[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

මෙවර ජයග්‍රාහී නිර්මාණය

විදුලකර නා සමිඳ

වැඩසිටි මුල් අසුන හොබවා විදුලකරේ
යහපත සැලසුවා සැමටම නිරන්තරේ
හදවත දුකෙනි නෙතු අග දුක් කඳුළු පිරේ
නියතයි සමිඳු වැඩිබව නම් නිවන් පුරේ

නිදහස් මනස පාවී දෙව් ලොවට වැඩ
ලකඹර සසුන රැක ගන්නට තිබේ ඉඩ
දෙසුමෙන් කළා මේ මව්බිම නිතර හැඩ
නිවනට වඩිනු නාහිමියනි කෙලෙස් මැඩ

හිමි වෙත පැමිණි සැමගේ දුක් කඳුළු පිස
සිත් සැනසුවා දෙසමින් රස මියුරු බස
කරුණා ගුණය මහ මෙරටත් වැඩිය උස
බුහුමන් කරමි පායුග මත තබා හිස


මල්

උදේ පිපී හැන්දෑවට පරවී යන මල්
රෑට පිපී හිමිදිරියේ බිමට වැටෙන මල්
පාට පාට සුවඳ පිරුණු හරි ලස්සන මල්
කාටවත් ම නොවේ අපේ බුදු සමිඳුට මල්

‘සමනලයෝ’ උඹ නැටුවට නඟිමින් උඩ මල්
‘වන බඹරෝ’ පැණි ඉරුවට පෙති රිදවා මල්
දැන ගන්නයි මේ කියෙන්නෙ අපේ වත්තෙ මල්
මං වැවුවේ බුදු සමිඳුන් වෙනුවෙන්මයි මල්

කවුරු වුණත් නෙළාපු දෙන් කමක් නැතේ මල්
හැන්දෑවට අරන් යාවි නොවෙදෝ පන්සල්
බුදු සමිඳුගෙ පාමුල ළඟ ඇතිරුවාම මල්
ඒ අය හට වගේ මටත් පින් ගෙනේවි මල්

වතුර දමා පොහොර යොදා මං වවන්නෙ මල්
මේ ඇත්තයි බුදු සමිඳුන් වෙනුවෙන්මයි මල්
නිවාගන්න මතු දවසක සසරේ ගිනිදැල්
අනේ මටත් උදවු වෙන්න බැහැ නොකියා මල්


පොහොය වරුණ

දේවාවරෝහණයෙන් වැඩ සිටි බුදු හිමි පැදකුණු කොට
වියනක් බැඳ බුදු කුටියේ සළුවක් ගෙන සිතු විලසට
මතු බුදුවන මෙතේ බුදුන් විවරණ ගත් බුදු වීමට
ඉල් පෝදා වඳිමු බැතින් මෙත් මුනි ගුණ සිහිපත් කොට

බුදු හිමියන් හට දෙවැනි ව අගසව් සැරියුත් හිමියන්
සදහම් දෙසමින් වැඩ සිට අවසන් කර තම මෙහෙයන්
පිරිනිවනට වැඩිය පොහොය සිහිපත් කොට සිහි නුවණින්
වඳිමු පුදමු පන්සල් බිම නැහැවෙන්නට සිල් සුවඳින්

යස කුල පුතු ඇතුළු පිරිස සමඟින් පස්වග තවුසන්
අමතා ගම් දනව් කරා වඩින ලෙසට දම් දෙසමින්
බුදු හිමියන් පළමු රහත් හැට නම යැව් මෙත් කුළුණින්
ඉල් පොහොදා අපිත් වඳිමු මහ සඟ ගුණ සිහිකරමින්


අමා නිවන

දුක මතම පවතින ලෝකයේ
පිහිට පිළිසරණක් නැතිව
තිර නවාතැනක් සොයමින්
සසර දිගු මඟ ඇවිදින
අනියත පුද්ගල
සිත පෙරළේ වහා
දරණුව නැති කළය සේ.....
නොපෙරළී පවතින්න ඒ සිත
ඇවැසි ආධාරකය....නම්......
තිලෝගුරු බුදු සමිඳු
අවිදු අඳුර දුරලමින් හෙළි කළ
සුන්දරම මඟ වූ
අරි අටැඟි මඟ ම ය
වහ වහා පිය නඟා ඒ මඟේ
නවත්වමු අතිර මේ ජීවිතය
පරම සුන්දර අම නිවන් පුර


සසර දුකින් මිදෙමු

සවණක් බුදුරැස් විහිදූ
අපෙ ගෞතම බුදු සමිඳූ
රුදු ඝොර මරුවා පැරදූ
නමදිමු අප ඒ මුනිදූ

මුනිදුට මල් පහන් පිදූ
සැම වෙත පින්වේය සිදු
රහතුන් ඒ කෙලෙස් සිඳූ
ඝොර සසරින් ඔවුහු මිදූ


හරි මඟට පිවිසී

එදා ඔහු මා වෙනුවෙන්
කළ යුතුකම් උපකාර
මහ සයුර සේ
අනන්තය..අප්‍රමාණය
ඒ අතර තුර
මහ වැස්සකින් – වෙන්කර ගත්
පුංචි වැහි බිංදුවක්
හා සමාන ව
ඔහුගෙන් .මට සිදුවූ
අකටයුතු කම්ද නැතුවා නොවේ
දැන් දැන් මගේ
කෘර වූ දුෂ්ඨ සිත
ඔහු මට කළ
යහපත් දේ දියෙහි ඇඳි
ඉරි බවට පමුණුවා
ඔහු මට කළ
අයහපත් දේ ම ගලේ කෙටූ
අකුරු බවට පමුණුවා
ඔහු කෙරෙහි ද්වේශයම
ජනිත කරමින්.....
ඔහුව මගෙන් දුරස් කිරීමට
මග පෑදුව ද......
මම තවදුරටත්
දුෂ්ඨ සිතට – වහල් නොවෙමි
ඔහුට ළංවෙමි- මෛත්‍රියෙන් ළංවෙමි


කූරගල කඨින පින්කම

තුන් ලෝ තිලක බුදු හිමි නමදිමු සාධු
දුන් ලෝ දනන් වෙත බොදු සදහම් සාධූ
දන් පුදකරමු මහ සඟ රුවනට සාධූ
පින් රැස් කෙරෙන චීවර මාසය සාධූ

පිටතින් පෙදේසෙන් බැති පිරිස පින පිට
අලුතින් ඉදිකෙරුණ දන් මැදුර තුළ සිට
සතුටින් සඟරුවන සිය ගණන් වැඩ සිට
සියතින් කඨින දන් පිදුවෙමු එහි සිට

පෙරදින කඨින දුස්සය රැගෙන සැරි සරා
එම දින වන්දනාකර පිරිස ගම පුරා
පසුදින උදයෙ මහපුද බිමට හිස දරා
සුබ දින වැඩමවති චීවරය පින දරා

පිබිදෙන කූරගල පුදබිම ම ලස්සනයි
වැඩමන සඟ රුවන දුටුවා ම පින්බර යි
පුද දුන් කඨින දානය හරිම සුන්දරයි
මෙහි එන පිරිස නිතියෙන පුද පින් පුරයි


ජීවිතය

තණ අග රැඳි පිනි බිඳක්ය ජීවිතය
පහන් දැල්ල මෙන් නිවී යයි ජීවිතය
සතුටක් එක්ක කල් යවනා ජීවිතය
කවුරුත් කිසි දිනක නොසිතන ජීවිතය

ඉල් අව අටවක පෝය

නොවැම්බර් 27 සෙනසුරාදා පූර්වභාග 05.43 අව අටවක ලබා 28 ඉරිදා පූර්ව භාග 06.00 ගෙවේ.
සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

Full Moonඅමාවක

දෙසැම්බර් 03

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]