[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හැංගිලා වැරැදි කළත්‍ වැරැදි කරලා හැංගුණත් කර්මයෙන් සැඟවෙන්න බැහැ

හැංගිලා වැරැදි කළත්‍ වැරැදි කරලා හැංගුණත් කර්මයෙන් සැඟවෙන්න බැහැ

හිරු, සඳු අහසේ බබළනවා. එයින් අපේ ජීවිතවලට ආලෝකයක් ලබා දෙනවා. ඒ වගේ ලොව බබළන මිනිසුන්, අන් අයට දයාව, කරුණාව දක්වන මිනිසුන් අප අතර සිටිනවා. තමාගේ දක්ෂතාවය, කුසලතාවය, නිවැරැදිව හඳුනාගෙන හිනි පෙත්තට නැඟි මිනිසුන්ගෙන් සමාජයට සිදුවන යහපත මෙතෙකැයි කිව නොහැකියි. එවැනි යහපත් මිනිසකු ‍සොයා අප ගියා. ඒ  AKK  ඉංජිනියර් ප්‍රයිවෙට් ලිමිටඩ් පෞද්ගලික ආයතනයේ නිර්මාතෘ ආචාර්ය රොහාන් කරුණාරත්න මහතා යි.

මම උපන්නේ 1960 වර්ෂයේ. මගේ ගම හොරණ. එහෙත් බො‍හෝ කාලයක් සිට අප පදිංචිව සිටින්නේ පන්නිපිටිය නගරයේ. මා මූලික අධ්‍යාපනය ලැබුවේ පන්නිපිටිය ධර්මපාල විදුහලෙන්. ඉන්පසු කොළඹ නාලන්දා විදුහලට ඇතුළත් වෙලා උසස්පෙළ දක්වා ‍ඉගෙනුම ලැබුවා. මට එක සහෝදරියක් සිටින්නේ. ඇයත් මේ වනවිට විදේශගතවයි ජීවත් වෙන්නේ.

හැම දරුවකුට ම වගේ අපටත් සුන්දර ළමා කාලයක් තිබුණා. ජනාකීර්ණයෙන් තොර පරිසරයක අප සුව සේ හැදී වැඩුණා. අපට බොහෝ අඟහිඟකම් නොතිබුණත් අඩුපාඩු නොතිබුණා නොවේ. අද අපේ දරුවන්ට තිබෙන බොහෝ දේ අපට එදා තිබුණේ නැහැ. අපේ වැඩ අප විසින්ම යි කර ගත්තේ. අධ්‍යාපනය ලබන අතරේ අපි පාසලේ කී‍්‍රඩා කළා. එයින් ජය ගත්තා.


ආචාර්ය රොහාන් කරුණාරත්න

මව්පියන් අද වගේ දරුවන්ගේ පස්සෙන් ම සිටියේ නැහැ. පොඩි අවවාදයක් පමණයි අපට දුන්නේ. ඒ අවවාද ඔස්සේ තනිව ම අපේ ජීවිත හසුරුවා ගත්තා. ස්වයං වාරණ යටතේ අ‍පේ ජීවිත ගොඩනඟා ගත්තේ අපිම යි. එදත්, අදත් කම්මැළිකම මගේ ජීවිතයට තිබුණේ නැහැ.

එකවරක් වැරදුණොත්, පැරදුණොත් නැවත නැවත උත්සාහ කිරීම, අත්නොහැරීම මගේ පුරුද්දක්. කී‍්‍රඩාවත්, අධ්‍යාපනයත් සම ව කරගෙන ගිය නිසා මට ජීවිතය දිනන්න පුළුවන් වුණා. අද දරුවන්ට ඒ සමබරතාවය නැති නිසා ඔවුන් හැම දෙයකට ම මන්දගාමී බවක් පෙන්නුම් කරනවා.

මගේ පියා රජයේ රැකියාවක් කළේ. ඔහු සෞඛ්‍යය අධ්‍යාපන අංශයේ හිටපු අධ්‍යක්ෂක මහාචාර්ය ලොකුවිතාරණ කරුණාරත්න යි. ඒ වගේම මගේ පියා ප්‍රකට නාට්‍ය රචකයෙක්. ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයට පත්වෙලා විදේශගත වුණා. මම ඒ කාලයේ ම ඉංජිනේරු උපාධිය සඳහා ඉන්දියාවට ගියා. ඒ වගේම මාස්ටර් උපාධිය කරන්නට එංගලන්තයටත්, PHD  උපාධියට අමෙරිකාවටත් ගියා. අධ්‍යාපනය අවසන් කරලා මව්බිමට සේවය කිරීමේ අදහසින් මම නැවත 1993 වර්ෂයේ ලංකාවට ආවා.

නව අත්හදා බැලීම්. . .

ඉන්පසුව මම පෞද්ගලික ආයතන කීපයක සේවය කළා. එහෙත් මගේ සිතට ඒ කිසිතැනක සෑහීමකට පත්වීමක් තිබුණේ නැහැ. ඒ නිසා මම තවත් යහළුවෙක් සමඟ අ‍පේ ම ව්‍යාපාරයක් කරන්නට පෙළඹුණා. මගේ මව්පියන් එය‍ට තරමක් විරුද්ධ වුණා. අත්දැකීම් අඩු අපට තනියම ව්‍යාපාරයක් කරගෙන යන්නට බැරි බවයි ඔවුන් කීවේ. හිතට එකඟව වංචාව, දූෂණය, නාස්තිය නැතිව වැඩ කිරීමේ එකම අරමුණෙන් මම  AKK  ඉංජිනියර් ප්‍රයිවෙට් ලිමිටඩ් පෞද්ගලික ආයතනය නමින් මගේම ව්‍යාපාරයක් පටන් ගත්තා.

මේ ව්‍යාපාරය ඉතාමත් කුඩාවටයි පටන් ගත්තේ. මට අලුත් දෙයක් නිර්මාණය කරන්න අවශ්‍ය වුණා. මටත් යාලුවාටත් කිසිම වාහනයක් හෝ ලොකු මුදලක් තිබුණේ නැහැ. ටිකෙන් ටික තමා ව්‍යාපාරය ගොඩනැඟුවේ. එයින් ලැබුණ අත්දැකීම උඩයි අප මහා පරිමාණයේ ඉදිකිරීම්වලට යොමු වුණේ.

අමාවතුර මහමෙව්නා භාවනා අසපුවේ ඉදිවෙන බෝධි ප්‍රාකාරය

මුල්කාලයේ ව්‍යාපාරිකයෝ සොයා ගෙන අපි මෝටර් සයිකලයක තමා ගියේ. වැස්ස, අව්ව, පිපාසය, බඩගින්න, සීතල, මැසි, මදුරු උවදුරු අපි ඉවසීමෙන් ඉවසුවා.

ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ හොඳ ගුරුවරු අපට මුණ ගැසුණු නිසා බොහෝ දේ අපේ ජීවිතයට එකතු කර ගත්තා. ඒ නිසා මට පුළුවන් වුණා මගේ ආයතනය හරහා මෙන්ම ජාත්‍යන්තරවත් ලංකාවේ බොහෝ ව්‍යාපාර ස්ථාන හෝටල් ඉදිකිරීම් කරන්න.

මගේ අධ්‍යාපන සුදුසුකම් අනුව මේ වනවිට මම ලංකා ඉදිකරන්නන්ගේ ආයතනයේ සභාපති,  AKK  ඉංජිනේරු ආයතනයේ සභාපති, හැටන් නැෂනල් බැංකුවේ අධ්‍යක්ෂ ධූරයක් වගේ ම CIOB ආයතනයේ සභාපති ආදී ආයතන කීපයක නිලතල දරනවා.

බුදුදහමට මුල් තැන. . .

අපේ නිවසේ තිබුණේ බෞද්ධ පරිසරයක්. අපි කුඩා කාලයේ පටන් ම බෞද්ධ සිරිත් විරිත්, බෞද්ධ ප්‍රතිපත්තිවලට අනුකූලව යි ජීවත් වුණේ. අපි පිටරට අධ්‍යාපනය ලැබුවත් කවදාවත් මත්පැනට, සූදුවට, වැරැදි වැඩවලට යොමුවුණේ නැහැ. පව් කරන්නට ලජ්ජාව ඇති නිසා සිල්වත් ජීවිතයක් ගත කරන්නට අපට අවස්ථාවක් උදා වුණා.

දුසිරිතයෙන් තොර පුද්ගලයාට දියුණුවීමට තිබෙන අවස්ථා වැඩි යි. බුදුදහම සමඟ මගේ ජීවිතය හරි සැහැල්ලු යි. වගකීම් සහිත ජීවිතයක් ගත කළත් මම දහමට අනුව ම ජීවත් වෙනවා. මගේ දරු‍වන් දෙදෙනාටත් ඒ ගැන මම නිතර කියා දෙනවා. විහාරස්ථාන කීපයක් මේ වනවිට මම පෞද්ගලිකව ඉදිකර තිබෙනවා.

ඊට ළඟම උදාහරණය මාලඹේ මහමෙව්නා භාවනා අසපුවේ බෝධි ප්‍රාකාර ය. එයට ප්‍රධාන දායකත්වය මම දැරුවා. උඳුවප් ‍ පෝ දා එය විවෘත වීමට නියමිත යි. පෙරටත් වඩා මම දැන් බෞද්ධ ධර්මය හැදෑරීමටත් බෞද්ධ කටයුතුවලට සහභාගීවීමටත් කාලය මිඩංගු කරනවා. මේ වන විට බුදුදහම ඉතාමත් සරල ව, නිවැරැදිව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා. දයාවට, කරුණාවට දේශ සීමා නැහැ කියන දේ තමා මම අදහන්නේ.

මගෙන් ලෝකයාට ලබාදිය යුතු උපකාරය මිස ලෝකයාගෙන් මට ලබා ගත හැකි දේ මම සොයන්නේ නැහැ. වටිනාම දේ හිතේ සාමකාමී බව යි. එය නැති තැන කිසි දෙයක වටිනාකමක් ලැබෙන්නේ නැහැ.

මමත් බිරිඳත් පුතා සහ දුව අදටත් පසළොස්වක පෝ දිනට සිල් සමාදන් වෙනවා. දරුවන් ජාත්‍යන්තර විදුහල්හි වගේම විදේශීය අධ්‍යාපනය ලැබුවත් ඔවුන් දහමට ලැදි යි. අපි සියලු වගකීම්වලින් නිදහස් වෙලා මානසික සතුට, සැහැල්ලුව වගේම බෞද්ධයාගේ මූලික අරමුණ වූ නි‍වන වෙනුවෙන් පෝ දින උපෝසථය සමාදන්වීමට වෙන් කරනවා.

මගේ සේවකයන්ටත් නිතරම ආගමානුකූල ජීවිතයක වටිනාකම කියා දෙනවා. හැංගිලා වැරැදි කළත්, වැරැදි කරලා හැංගුªණත් කර්මයෙන් සැඟවෙන්න බැරිබව මම දැඩිව විශ්වාස කරනවා.

පුද්ගල ඇසුර. . .

ඉදිකිරීම් ‍ක්ෂේත්‍රයට සම්බන්ධව විවිධ අදහස් ඇති, විවිධ රුචි ඇති පුද්ගලයන් මට ඇසුරු කරන්නට ලැබෙනවා. බොහෝ විට ඉදිකිරීම් සඳහා අපි කම්කරුවන් සමඟ සම්බන්ධ වෙනවා.

ඉහළ තනතුරේ සිට කම්කරුවා දක්වා මගේ යටතේ සේවය කරනවා. එහිදී මා දුටු දේ තමා ‍ ‍බොහෝ විට සමාජයේ පහළ ම සිටින අධ්‍යාපනය අඩු, ආර්ථික අපහසුතා ඇති පුද්ගලයා දෙස සානුකම්පිතව නොබැලීම යි. ඔවුන් හදිසි අනතුරුවලට ලක්වෙනවා. එහිදී ඔවුන් තනි නො කර රැක ගැනීම අපගේ වගකීම යි.

අඩු අධ්‍යාපනයක් වගේ ම දුෂ්කර ආර්ථික අපහසුතා ඇති බොහෝ දෙනා මේ ‍ක්ෂේත්‍රවලට සම්බන්ධ යි. ඔවුන් ගැන මට අත්දැකීම් තිබෙනවා. ඉදිකිරීම් ආයතනයේ සභාපතිවරයා ලෙස මම රජයත් සමඟ සාකච්ඡා කළා ඔවුන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න. එය ඉදිරියේ දී කි‍්‍රයාත්මක වේවි.

මේ සේවකයන් පිළිබඳ මම අධ්‍යයනයක් සිදුකළා. මම දුටු දේ ඔවුන් බොහෝ සේ මත්වතුරට ඇබ්බැහි වෙලා. සෑම දිනක ම සුරාව පානය කරනවා. එනිසා කෙතරම් මුදල් ඉපයුවත් ඔවුන්ගේ දුවා දරුවන් දුක් විඳීනවා. සිංහල බෞද්ධයා මතට යොමුවීම අපගේ පිරිහීමක් ලෙසයි මම දකින්නේ. එදා අනගාරික ධර්මපාලතුමා කී දේ අද සත්‍ය වෙලා තිබෙනවා. සුද්දා සිංහලයාට නොමිලේ මත්වතුර දීලා මත්වතුරට පුරුදු කළා. අද ඔවුන් මුදල් දීලා මත්වතුර බොනවා. මේක අපේ ජාතියට අවාසනාවන්ත ලෙස බලපානවා.

ආලෝකයෙන් ආලෝකයට. . .

බුදුදහමින් මගේ ව්‍යාපාරයට ලොකු ආලෝකයක් ලැබුණා. අපි පවට බය නිසා රජයට හෝ සේවකයාට හෝ වංචාවක්, පාඩුවක් කරන්නට අකමැති යි. අප කරන දේ නියම ප්‍රමිතියට, පාරිභෝගිකයාගේ සිත තෘප්තිමත් වන ආකාරයට නිමකර දීමට උත්සාහවත් වෙනවා.

එය තමා මගේ සතුට. අද බැහැ හෙට කියන දේ මගේ ජීවිතයේ නැහැ. අවංක ව, පවට බය, ලජ්ජාව ඇතිකරගෙන සාධාරණ ව ආගමට දහමට ලැදිව කටයුතු කළොත් දියුණු වෙන්න පුළුවන්. සුරාව සූදුව මිනිසා අගාධයට ඇද දමනවා. බුදුදහම තුළින් පමණයි දුගියකුට වුවත් පොහොසතකුට වුවත් සැනසීමෙන් ජීවත්වෙන්න පුළුවන් වෙන්නේ.

නොපසුබට වීර්යය, කැපවීම, උත්සාහය, ධෛර්ය, උනන්දුව ආදිය ඇති ඕනෑම පුද්ගලයකුට දියුණුව වෙත යා හැකියි. එනිසා යම් කෙනෙක් යම් ව්‍යාපාරයක් කරන්න කැමැති නම් තමන්ගේ සිතට එකඟ ව වැඩ කරන්න.

කවුරු ඔබට මොන දේ කළත්, කීවත් ඔබ ඔබේ සිතට එකඟව, දහමට අනුව ජීවත් වෙනවා නම් ඔබගේ දියුණුව කිසිවකුටත් නවතාලිය නොහැකිවනු බවයි මගේ හැඟීම.

උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 18 සෙනසුරාදා පූර්වභාග 07.24 පසළොස්වක ලබා 19 ඉරිදා පූර්වභාග 10.05 ගෙවේ. සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]