් ප්‍රථම වරට උකුවෙල ශාසනාරක්ෂක මණ්ඩල සභාපති ධුරයට පත් වූ උන් වහන්නේ මේ වසරේ ම ප්‍රථම වරට මාතලේ දිස්ත්‍රික් ලේඛකාධිකාරි ධුරයට පත් වූහ.

උන් වහන්සේ දෙස් විදෙස් බෞද්ධ ප්‍රචාරක කටයුතුවල නියැළෙන අතර, කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් විහාරස්ථාන හා පිරිවෙන් සඳහා විශාල ලෙසින් ඇප උපස්ථාන කළහ. එමෙන් ම රෝහල්වල අඩුපාඩු සොයා බලමින් ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කරන්නට ද උන් වහන්සේ කටයුතු කරති.

ප්‍රථම වරට ශාසනාරක්ෂක මණ්ඩල ධුරයක් හිමි ව, දිස්ත්‍රික් මණ්ඩලයේ ධුරයකට පත්ව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති හෝ ලේකම් ධුරයකට පත් පළමු භික්ෂූන් වහන්සේ ලෙස උන් වහන්සේගේ නම ඉතිහාසගත වනු ඇත.

සභාපති ධුරයට පත් වූයේ අනුරාධපුර භික්ෂූ විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමියන් ය. උන් වහන්සේ විසින් 2002 වසරේ සිට 2021 නිලවරණය දක්වා එහි උප සභාපති ධුරය හොබවන ලදහ.

වයස අවුරුදු 10 දී, එනම්1962 වසරේ ඔක්තෝබර් 26 වැනි දා පැවිදි දිවියට පත් උන් වහන්සේ 1975 වසරේ ජූනි මස 01 වැනි දා උපසම්පම්පදාව ලැබූහ.

විද්‍යාලංකාර පිරිවෙනින් අධ්‍යාපනය ලද උන් වහන්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය හා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද ලබා ගෙන තිබේ.

පසුව 1980 වසරේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ම ආචාර්යවරයකු ලෙස පත්වීම් ලැබූ උන් වහන්සේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන පිරිවෙන් පරීක්ෂක ධුරය දරා තිබේ.

පසුව නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන් ) ධුරය දැරූ උන් වහන්සේ 1998 වසරේ කථිකාචාර්ය ධුරයට පත්ව අනුරාධපුර බුද්ධශ්‍රාවක විශ්වවිද්‍යාලයට වැඩම කළහ.

1999 වසරේ සිට ධුර කාලයන් දෙකක් උන් වහන්සේ කොළඹ 7 පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ එහි උප කුලපති ධුරය දැරූහ. පසුව ධුර කාලයන් තුනක් ම අනුරාධපුර බුද්ධශ්‍රාවක විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරය දැරූහ.

එමෙන්ම වසර 3ක කාලයක් උන් වහන්සේ ජාතික පොලිස් කොමිසමේ සාමාජික ධුරය දැරූහ. නිහඬ සේවාවන් රැසක් උන් වහන්සේ විසින් සිදු කර ලැබ ඇත.

වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරාධිපති ධුරය දරන උන් වහන්සේ නිරතුරුවම මාධ්‍ය ඔස්සේ බුදු දහම පිළිබඳව ජනතාව දැනුවත් කරති. විශේෂයෙන් ම බුදුසරණ පුවත්පත ඔස්සේ විශේෂාංග ලිපි රැසක් උන් වහන්සේ විසින් සම්පාදනය කර තිබේ.

නව ගමනකට පා තබා තිබෙන සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය හමුවේ කොවිඩ් 19 අභියෝගය ද තිබෙන නමුත් ඒ හමුවේ වුව ද ඉදිරි කටයුතු සාර්ථක කර ගැන්මට හැකිවනු ඇති බව අපේ විශ්වාසයයි.

උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 18 සෙනසුරාදා පූර්වභාග 07.24 පසළොස්වක ලබා 19 ඉරිදා පූර්වභාග 10.05 ගෙවේ. සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]