[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කිහිරි දණ්ඩේ අග මුල සෙවූ හැටි

කිහිරි දණ්ඩේ අග මුල සෙවූ හැටි

පෙර මියුලු නුවර වේදේහ නම් රජ කෙනෙක් රාජ්‍ය කළා. එකල එ නුවර නැඟෙනහිර යවමැදුම් ගම සිරිවඩ්ඪන සිටාණන් නමින් මහ සිටුවරයෙක් ද ජීවත් වුණා. විවාහ වී ටික කලකින් ඔහුගේ බිරිදට ප්‍රඥා සම්පන්න කුමාරයෙක් ලැබුණා. සත් අවුරුදු වයසේ සිටම තම මව්පියන්, ගම් වැසියන් සහ රට වැසියන් වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තා. කුමාරයාගේ කීර්තිය රජ මැදුරේ පවා කතා වෙන්න පටන් ගත්තා.

දිනෙන් දින රජතුමාට අසන්නට ලැබුණේ පුංචි කුමාරයාගේ ප්‍රඥාවේ බල මහිමයයි. සත් අවුරුදු වුවත් ගන්නා තීරණ මහා උගතකුටවත් සිතීමටවත් නොහැකි වුණා. රජතුමා කල්පනා කළා පුංචි කුමාරයාගේ සේවය තමාට සහ රට වැසියාට ලබා ගැනීමට. එහෙත් රජතුමා සමීපයේ සේවය කරන උගත්තු පුංචි කුමාරයා රාජ සේවයට එකතු කර ගැනීමට දැඩි සේ විරුද්ධ වුණා.

රජතුමා කො තරම් උත්සාහ කළත් ඒ සියල්ල වළක්වන්න ඔවුන් කටයුතු කළා. දිනෙන් දින රජතුමාගේ තීරණය කල් දැමීමට ඔවුන් උපක්‍රම යෙදුවා.

රජතුමාට උපදෙස් දෙන විට පවසන්නේ කුමාරයා තවම පුංචියි.

රාජ්‍ය පාලනයට උපදෙස් ගැනීමට තරම් සුදුසු වයසක නෙවෙයි සිටින්නේ. ඒ නිසා අපි තවදුරටත් ඔහුගේ ප්‍රඥාව විමසමු යනුවෙන් යෝජනා කිරීමට පටන් ගත්තා.

රජතුමා ඔවුන්ගේ අදහස් පිළිගෙන කුමාරයාගේ ප්‍රඥාව විමසීමට විවිධ ස්වරූපයෙන් ප්‍රශ්න සකසා නැඟෙනහිර යවමැදුම් ගමට යවන්න පටන් ගත්තා.

රජතුමාගේ ප්‍රශ්න විසඳීමට යවමැදුම් ගම වැසියන්ට නොහැකි වුවහොත් මසුරන් දහසක දඩයක් රජයට ගෙවිය යුතු බවට රාජ ආඥාවක් ද නිකුත් කර තිබුණා.

දවසක් ගම් වැසියන්ට හොඳට මදින ලද වියතක් පමණ දිග කිහිරි දණ්ඩක් යවා එහි අග සහ මුල නිවැරැදි ව තෝරා එවන ලෙසට නියෝග කළා. රාජ පුරුෂයෝ යවමැදුම් ගම වැසියන්ට එය බාර කළා. ඔවුන් එහි අග මුල තේරීමට උත්සාහ කළ නමුත් එය කර ගැනීමට නොහැකි වුණා. දෙවැනියට සිටුවරයා සමීපයට රැගෙන ගියා.

සිටුවරයාට ද එය හඳුනා ගැනීමට නොහැකි වුණා. අනතුරුව සිටුවරයා ගම් වැසියන් අමතා ‘යහළුවෙනි, ම පුතණුවන් පිට්ටනියේ සෙල්ලම් කරනවා ඇති. ඔහු ගෙන්වාගෙන මෙහි අග මුල තෝරා ගන්න. ම පුතණුවන් නම් මෙය හොඳින්ම දන්නා බව මට විශ්වාසයි යනුවෙන් ප්‍රකාශ කළා.

ගම්වැසියෝත් පුංචි කුමාරයා සෙල්ලම් කරන පිට්ටනියට ගොස් සියලු විස්තර පවසා සිටියා. පියතුමාගේ ආරාධනාව නිසා වහා සිටු මාලිගයට පැමිණ, රජතුමා විසින් එවන ලද කිහිරි දණ්ඩ අතට ගෙන එහි අග සහ මුල වහා හඳුනා ගත්තා.

එහෙත් ගම් වැසියන්ගේ සැකය දුරු කිරීමට පුංචි උපක්‍රමයක් යෙදෙව්වා.

පැමිණ සිටි ගම්වැසියන් සහ සිටුමාලිගයේ පිරිස අමතා, සේවකයනි, මට දිය භාජනයක් ගෙන එන්න. රජතුමා මගේ ප්‍රඥාව පරීක්ෂා කිරීමට එවන ලද තවත් ප්‍රශ්නයක් මේ යැයි පවසමින් පැන් භාජනයක් ගෙන්වා ගත්තා.

කුමාරයා හොඳින් සැස සකස් කොට තිබූ කිහිරි දණ්ඩේ මැදින් දෙපසට සම සේ එන අයුරින් නූලක් බැද නූලේ අගින් අල්ලාගෙන කිහිරි දණ්ඩ දිය භාජනයේ ගිල්වා දැමුවා. ඒ මොහොතෙහි ම මුල පෙදෙස වහා දියේ ගිලී ගියා. අග කොටස උඩට පැමිණියා.

ඒ සියල්ල බලා සිටි මිනිසුන් අමතා ‘‘ගසේ මුල බර වේ ද? නැතහොත් අග බර වේ දැයි විමසා සිටියා. ඒ පිරිස කුමාරයා අමතා ‘‘පින්වත් කුමාරයාණෙනි ගසේ මුල පෙදෙස ම බර වේ.

අග කොටස බරින් යුක්ත නොවේ යි පිළිතුරු දුන්නා. මේ අකාරයෙන් කිහිරි දණ්ඩේ අගත් මුලත් හොදින් තෝරා දී කුමාරයා නැවතත් ක්‍රීඩා කරන්න සෙල්ලම් පිට්ටනියට ගියා.

සිටුවරයාත්, ගම්වැසියනුත්, සිටුමාලිගයේ පිරිසත් මහත් සේ සතුටට පත් වුණා. ඒ මොහොතෙහි ම වහා රජ මාලිගයට ගොස් කිහිරි දණ්ඩෙහි අග සහ මුල මේ යැයි පවසමින් රජතුමාට බාර කළා. රජතුමා පැමිණි පිරිසගෙන් මෙහි අග සහ මුල තේරුවේ කවර තැනැත්තෙක් දැයි විමසා සිටියා.

ගම් වැසියෝ

‘‘මහ රජතුමනි, නැඟෙනහිර යවමැදුම් ගම සිරිවඩ්ඪන සිටාණන්ගේ පුත් කුමරා වන සත් හැවිරිදි මහෞෂධ පණ්ඩිතයෝ මෙය විසඳා දුන්නා යැයි පවසා සිටියා.

රජතුමා මහත් සේ සතුටට පත් වුණා. ඔහුගේ සතුට කොතරම් වුණේ ද කියතහොත් පැමිණි පිරිසට මහත් සේ තෑගි බෝග පිරිනමා පිටත් කර හැටියා. සත් හැවිරිදි පුංචි කුමාරයාගේ ප්‍රඥාවේ බලමහිමය නිසා ගම් වැසියන් විසින් දඩුවම් ලෙස රජයට ගෙවිය යුතු මසුරන් දහසින් ගැලවීමට හැකි වුණා.

කුඩා වයසක සිටියත් නිවැරැදි තීරණ ගැනීමේ සහ උපායශීලි ප්‍රඥාවක් හිමි වීමේ භාග්‍ය නිසා රාජ දඬුවමින් ගම් වැසියන් බේරා ගත්තා. තම ප්‍රඥාව තමාගේත්, අන් අයගේත්, රටෙහිත්, සමස්ත ලෝකයෙහිත්

යහපත වෙනුවෙන් යෙදවීමට පසුබට නොවිය යුතු බව කුමාරයා අප සැමට ම පෙන්වා දුන්නා. තම දැනුම ආත්ම සුබ සිද්ධිය සදහා පමණක් භාවිත නොකර පරාර්ථ සේවය පිණිසත් යෙදවිය යුතු බව පෙන්වා දුන්නා. එහෙත් ඇතැම් ප්‍රඥාවන්තයින් තම ප්‍රඥාව අයහපත පිණිස භාවිත කිරීමෙන් ලොවම පීඩාවට පත් වෙන අවස්ථා කොතෙකුත් දකින්නට ලැබෙනවා.

පුංචි කුමාරයා ගම් වැසියන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා නම් ඔවුන්ට මසුරන් දහසක දඩයකට යටත්වීමට එදා ඉඩ තිබුණා.

තමාට කළ හැකි දෙයක් පවතී නම් කොපමණ විශාල කාර්යයක යෙදී සිටියත්, කොපමණ ප්‍රිය ජනක කටයුත්තක යෙදී සිටියත් මඟ නොහැර ඉටු කර දීම සත්පුරුෂ ලක්ෂණයක් බව පුංචි කුමාරයා පෙන්වා දී තිබෙනවා. එයින් තමාගේ කීර්තිය මෙලොව පැතිර යනවා සේ ම පෙර සසරටත් ප්‍රඥාව හිමි කර ගැනීමේ භාග්‍ය උදා වෙනවා. මිනිසත් බව ලබන සියලු දෙනාම තම තම නැණ පමණින් ලොවට සේවය කිරීමට පෙළඹිය යුතු වෙනවා. එය උතුම් සත්පුරුෂ ධර්මයක් බව අවබෝධ කර ගැනීමත් වැදගත්.

එවැනි ගුණ ධර්ම කුඩා අවධියේ සිටම දරුවන්ට හුරු කිරීමෙන් කිළිටි සමාජය පිරිසුදු කර ගැනීමට හැකි වෙනවා. ඒ වෙනුවෙන් පෙරමුණ ගත යුතු වන්නේ මව්පියන්, ගුරුවරුන් සහ වැඩිහිටියනු යි. එවැනි පිරිසක් ජීවත්වන සමාජය ප්‍රිය ජනක ය. ගැටුම්වලින් තොර ය. සාමකාමී ය.

උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 18 සෙනසුරාදා පූර්වභාග 07.24 පසළොස්වක ලබා 19 ඉරිදා පූර්වභාග 10.05 ගෙවේ. සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]