[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මෙවර සිරිපා වන්දනා වාරයේ සමාරම්භක පින්කම

මෙවර සිරිපා වන්දනා වාරයේ සමාරම්භක පින්කම

ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති
බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමි

ශ්‍රී ශාක්‍යකුල තිලකාය මාන වූ අප ගෞතම ශ්‍රී සම්‍යක් සම්බුද්ධ වූ දේවාති දේව වූ මොහඳුර දුරු කිරීම පිණිස මේ ලක්දිවට වසර 2600 කට පෙර වැඩම වූ බුද්ධ නමැති සූර්ය රාජෝත්තමයාණන් වහන්සේ රුහුණු රටට අන්තර්ගත වූ සබරගමු පළාතේ රත්නපුර දිසාවේ කුරුවිට කෝරළයබද සමනල අඩවියේ සමන්තකූඨ පර්වත මස්තකයේ මඟුල් ලකුණින් යුත් වාම ශ්‍රී පාද පත්මය පිහිටුවා වදාළ සේක.

තෙරුවන් බලය ද බුද්ධ අදිටන් බලයෙන් ද මේ ලක් දෙරණ පාරිසශුද්ධත්වයට පත්කළ දා පටන් ජනී ජනයන්ගේ පූජා වන්දනාමානාදියට පාත්‍ර වුහ.

එදා පටන් පැවැත එන ශ්‍රී පා වන්දනා වාරය ආරම්භ කිරීම පිණිස රාජ රාජ මහාමාත්‍යවරුන්ගේ අනුග්‍රහය ලැබුණි. මෙවර මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ හා සබරගමු පළාතේ ආණ්ඩුකාර වූ ටිකිරි කොබ්බෑඩුව බණ්ඩාර මහත්වරුන්ගේ මූලිකත්වය ද නුවරඑළිය මහ දිසාපති නන්දන ගලබඩ, රත්නපුර මහ දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්ම මහත්මීන් ද මධ්‍යම හා සබරගමු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිතුමන්ලා ද, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්තුමා ද ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියල ඇත්තෝ ද ප්‍රධාන කැපකරු දායක සමන් උපසේන, ශ්‍රී පාද විහාරයේ කැපකරු දායක තිස්ස ආනන්ද, ශ්‍රී පා කමිටුවේ ප්‍රධාන සුනිල් ශාන්ත වීරසේකර පැල්මඩුල්ලේ ප්‍රාදේශීය ලේකම් බී.එස්.ජී. රුවන්සිරි, සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර, සමන් දෙවොලේ ප්‍රධාන කපු නිලයේ රාම ගිර මහත්වරු ඇතුළු බැතිමත් දායකකාරකාදී සුපින්වත් සැම විසින් ශ්‍රී පා වන්දනා වාරය ඇරඹීම පිණිස ශ්‍රී පා මලුව කරා ශ්‍රී බුද්ධ ධාතූන් වහන්සේ ද ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමා වහන්සේ ද වැඩම වීමට පෙර සිරිත් පරදි සිදු කරන පුද පූජා හා තේවාවන් වර්ෂයෙන් 2564 ක් වූ -ශ්‍රී බුද්ධ චන්ද්‍ර මාස ක්‍රමයෙන් උඳුවප් මස පුර තෙලෙස්වක නම් තිථිය ලත් රිවි දින හෙවත් ශ්‍රීමත් ශාලි වාහන ශක රාජ වර්ෂ ප්‍රමාණයෙන් 1942 ක් වූ විෂ්ණු විංශතියේ පීතර යුග පංචාබ්දයේ තෙවන ඉද්‍ධවත්සර භේද නාමධාරි දේවතාධිපති වු දක්ෂිණායන හේමන්ත ඍතුවේ හිරු ධනු රාශිගත වූ එකොළොස් භාග වූ ඉරු දින නව දුන් කෝරළේ උඩ පත්තුවේ දෙනවක උඩකඩ පැල්මඩුල්ලේ කුට්ටාපිටියේ ශ්‍රී පාද විහාර පූජා නින්දගමේ පිහිටි ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජ මහා විහාරස්ථ ශ්‍රී සුමන සමන් දේව මන්දිරයේ දී සිදු කෙරිණි.

දෙසැම්බර් මස 17 වනදා අලුයම පෙරහරින් මලුවට වැඩමවා උඳුවප් පුර පසළොස්වක වූ දෙසැම්බර් මස 18 වැනිදා සිට 2022 වෙසක් පුර පසළොස්වක දක්වා ශ්‍රී පා වන්දනා වාරය සිදු කරනු පිණිස ශ්‍රී ලංකාවේ ප්‍රථම බුද්ධ ශ්‍රාවක වූ සබරගමු පළාතට අධිගෘහිත වූ සමනල සමන්තකූට පර්වතය අරක් ගෙන සිටින දහසක් නයින් සෝවාන් ඵලයෙහි පිහිටි සිද්ධ ශ්‍රී සුමන දෙවි මහ රජුන්ට පුණ්‍යානුමෝදනා කරම්හ.

උඳුවප් පුර පසළොස්වක දා අලුයම සිට ආරම්භ වී 2022 වෙසක් අවපෑලවිය දා වන්දනා වාරය නිමා වේ. පැල්මඩුල්ලේ ශ්‍රී පාද ගල්පොත්තාවෙල රාජමහා විහාරස්ථ මන්දිරයේ දී 2021 දෙසැම්බර් 16 දින හවස සිට පුද සිරිත් අරඹා පසුදා සමනල ශ්‍රී පාදස්ථානය කරා සධාතුක කරඬුව දේව ප්‍රතිමා වහන්සේ වැඩමවා පුද සිරිත් පවත්වා ශ්‍රී පාද පත්මය සුවඳ පැනින් නහවා. ආලෝක පූජා පහන දල්වා සිරිත් විධි අනුව වන්දනා වාරය ආරම්භ කිරීම සිදු වීම නියමිත වුණි.

ප්‍රදර්ශනයට විවෘත කිරීම හා පුද සිරිත් පැවැත්වීම වර්ෂ 2021 ක් වූ දෙසැම්බර් මස 16 වැනි බ්‍රහස්පතින්දා භවස 4.1 ට ආරම්භ වී පසුදාට එළි වෙන්න උදේ 4.00 දක්වා වන්දනාව සඳහා විවෘතව පවතින බව කරුණාවෙන් සැලකුව මැනව.

ශ්‍රී පාද පෙරහර ආරම්භ කිරීම සිරි සමනල අඩවියම ආවරණය වන පරිදි පෙරහර මාර්ග සතරකින් ගමන් කෙරේ. 2021 දෙසැම්බර් මස 17 වැනිදා පැල්මඩුල්ලේ කුට්ටාපිටිය ගල්පොත්තාවෙල ශ්‍රීපාද රාජමහා විහාරයේ සිට ශ්‍රී පා මලුව කරා වැඩමවීම ආරම්භ වේ.


හැටන් පාර පෙරහර

දීර්ඝ ගමනක යෙදෙන බැවින් අවිස්සාවේල්ල හැටන් පාර පෙරහර කලින්ම ආරම්භ කෙරේ. පෙරහර 17 වන දින අලුයම 5.20 ට නැඟෙනහිර බලා පිටත් වේ. කුරුවිට, ඇහැළියගොඩ, අවිස්සාවේල්ල, දෙහිඕවිට , කරවනැල්ල, යටියන්තොට, අඹගමුව, හැටන් මස්කෙළිය හරහා නල්ලතන්නිය ආදී නගර ගම් ඔස්සේ කරුණා කරයි.

පලාබත්ගල රජ මාවත පෙරහර හා කුරුවිට එරත්න පෙරහර

ගල්පොත්තාවෙල ශ්‍රී පාද විහාරයේ සිට ශ්‍රී පලාබත්ගල රජ මාවත ඔස්සේ ශ්‍රී පා මලුව කරා ගමන් කරන පෙරහර කුරුවිට එරත්න මාර්ගයේ පෙරහර සමඟ දෙසැම්බර් මස 17 වැනි දින උදෑසන 06.19 ට ආරම්භ වේ. ගල් පොත්තාවෙලින් ඇරඹෙන පෙරහර දෙක පැල්මඩුල්ල නගරය, රිල්හේන, ගනේගම, මිදිගහමුල්ල, පාතකඩ, බෝගොඩ අරඹ, සන්නස්ගම, දිප්පිටිගල, ලෙල්ලොපිටිය. වැලිමලුව, පතුල්පාන, පැල්වාඩිය, කැටන්දොළ, තිරවාන කැටිය, බටුගෙදර, වරකාතොට, කුඩුගල්වත්ත, නගර සභාව, ඔරලෝසු කණුව, පුළුඟු පිටිය. බණ්ඩාරනායක මාවත, මොරගහයට, ගල්කඩුව, සබරගමු මහ සමන් දේවාලයට ගොස් කුරුවිට එරත්න පෙරහර සමන් දේවාලයේ සිට කහංගම ගොරක ඇළ හරහා කුරුවිට නගරයට පිවිස එරත්න අඩවිකන්ද හරහා නගර ගම් ඔස්සේ කරුණා කරයි.

පලාබත්ගල රජ මාවත පෙරහර සමන් දේවාලයෙන් ආපසු මොරගහයට, ගල්කඩුව, ජුලියන් ගස් ළඟ, වෙරඵපේ හන්දිය, නව නගරය, අනඳ මෙත් නාහිමි විහාරය අසලින් හන්දිය දක්වා, සීවලී විද්‍යාලය අසලින් කාර්මික විදුහල, ෆාම්ගාඩ්න් හන්දිය නැවත නව නගර මාවත ඔස්සේ මොරගහයට මංසන්ධියෙන් බස් නැවතුම්පොල පාරෙන් කුඩු ගල්වත්තට, ශ්‍රී පලාබත්ගල මාවත, ගොඩිගමුව හරහා මහවලවත්ත, මල්වල පාර ඔස්සේ පලාබත්ගල රජමහා විහාරය දක්වා නගර ගම් ඔස්සේ කරුණා කරයි.

බලංගොඩ පාර පෙරහර

ගල්පොත්තාවෙල සිට බලංගොඩ හරහා බගවන්තලාව මස්කෙළිය නල්ලතන්නිය දක්වා ගමන් කරන පෙරහර පැල්මඩුල්ල නගරය, මීගහගොඩ, බත්ගම්ගොඩ, කාමරංගාපිටිය. රඹුක, මොරතොට, හුණුවල. දෙල්ගස්ළඟ, ඕපනායක, උඩවෙල. බලංගොඩ, තුඹගොඩ, ඕලුගංතොට, ඇල්ලඅරාව හන්දියෙන් පින්නවල හරහා බොල්තුඹේ සමන් දේවාලයට ගොස් නැවත බගවන්තලාව පාරෙන් මස්කෙළිය හරහා නල්ලතන්නිය දක්වා ගම් නියම්ගම් ඔස්සේ කරුණා කරයි.

උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 18 සෙනසුරාදා පූර්වභාග 07.24 පසළොස්වක ලබා 19 ඉරිදා පූර්වභාග 10.05 ගෙවේ. සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]