[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බාධක ජය ගන්නට නම් සිතේ දුර්වලතා හඳුනාගන්නට ඕනෑ

බාධක ජය ගන්නට නම් සිතේ දුර්වලතා හඳුනාගන්නට ඕනෑ

මිනිස් සිත හරිම පුදුමාකාරයි. මොහොතින් මොහොත වෙනස් වෙමින් තැනින් තැන ගමන් කරන්නේ සිත අයිති පුද්ගලයාටත් නොදැනී ම යි.

ඇත්තට ම මේ සිත කියන්නේ කුමකට ද? එය නිවැරැදි ව අවබෝධ කරගන්නේ කෙසේ ද? එහි නියම ම ස්වරූප කෙබඳු ද? සිත හඳුනාගන්නේ කෙසේ ද? සිත වැරැදි මඟක ගමන් කරනවා නම්, එහි ප්‍රතිඵලය කුමක් ද? නිවැරැදි මඟක ගමන් කරනවා නම් එහි ප්‍රතිඵලය කුමක් ද? දුර්වලතා හඳුනාගෙන නිවැරැදි මඟක ගමන් කරන්නේ කෙසේ ද? ආදි ලෙස විවිධ පැතිකඩවලින් සිත ගැන කළ දීර්ඝ විග්‍රහයක් බුදු දහමෙහි සඳහන් වෙනවා.

බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක

“නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං පි සමානුපස්සා මි සං ඒවං චිත්තං“

සිත වැනි වැදගත්වන වෙනත් කිසිම දෙයක් මෙලොව මා දැක නැත. සිත වැඩි දියුණු කරනවා නම් ,නිවැරැදි ව මෙහෙයවනවා නම් මිනිසාට ඔහු ගේ සිත උතුම් මෙහෙයක්, උතුම් සේවාවක් ඉටු කර දෙනු ඒකාන්තයි.“ යනුවෙන් දේශනා කළා.

සෑම දෙනාගේ ම බලාපොරොත්තුව සතුටින් ජීවත්වීම යි. සාමයෙන්, සමගියෙන් ජීවත්වීමයි. සාමාන්‍ය විශ්වාසය නම් සතුට ලබන්නට ධනය තිබිය යුතු බවයි. බලයත්, සමාජ තත්වයත් තිබිය යුතු බවයි. මේ ගැන අවබෝධයෙන් සිතන්න. සත්‍ය වශයෙන් ම මේ සියල්ල හිමි වූව ද නියම සතුටක් ලැබෙනවා ද? මේ කවර සම්පත් ලැබුණත් නියම සතුටක්, තෘප්තියක් ලැබෙනවා ද? ලෝභකමින්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් දැවෙන සිතට මොන සතුටක් ද? නියම සතුටක් ලැබීමට නම් අප පළමුකොට ම කළ යුත්තේ අප ගේ සිත ගැන නිවැරැදි දැක්මක් ඇති කර ගැනීම යි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වන්නට පුළුවන්. සංසාරය හා නිර්වාණය ලෙස. මේ කරුණු දෙක ම සලකා බැලූ විට පෙනී යන්නේ බුදු දහම එකම කරුණක් ගැන දේශනා කර ඇති බවයි. ඒ, අපගේ සිත ගැන යි. සිත කිළිටි නම් එය සංසාරය යි. සිත නො කිළිටි නම් එය නිර්වාණය යි. ඒ අනුව සිත අපිරිසුදු වීම සංසාරයට මඟ යි. ඒ සිත පිරිසුදු වීම නිර්වාණයට මඟ යි.

පිරිසුදු සිතේ තෘෂ්ණාව ආදී කෙලෙස් නෑ. ඒත් අපිරිසුදු සිත කෙලෙස්වලින් බර යි. මේ අනුව සිත කියන්නේ ප්‍රබල ශක්තියක්. එය අවබෝධ කර නො ගන්නා පුද්ගලයා, ලෝකයේ ප්‍රබල ම ශක්ති වේගය හඳුනාගෙන නැති තැනැත්තා යි. බුදුරජාණන් වහන්සේ සිත පිළිබඳ මෙසේ දේශනා කළා.

“චිත්තං භික්ඛවේ අභාවිතං අපාතෝ භූතං මහතො අනත්ථාය සංවත්තති"

මෙහි අපට නැවත නැවතත් සිතන්නට ප්‍රායෝගික ජිවිතයට ඉතා වැදගත් වචන දෙකක් තිබෙනවා. ' ඉන් එකක් ‘අභාවිත“ යන්න යි. එහි අර්ථය සිත හරියට නිවැරැදි ව සංවර්ධනය කර නොමැති බව යි. යහපත් පැත්තට යොමු කර ගෙන නොමැති බව යි. දෙවැන්න “අපාතෝභූතං“ යන්න යි. එහි අදහස සිත ධනාත්මක පැත්තට යොමුකර ගෙන නොමැති බව යි. සමහරු යමක් කරන්නට පෙර

“මට මේ වැඩේ නම් කරන්නට බැහැ, එය ඉතා අපහසු දෙයක්. මේ තරම් වැඩ තියෙන අතරේ තවත් වැඩ කොහොම කරන්න ද?

යනා දී වශයෙන් සිතතනවා. මෙබඳු අය නිෂේධනාත්මක සිතිවිලි ඇති අය යි. එහෙත් තවත් කෙනෙක් "මම කුමන අයුරකින් හෝ මගේ අරමුණ ජය ගන්නවා. මට මේ දෙය කරන්න පුළුවන්. උත්සාහ කර බලනවා. කෙසේ හෝ බාධක ජය ගන්නවා.“ යන සිතිවිලිවලින් යුතුයි. ධනාත්මක සිතිවිලි ඇති අය මේ අයුරින් සිතනවා. බුදු දහමෙහි මෙය හඳුන්වන්නේ ප්‍රාතූර්භූත“ කියල යි.

සමහර ළමයි ඉගෙනීමෙහි දක්ෂ යි, සමහරු අදක්ෂ යි. විභාගවල දී අඩු ලකුණු ගන්නවා. ඇතැම් මව්පියවරු සේ ම ගුරුවරු ද අදක්ෂ දරුවා ගේ සිතෙහි ධනාත්මක සිතිවිලි ඇති කරනවා වෙනුවට නිෂේධනාත්මක සිතිවිලි ඇති කරනවා.

"අනේ මේ ළමයාට නම් ඉගෙන ගන්න බැහැ. කිසිදෙයක් හිතේ හිටින්නෙ නැහැ. මොන තරම් පාඩම් කළත් වැඩක් නැහැ. ගණන් හදන්න බැහැ. විද්‍යාව බැහැ. අපරාදෙ වියදම් කරන්නෙ, තේරුමක් නැහැ.“

ආදී ලෙස කුඩා කාලයේ සිට ම දෝෂාරෝපණය කරමින් දරුවා ගේ සිතේ නිෂේධනාත්මක ආකල්ප වර්ධනය කරනවා. එහෙත් මවක ගේ, පියකු ගේ, ගුරුවර වැඩිහිටියන් ගේ වගකීම වන්නේ, එවැනි දරුවෙක් වේ නම් දුර්වලතා මඟහැර වීමට උත්සාහ කිරීමත්, දරුවා දිරිමත් කිරීමත් මිස තව තවත් දරුවා අධෛර්යවත් කිරීම නොවෙයි.

" පුතාට පුඵවන්. තව තවත් මහන්සි වන්න. අමාරු පාඩම් නිතර නිතර අධ්‍යයනය කරන්න. පාඩම්වලට හොඳට ඇහුම්කන් දෙන්න. එතකොට හොඳට ඉගෙන ගන්න පුළුවන්".

මෙසේ උනන්දු කළේ නම්, ඒ සිතිවිලි දරුවා ගේ සිතේ තැන්පත් වෙනවා. ඒ අනුව ධනාත්මක සිතිවිලි ඇතිවනවා. ධනාත්මක, වගේ ම නිෂේධනාත්මක සිතිවිලි ද මෙලොව ජීවිතයටත්, සසර ගමනටත් බලපෑම් කරන්නට පුළුවන්. ඒ, එම සිතිවිලි ගලේ කෙටුවා වගේ සිතේ රඳා පවතින නිසයි. නිතර ධනාත්මක සිතිවිලි සංවර්ධනය කර ගැනීමෙන් අප ගේ දුර්වලතා හදා ගන්නට පුඵවන්.

දීපංකර පාද මූලයේ දී සුමේධ තවුසාණන් කළ අධිෂ්ඨානය ධනාත්මක යි. එතුමා නිතර ඒ ගැන සිතුවා. මතු බුදුවන්නට අවශ්‍ය දේ විමසා බැලුවා. බාධක හඳුනාගෙන අවශ්‍ය ක්‍රියාදාමයන් අනුගමනය කළා. එහි ප්‍රතිඵලය, බලාපොරොත්තු වූ ඉලක්කය සපුරා ගැනීම යි. ඕනෑම කෙනකුට ධනාත්මක සිතිවිලි ඇති කර ගෙන ඊට අදාළ ක්‍රියාදාමයන් වෙහෙසත්, මහන්සියත් නො බලා, බාධක මැඩගනිමින් ඉදිරියට ක්‍රියාත්මක කරනවා නම්, ඒ යහපත් අරමුණ ඉටුකර ගැනීම අපහසු වන්නේ නෑ.

මෙයට මූලික වන්නේ තමන් ගේ සිතයි. සිත නිතර එහෙ මෙහෙ දුවනවා. එක් තැනෙක රැඳෙන්නේ නෑ. රඳවා ගැනීම ද අපහසු යි. සිත විකෘති කරන අංශ පහක් ධර්මයෙහි සඳහන් කරන තිබෙනවා. මතක ශක්තිය නැතිවීමට ද මෙම කරුණු පහ ප්‍රධාන වශයෙන් ම බලපානවා. ඉන් පළමුවැන්න ආශාව යි. ආශාව, කාමය වැඩි වූ විට බුද්ධිය යටපත් ව හැඟීම් ඉදිරියට එනවා. දැනීම යට යනවා. කල්පනා ශක්තිය අඩුවෙනවා. නුවණින් විමසා බලන්නට අපහසු වෙනවා. එවිට වැරැද්ද - නිවැරැද්ද පෙනෙන්නේ නෑ. මවුපිය වැඩිහිටියන් අවවාද කළ ත් ඒවා බැහැර කරනවා.

විවිධ පාට වර්ග මිශ්‍ර වූ වතුර බේසමකින් කණ්ණාඩියකින් බලන ආකාරයට මුහුණ බැලිය නොහැකි යි. මේ අයුරින් ම කාම සිතිවිලිවලින් යුක්ත තැනැත්තාට යම් දෙයක නියම ස්වරුපය දැක ගත නොහැකි යි. දෙවැන්න ක්‍රෝධය යි. වෛරය, තරහ ව ලෙස ද හඳුන්වන්නේ මෙය යි. ධර්මයෙහි ව්‍යාපාදය ලෙස මෙය හඳුන්වා තිබෙනවා. මේ සිතිවිලි වර්ධනය වූ විට ප්‍රකෘතිය විකෘති වෙනවා. එවිට බුද්ධිය, අවබෝධය නැතිව යනවා. හැඟීම්වලට බර වනවා. ඔවුනොවුන් අඬදබර කර ගන්නේ, සියදිවි නසා ගන්නේ, ගැටුම් උග්‍ර වන්නේ මේ හැඟීම් පාලනය කර ගත නොහැකි ව ඇත්ත තත්ත්වය නොදැකීම නසයි. රත් වූ , බුබුළු දමන දිය බඳුනකින් තමන් ගේ මුහුණ බැලිය නොහැකි වනවා වගේ

ද්වේෂයෙන් යුක්ත සිතකින් සත්‍ය ස්වභාවය පෙනෙන්නේ නෑ.

සිත විකෘති කරන තුන්වැනි අංගය සිතේ ගිලන් බවයි. සිතිවිලි දුබල කරන, අප්‍රාණික කරන, ආකර්මන්‍ය කරන, හකුළුවන මේ ස්වභාවය ථීනමිද්ධ යනුවෙන් ධර්මයෙහි සඳහන් වෙනවා.කම්මැලි ව, අලස ව, නිදිමත ස්වභාවයෙන් සිටින පුද්ගලයාට යම්කිසි වැදගත් අරමුණක, වැඩක යෙදෙන්නට නොහැකියි.

දියසෙවෙල් බැඳුණු දිය බඳුනකින් මුහුණ නිවැරැදි ව දැක ගත නොහැකි වනවා වගෙයි. ඔහුගේ සිතට නිදහසක් නෑ. සිත සිරගෙයක් වගෙයි. කිසිදු වැඩක් කරන්නට සිතෙන්නේ නෑ. ඔහුට තිබෙන්නේ නිද්‍රාශීලි සිතක්.

වික්ෂිප්ත බව හා පසුතැවිල්ල සිත විකෘති කරන හතරවන අංගය යි. මෙවැනි සිතක එකඟ බවක් නෑ. නොසන්සුන්කාරියි. සිත එක අරමුණක පවත්වන්ට නොදී විවිධ අරමුණු කරා සිත විසුරුවනවා. සුළඟින් සෙලවෙන දිය බඳුනකින් මුහුණ බැලිය නොහැකි සේ සිතෙහි පැහැදිලි බවක් නෑ. සුළඟින් සෙලවෙන කොඩියක් වගෙයි. දියෙන් ගොඩට දැමූ මාලුවකු වගෙයි. අවුල් වූ සිතට ඉගෙනීමක් කළ නොහැකියි.

පස්වන අංගය සැකය යි. බුදුරජාණන් වහන්සේ සධාරණ හෙවත් කරුණු සහිත සැකයට අනුමැතිය දී තිබෙනවා. බුද්ධාදී අටතැන් පිළිබඳ අවිශ්වාස බව සැකය හෙවත් විචිකිච්ඡාව යි. මඩ මිශ්‍ර වූ දිය බඳුනකින් මුහුණ බැලිය නොහැකි සේ සැකය නිසා යම් දෙයක් පැහැදිලි ව දැකිය නොහැකි යි. පංච නීවරණයන්ගෙන් තොර ව ඔබේ සිත පවත්වා ගත හැකි නම් ඔබට ඕනෑම දෙයක සත්‍ය ස්වභාවය තේරුම්ගත හැකි වනවා. ඔබේ මතකයත්, නිවැරැදි අවබෝධයත්, නිර්මාණශීලි චින්තනයත් ගොඩනඟා ගත හැකි වන්නේ එවිට යි.

බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 20 සඳුදා පූ.භා 05.28 පසළොස්වක ලබා 21 අඟහරුවාදා පූ.භා 05.24 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]