[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

මෙවර ජයග්‍රාහී නිර්මාණය

මලක රහස

යළි මල් පිපී ඇත පොකුණේ හරි රුවට
දුටුවෙමි විල ළඟට ආවිට තනිකමට
මට එක මලක් කීවා රහසක් කනට
එය මම කියමි රසකර කවියෙන් ඔබට

ලස්සන කරන්නට අපි ලොව පිපුණා ලු
මඟුලෙ දි මරණෙදිත් නිති ඕනෑම වේ ලු
සුවඳට රොනට ලොව කවුරුත් ළං වේලූ
එය නැති දාට කාටත් අමතක වේලූ

හිරු එබිකම් කරන විට විකසිත වෙනවා
බැස යන විටදි මුකුලිත වී ඔරවනවා
තනියම විලේ එළිවෙන තුරු ලත වෙනවා
අප අගයන අයට එය අමතක වෙනවා

පතුරා ගුමු ගීත අප හිත මුළා කොට
උතුරා සෙනෙහසින් කී බොරු මුසා මට
උදුරා මලෙන් රොන් ගෙන යති පිපාසෙට
හතුරා දැන් දනිමි හඳුනමි මනා කොට

විඳ විඳ සතුට සොයමින් ලෞකික සුවය
මද කලකට විඳින ආමිස සැප බොරු ය
අද අද මරු එතැයි අප සිහි කළ යුතු ය
වැද ලෙන් තුළ සොයමු අපි ලොව්තුරු සුවය

එන යන දකින අය සම සේ පිළිගනිමි
මල නොතළන අයට නිසි ආලය කරමි
වැතිරි පුදසුනේ බුදු සිරිපද සිඹිමි
රැක ගෙන ගුණ සුවඳ මතු බුදු හිමි දකිමි

කීවත් ඔය විලස මට ඒ මල රහස
වින්දෙමි ටික වෙලාවක් ඒ තුළ පහස
බල මැන හිතවතුනි් මේ සසරේ දෝස
ඒ මල පරවුණා ඉදිරියෙ මගෙ දෑස


බුදුහිමි

අපට මිහිරි දහම් දෙසූ අපේ බුදුහිමි
හරි වැරැද්ද කියලා දුන් අපේ බුදු හිමි
අප සැමට ම කරුණාවයි අපේ බුදුහිමි
අපි සැමදා වඳිමු වඳිමු අපේ බුදුහිමි


වඳිමු මුනි සිරිපා

සුමන සමන් දෙව් රජ වැඩ සිටි කන්ද
බුදු සිරිපා පියුමින් බැබළුණ කන්ද
කවුරුත් සාධු කියමින් වඳිනා කන්ද
වඳිමු සැදැහැයෙන් මුනි සිරිපා පියුම


හොඳට නරකට

බිහි වෙයි ලොවේ අවි ආයුධ නව පන්නේ
ඒ හැම පරදවා කවදත් ජය ගන්නේ
හොඳටත් නරකටත් “කට” මයි මුල් වන්නේ
මියැදුණුදාට මැස්සන් කට සිඹින්නේ

හොඳ පැත්තකට අපගේ හැසුරුවොත් කට
ඉන් පිටවන පල අමිලයි හැම දෙනට
අමිහිරි වදන් කළහොත් ඒ කටින් පිට
අති බිහිසුණු ය එය මුල්වෙයි විනාසෙට


තිසරණ සරණ මිස....

කාලය යොදයි ඉසි කෝ මද මාන ගෙන
ආලය මදියි දන් සිල් භාවනා ගැන
ලීලය පුදයි බොරු පුහු මායමින් එන
සීලය රකියි දෝ කවුරුන් කොතැන වන

බොරු බස පරුෂ හිස් පිසුනා වදන ගෙන
සරු බස දහම ගැන විමසුම් නොමැති වන
දරු රැස බලා ඇත වැඩිහිටි අයගෙ වින
විරු ගොස තිසරණය මත පමණමයි එන

හැසිරෙන විට දානපතියන් බොහෝ ඇත
අසරණ අයකු හට සතයක් නොමැත දෙන
විසිරෙන මෝහයට පිහිටක් කොහෙද වෙන
තිසරණ සරණ ගමු එතැනයි හොඳම තැන


මගේ අම්මා

පෝයදාට සිල් රැකගත් මගෙ අම්මා
පින් සිතිවිලි සිතේ දරා ගත් අම්මා
දුක් කරදර නිමා කළ අම්මා
නිවන් දකීවා මගෙ ආදර අම්මා


මිනිස්කම

දහමින් විනා අදමින් වැඩ නොකළ යුතු
අන් සතු දෙය එපා ඇති දෙය තමා සතු
නොසොයා කිසිම දිනයක අන් අයගෙ තතු
රට දැය නඟා පෙරට ම යා යුතු ය මතු

යහපත්කම උගත්කම සැලකිය යුතු ය
හැමටම වඩා මනුසත්කම බලගතු ය
බුදු දහමින් ලැබෙන ඔවදන් මිණි මුතු ය
හෙට ජය ගැනුම සොයුරනි එය ඔබ සතු ය

බාධක කම්කටොළු නිති පසුකර ලන්න
නැණ ගුණයෙන් ඔබ දිවි මග බබළන්න
නින්දා ප්‍රශංසා සම සේ පිළිගන්න
අටලෝ දහම අනුව ම ජීවත් වන්න


සසර මඟ දිනෙක...

නොපෙනී උතුම් නිවන් මඟ
තිර ලෙසින්
සිඳෙන කය
උදය දහවල රැය පුරා
කවා පොවා නහවා
පළඳවා සුසිනිඳු සළුපිළි
හැඩ කර රනින් අභරණ
ගල්වා සුවඳ විලවුන්
සතපවා සැප සයන මත
විවර කර පසිඳුරන්
සිතූ සිතූ දෑ
ලබන්නට රිසි සේ
යවා දුර සොයා සැප
සිඳි සිඳී යනෙන බව
පසක් කර නොගෙන
ලොව්තුරු තථාගත
අප මහා බුදු සමිඳ දෙසූ
නිමල දහම අනුවම
මැරී වැටෙන දා
නොපෙනී
උතුම් නිවන් මඟ
විඳිය යුතු ම ය
දැවෙන නිරයක දුක
සසර ගමනේ දිනෙක...


උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 18 සෙනසුරාදා පූර්වභාග 07.24 පසළොස්වක ලබා 19 ඉරිදා පූර්වභාග 10.05 ගෙවේ. සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]