[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භික්ෂු ගරුත්වය ආරක්ෂා කරගෙන ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබාගත යුතු යි

භික්ෂු ගරුත්වය ආරක්ෂා කරගෙන ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබාගත යුතු යි

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ රත්නපුර මහදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ඕමල්පේ පුරාණ ටැම්පිට විහාරාධිපති ප්‍රවචන ධර්ම කීර්ති ශ්‍රී දාපනේ පඤ්ඤාණන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ය.

ව්‍යක්ත විශාරද බහුශ්‍රැත ධර්මධර, විනයධර සුපේෂල ශික්ෂාකාමී සංඝ ගුණාංගයන්ගෙන් සෝභමාන ව වැඩ සිටින ඔබ වහන්සේ රත්නපුර මහදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වශයෙන් විශාල ශාසනික සේවයක් සිදුකරනු ලබනවා. එවැනි ශාසනික සේවයක නියැළීමට ගුරු හාමුදුරුවරුන්ගෙන් ලැබුණ ආභාෂය මගපෙන්වීම සිහිපත් කරමින් ඔබ වහන්සේ මෙතෙක් පැමිණි ගමන්මග පිළිබඳ කතාබහ ආරම්භ කරමු අපේ හාමුදුරුවනේ.

වර්ෂ 1959 ක් වූ නොවැම්බර් මස 29 වැනි දින මාතර දිස්ත්‍රික්කයේ දික්ඕවිට වලව්වේ දී ජන්මලාභය ලබාගෙන දොරපනේ විද්‍යාලයෙන් මූලික අකුරු ශාස්ත්‍රය ඉගෙනීමට කටයුතු කළා. විජේසුන්දර සෙනරත් හිටිගේ අමරසේකර මහතා සහ අතාවුද පතිරනගේ සෝමාවතී මාතාව යන සැදැහැති මව්පියන්ගෙන් ලද ශාසනික උරුමය අනුව පුංචි කාලයේ සිටම මා තුළ පැවිදිවීමට තිබුණ ඉමහත් ආසාව නිසා මව්පියන්ගේ ආශිර්වාදය ඇතිව 1972 වර්ෂයේදී ඕමල්පේ පුරාණ ටැම්පිට විහාරස්ථානයට පැමිණියා. එවකට විහාරාධිපතිව වැඩ සිටි ප්‍රවචන කීර්ති ශ්‍රී කර්මවාගාචාර්ය ගරු සම්භාවිත දාපනේ ධම්මානන්ද මාහිමිපාණන් වහන්සේ ගිහි කල ඥාති සම්බන්ධතාවයකුත් පැවතුණ බව සිහිපත් කළ යුතුයි. එහිදී පැවිදිවීමට අවශ්‍ය කරන මූලික වත් පිළිවෙත් නායක හාමුදුරුවන් වහන්සේ ඇසුරේ පුරුදු පුහුණුවෙමින් අතිගෞරවාර්හ දාපනේ ධම්මානන්ද මාහිමිපාණන් වහන්සේ, පනාමුර ශ්‍රී කාවන්තිස්ස විහාරාධිපති අතිපූජනීය කෑල්ලේ ඛේමානන්ද නායක මාහිමිපාණන් වහන්සේ සහ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරය හොබවන රත්නපුර මහවල ශ්‍රී ධර්මායතන මහ පිරිවෙන් විහාරාධිපති සාහිත්‍යවේදී ග්‍රන්ථ විශාරද ගරු සම්භාවිත කෑලිගම විජිතානන්ද නායක මාහිමිපාණන් වහන්සේ යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් මදුන්වෙල මුදලින්දාරාමාධිපති ව වැඩ විසූ සබරගමු පළාතේ ද්විතීය සංඝනායක ගරු සම්භාවිත කෑල්ලේ ශ්‍රී සාරානන්ද නායක මා හිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් පූර්වෝකෘත පුණ්‍ය මහිමයට අනුව 1972 ක් වූ සැප්තැම්බර් මස 20 වැනි දින දාපනේ පඤ්ඤාණන්ද යන උත්තරීතර ශාසනික නාමයෙන් ප්‍රව්‍රජ්‍යාභාවයට පත්වුණා.

අනතුරුව වසරක පමණ කාලයක් ගුරු හාමුදුරුවන් ඇසුරේ පන්සල් සම්ප්‍රදායන්ට අනුගතවෙමින්, සාමණේර බණ දහම් මූලික ශාසනික වත් පිළිවෙත් පුරුදු පුහුණු වුණා. ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ ඌරුබොක්ක ශ්‍රී මේධංකර පිරිවෙන, පැල්මඩුල්ල පුරාණ රාජමහා විහාර රූප අරුණ විද්‍යායතන පිරිවෙන, රත්නපුර සද්ධර්මාලංකාර මහ පිරිවෙන, නුගේගොඩ සුභද්‍රාරාම පිරිවෙන යන පරිවේණාස්ථානයන් තුළින් ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ඉතාමත් හොඳින් ලබා ගත්තා. එම කාලපරිච්ඡේදයේ දී ම නිසි වයස සම්පූර්ණ වු නිසා සබරගමු පළාතේ ද්විතීය සංඝනායක, අතිගෞරවාර්හ කෑල්ලේ ඛේමානන්ද නායක හාමුදුරුවන් වහන්සේගේ හා සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක සාහිත්‍යවේදී ග්‍රන්ථ විශාරද ගරු සම්භාවිත කෑලිගම විජිතානන්ද නායක මාහිමිපාණන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් , 1982 වර්ෂයේ දී මල්වතු මහා විහාරයීය, ඓතිහාසික උපෝෂථාගාර සීමාමාලකයේ දී අධිශීල සංඛ්‍යාත සුපරිශුද්ධෝපසම්පදාව ලබා ගැනීමට පූර්වෝචිත පුණ්‍ය ශක්තිය බලවත් වුණා.

ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු නිමාවීමත් සමඟ 1984 වර්ෂයේ දී පිරිවෙන් ආචාර්යවරයකු වශයෙන් රත්නපුර මහවල ධර්මායතන මහ පිරිවෙනේ ධර්මශාස්ත්‍රීය සේවය ආරම්භ කළා. පිරිවෙන් ආචාර්යවරයකු වශයෙන් සේවය කරමින් ම රත්මලාන පරමධම්මචේතිය පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ පිරිවෙන් ගුරුවරුන් සඳහා වෙන්වූ දෑ අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කරමින් පිරිවෙන් පුහුණු ගුරුවරයකු වශයෙන් නැවතත් 1990 වර්ෂයේ දී මහවල ධර්මායතන පරිවේණස්ථානය වෙත වැඩම කළා. ඕමල්ප විහාරස්ථානයේ වැඩ සිටි නායක හාමුදුරුවන් වහන්සේ අසනීප තත්ත්වයෙන් පසුවූ නිසා නැවතත් කෑල්ලේ ශ්‍රී සුදර්ශන මූලික පිරිවෙනේ ආචාර්යවරයකු වශයෙන් සේවය කිරීමට සිදු වුණා. 2019 වර්ෂයේ දී විශ්‍රාම ගන්නා තෙක් ඉහත පරිවේණාස්ථානයන්හි පිරිවෙන් ආචාර්යවරයකු, උප පරිවේණාධිපති, නියෝජ්‍ය පරිවේණාධිපති, පරිවේණාධිපති වශයෙන් සම්බුද්ධ ශාසනයට පිරිමහින ආකාරයෙන් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණය ලබාදීමට කැපවුණා.

ඒවාගේම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ශාසනානුලෝමී හැඟීමෙන් කටයුතු කරන ශික්ෂාකාමී ශිෂ්‍ය පරපුරක් සසුනට දායාද කිරීමට ලැබීම මහා භාග්‍යයක් කොට සලකනවා. උන්වහන්සේලා මේ වන විට ධර්ම ශාස්ත්‍රීය සේවාව වගේම ජාතික, ආගමික, ශාසනික වශයෙන් විශාල ශාසනික කර්ය භාරයක් ඉතාම හොඳින් සිදුකරගෙන යාම පිළිබඳව බොහොම සතුටුයි.

ඕමල්පේ පුරාණ ටැම්පිට විහාරස්ථානය සියලු විහාරාරාංගයන්ගෙන් සම්පූර්ණ දර්ශනීය විහාරස්ථානයක් බවට පත්කිරීමටත්, ප්‍රදේශයේ දරුවන් සඳහා දහම් පාසල් ආරම්භ කිරීමටත්, හැකි වුණා. සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් දාපනේ ජයසුමන පිරිවෙන ආරම්භ කිරීමට පුරෝගාමී ව කටයුතු කිරීමට ලැබීමත් භාග්‍යයක්. ඕමල්පේ පුරාණ ටැම්පිට විහාරස්ථානය තුළ පෙර පාසල, ගොවි සංවිධාන, කුළගණ සමිති හා සුභසාධන සමිතිවල අනුශාසකත්වය දරමින්, දාපනේ සුමන පදනමේ සාමාජිකත්වය දරමින් ජාතික, ආගමික, ශාසනික, ආර්ථික, වශයෙන් සුවිශාල සේවාවක් සිදුකරගෙන යනවා. දාපනේ ජයසුමන පිරිවෙන ආරම්භ කිරීමට පුරෝගාමී වුණා. ප්‍රදේශවාසී මහා සංඝ රත්නයේ ඉල්ලීම පරිදි එම ශාසනික සේවය ඇගයීමට ලක්කරමින් මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරප්‍රමුඛ සානුනායක විංශත්වර්ගික කාරක සංඝ සභාව වෙතින් ප්‍රවචන ධර්ම කීර්ති ශ්‍රී ගෞරව නාමය සහිතව රත්නපුර මහ දිශාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ධුරයෙන් පිදුම් ලැබුවා.

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ රත්නපුර මහදිශාවේ ප්‍රධාන අධිකරණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ වශයෙන් ඔබ වහන්සේට පැවරී තිබෙන ශාසනික කාර්යභාරය කෙටියෙන් පැහැදිලි කරන්න හාමුදුරුවනේ?

සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ප්‍රදේශවාසී මහා සංඝ රත්නය සමඟ සාමූහික ව, සාමකාමී ව සාකච්ඡා කරමින් මතුවන ගැටලු යථා තත්ත්වයට පත්කරගෙන සංඝ සාමගි‍්‍රය ආරක්ෂා වීමට අවශ්‍ය උපදෙස් ලබාදීමටත්, වැදගත් කරුණු සංඝ මූලස්ථානය වෙත දැනුම්වත් කිරීමටත් කටයුතු කරනවා.

අත්දැකීම්වලින් පිරිපුන් පරිණත බවත්, විචක්ෂණ බුද්ධිමත් බවත් ඇති විශ්‍රාමික පරිවේණාධිපති ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ලබාගත් දැනුම් සම්භාරයට අනුව පිරිවෙන් අධ්‍යාපනය ලබන පොඩි හාමුදුරුවන් වහන්සේලාට ලබා දෙන්නේ මොනවගේ අනුශාසනාවක් ද හාමුදුරුවනේ?

සංඝ සමාජය තුළ තිබෙන චර්යාපද්ධතියට, වත්පිළිවෙත්වලට අනුගත වෙමින් සංඝසාරුප්‍ය ඇතිවන ආකාරයට කටයුතු කළ යුතුයි. විවිධ විෂමාකාර ගතිගුණ ඇති විෂම පරිසරයක, ජීවත්වන නිසා එදා වැඩ සිටි ගුරු හාමුදුරුවන් වහන්සේලාට වඩා වර්තමාන ගුරු හාමුදුරුවන් වහන්සේලාට පොඩි හාමුදුරුවරු පිළිබඳව වැඩි වගකීමක් දරමින් අවදියෙන් සිටිය යුතු තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. භික්ෂු ගරුත්වය ආරක්ෂා කරගෙන ධර්ම ශාස්ත්‍රීයඅධ්‍යාපනය ඉතා හොඳින් ලබාගත යුතුම යි.

ඉල් අව අටවක පෝය

නොවැම්බර් 27 සෙනසුරාදා පූර්වභාග 05.43 අව අටවක ලබා 28 ඉරිදා පූර්ව භාග 06.00 ගෙවේ.
සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

Full Moonඅමාවක

දෙසැම්බර් 03

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]