[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උපුල්වන් දෙවොල සමීපයේ පිහිටි දෙවිනුවර පරමවිචිත්‍රාරාම රාජ මහා විහාරය

උපුල්වන් දෙවොල සමීපයේ පිහිටි දෙවිනුවර පරමවිචිත්‍රාරාම රාජ මහා විහාරය

ශාසනාරක්ෂක උපුල්වන් දෙවිඳුන් වෙනුවෙන් ඉදි වූ ප්‍රධානතම පූජනීය ස්ථානය වන දෙවුන්දර උපුල්වන් දේවාලයට සමීප ව පරමවිචිත්‍රාරාම රාජමහා විහාරස්ථානය මාතර තංගල්ල මහා මාර්ගයට යාබද ව දෙවුන්දර නගර මධ්‍යයේ පිහිටා ඇත.

පිරිනිවන් මංචකයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයා අමතා,

“පතිට්ඨිස්සති දේවින්ද ලංකායං මම සාසනං - තස්මා සපරිවාරන්තං රක්ඛ ලංකඤ්ච සාධුකං”

යනුවෙන් සම්බුදු සසුන චිරස්ථායී ව පවතින ලංකා ද්වීපය ආරක්ෂා කරන ලෙස වදාළහ. බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වන අවස්ථාවෙහි නව විධ වර්ෂා පවත්වමින්, දස මාර සෙන් පිරිවරා පැමිණි වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා ගේ උපක්‍රමයන්ට බිය වී සියලු දෙවිවරුන් පළා යද්දී බෝසතුන් තනි නොකරමින් රැඳී සිටි උත්පලවණ්ණ හෙවත් උපුල්වන් දෙවිඳුන් වෙත සක් දෙවිඳුන් එම වගකීම භාර කළෙන් ශාසනාරක්ෂක දේවතාවා ලෙස උපුල්වන් දෙවිඳුන් සම්භාවනාවට පත් කෙරෙයි.

බුද්ධ පරිනිර්වාණ දිනයේ ම ලක්දිවට පැමිණි විජය කුමරුන්ට, මිනිස් වෙසකින් පැමිණි උපුල්වන් දෙවිඳුන් පිරිත් නූල් බැඳ ආශිර්වාද කළ බව මහාවංශයේ සඳහන් වෙයි.

රාම රාවණා යුද්ධයේ දී ද්වන්ධ සටන් සිදු වූ ස්ථානය ලෙස පසුකාලීන ජනප්‍රවාදක් ගොඩනැඟී තිබීම නිසා රාවණා රජු ගේ ගෙල කැපී වැටුණු තැන යන අදහසින් මෙම පෙදෙස ගිරිහෙළ ලෙස හැඳීන් වූ බව විශ්වාසය යි. සුදු හෙවත් හෙළ පැහැති ගලක් පැවතීම නිසා ගිරිහෙළ වූ බවත් මතයකි. මේ ප්‍රදේශයට කිරළ ලෙස ව්‍යවහාර කළ බවට ද මතවාද පවතී. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ දී ග්‍රීක ජාතික ටොලමි නිර්මාණය කළ ලෝක සිතියමේ ලක්දිව දකුණු තුඩුව මහා දෙවියා වන ද්‍යුගොස් වෙනුවෙන් කැප කළ දගන ලෙස දක්වා තිබේ.

දෙවියන් වාසය කරන නගරය යන අරුත දෙන දෙවිනුවර, දෙවුන්දර , තෙනවර, තෙයිවාන් තුරෙයි යන ග්‍රාම නාමෝත්පත්තිය ඛදිරාළි විහාරයට සබැඳේ.

දෙවන දප්ඵුල හෙවත් දාපුළුසෙන් රජු කිහිරි කඳක වේශයෙන් උපුල්වන් දෙවිඳුන් මුහුදින් මෙම ප්‍රදේශයට වැඩම කළ නිසා ඛදිරාලි විහාරය තනවා දෙවිඳුන් පිදූ බව මහාවංශයේ කියැවෙයි. කිහිරි කඳීන් කළ උපුල්වන් දේව ප්‍රතිමාවක් මුහුදේ පාවී ගොඩගැසූ සේ වියතුන් දක්වයි. මේ නිසා උපුල්වන් දෙවිඳුන් හැඳීන්වීමට කිහිරැළි උපුල්වන්, ඛදිරදේහලී උත්පලවර්ණ යන යෙදුම් භාවිත වෙයි.

දාපුළුසෙන් රජතුමා කරවූ චෛත්‍යය වටා පළමුවන විජයබාහු රජතුමා වටදාගෙයක් කරවීය. අෂ්ට මූලායතනයන් අතරට පැමිණි ගලතුරුමුල පිරුවන දෙවිනුවර විහාරාශ්‍රිත ව පැවතුණි. මහා පරාක්‍රමබාහු රජ දවස දිඹුලාගල මහා කාශ්‍යප තෙරණුවන් ගේ නායකත්වයෙන් ශාසන ශෝධන කටයුතු සිදු කරද්දී ගලතුරුමුල පිරුවනේ නන්ද හිමියන් රුහුණේ සඟ රුවන පිරිවරා ඊට සම්බන්ධ වූ පුවත් මහාවංශයේ කියැවේ. නිශ්ශංකමල්ල රජු ගේ සෙල්ලිපිවල දෙවිනුවර ග්‍රාම, විහාර නාම සඳහන් වෙයි.

දඹදෙණි යුගයේ දෙවැනි පැරකුම්බා රජතුමා දෙවිනුවරට ගොස් පූජා පවත්වා තමාට වැළඳුණු ව්‍යාධියක් සුව කර දෙන ලෙස උපුල්වන් දෙවිඳුන්ගෙන් අයැද සිටි බවත්, එය සිදු කළ නොහැකි බව දෙවිඳුන් සිහිනෙන් පැවසූ බවත් මහාවංශය සඳහන් කරයි. චන්ද්‍රභානු ජාවක රජු සමඟ සටනින් ජය ලැබූ පසු දෙවැනි පැරකුම්බා රජතුමා ගේ බෑණා වූ වීරබාහු කුමරු විසින් දෙවිනුවර විහාරයේ නන්දන පිරුවන ද ආරම්භ කරවන ලදී. සිව්වන පැරකුම්බා රජතුමා මනහර දොරටු දෙකකින් හා දීර්ඝ අන්තරාලයකින් යුත් බුදුරදුන් සිංහ සෙය්‍යාවෙන් සැතපී සිටින ඉරියව්වෙන් වැඩ සිටින ඔත් පිළිම ගෙයක් කරවා ඇත. කර්තෘ අඥාත ව පවතින තිසර සන්දේශය රචනා කළේ ගම්පොළ යුගයේ දෙවුන්දර වෙහෙරවැසි හිමි නමක ලෙස වියතුන් අනුමාන කරයි. කෝට්ටේ යුගයේ පංච මහ පිරුවෙන් අතර එකක් වූ දෙවිනුවර ඉරුගල් කුලතිලක පිරුවනේ අධිපති තිලක පිරුවන්පති හිමිපාණෝ සිංහල සන්දේශ කාව්‍ය අතර වැඩිම දිගින් යුතු කෝකිල සන්දේශය රචනා කළහ. පෘතුගීසි ආක්‍රමණ හමුවේ දෙවිනුවර විහාරය සහ දේවාලය මුළුමනින් ම විනාශයට පත් වූ අතර පසු කාලයේ උපුල්වන් දෙවිඳුන් වෙනුවට විෂ්ණු දෙවිඳුන් මෙහි පූජාර්භත්වයට පත් විය.


විහාරාධිපති දෙවිනුවර සුනන්ද අනුනාහිමි

වටදාගෙය සහිත වෙහෙර වහන්සේ, බෝධීන් වහන්සේ, හිටි පිළිම ගෙය, ඔත් පිළිම ගෙය, ගලතුරුමුල ප්‍රාසාදය, රත්පත්සුළුපාය නම් සංඝාවාසය, මහවත්මඩුව නම් ධර්ම මන්දිරය පිළිබඳ සන්දේශ කාව්‍යයන් හි තොරතුරු අන්තර්ගත ය. අනුරාධපුර සහ පොළොන්නරු යුගවලට අයත් බුද්ධ ප්‍රතිමා, ගොඩනැගිලි නටබුන්, සෙල්ලිපි විහාර බිමේ විසිරී පවතී.

දාගැබ පමණක් ශේෂ වී අනෙකුත් සියලු ඉදිකිරීම් පාදමට පමණක් සීමා වී පැවතුණු දෙවිනුවර විහාරයට පුනර්ජීවනය සලසන ලද්දේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් ගේ ශිෂ්‍යවර වටරක්ගොඩ ධම්මපාල මාහිමියන් ගේ ශිෂ්‍ය බෝවල ධම්මානන්ද හිමියන්ගේ ශිෂ්‍යවර අත්තුඩාවේ ධම්මරක්ඛිත මාහිමිපාණන් වහන්සේ වෙතිනි. මුහුදුබඩ ලන්දේසි පාලනයේ අවසාන භාගයේ ප්‍රදේශවාසීන් ගේ අනුදැනුම පරිදි නටබුන් ව පැවති දෙවුන්දර වෙහෙරට පැමිණි අත්තුඩාවේ ධම්මරක්ඛිත හිමිපාණෝ කුඩා විහාරයක් සහ සංඝාවාසයක් තනවා විහාරස්ථානයේ පුනර්ජීවනය ආරම්භ කළහ. වර්ෂ 1813 දී ඉංග්‍රීසි ආණ්ඩුව මෙම පුදබිම ධම්මරක්ඛිත හිමියන් වෙත පවරා දුනි.

බෝවල ධම්මානන්ද හිමියන්ගේ ශිෂ්‍යවරයකු වූ වැලිතර මහකරාවේ ඤාණවිමල තිස්ස හිමියන් ඇතුළු හිමිවරුන් පිරිසක් වර්ෂ 1802දී බුරුම රට අමරපුරයට ගොස් උපසම්පදාව ලබා පැමිණ ලක්දිව අමරපුර මහා නිකාය ආරම්භ කළහ. මෙම ආදර්ශය ඔස්සේ ගුරුදෙවි බෝවල මාහිමියන් ගේ අවසරය හා අනුග්‍රහය පරිදි අත්තුඩාවේ ධම්මරක්ඛිත හිමියන් පොල්වත්තේ සරණපාලතිස්ස හිමි, කිරින්දේ ධම්මානන්දතිස්ස හිමි, මිරිස්සේ සුමතිසාරතිස්ස හිමි, වවුලාවේ නන්දසාරතිස්ස හිමි සහ විමලබුද්ධිතිස්ස නමින් පැවිදි වූ සලො උපාසක යන පිරිස බුරුම රට අමරපුරයට ගොස් බුද්ධ වර්ෂ 2351දී ස්වර්ණගුහා සීමාවේ දී ඤාණාභිවංස ධම්ම සේනාධිපති මහාරාජගුරු බුරුම සංඝරාජ හිමියන් උපාධ්‍යාය කොට උපසම්පදාව ලබා ලක්දිව වැඩමවා දෙවිනුවර විහාරයේ සීමා සම්මත කරවා උපසම්පදා කර්ම සිදු කළහ. මිහිරිපැන්නේ නිකාය නමින් ව්‍යවහාර කළ මෙම සඟපරපුර වර්තමානයේ අමරපුර ධර්මරක්ෂිත නිකාය ලෙස හඳුන්වනු ලබයි.

අත්තුඩාවේ ධම්මරක්ඛිත මාහිමියන්ගේ ශිෂ්‍ය අංගහවත්තේ රතනජෝති මාහිමියන් ස්වකීය කනිෂ්ඨ පැවිදි සහෝදර කිරලවැල්ලේ සරණපාල හිමියන් ගේ ශිෂ්‍ය ජම්බුවත්තේ පියරතන හිමියන් ගේ උපකාර ලබමින් විවිධ බාධක දුරලමින් විහාරාධිපතිත්වය හෙබවූ හ. ඉන් පසු ජම්බුවත්තේ පියරතන හිමියන් විහාරාධිපතිත්වයට පත් වූ අතර, මෙතැන් සිට දෙවිනුවර විහාරය අමරපුර කල්‍යාණිවංශ නිකායික විහාරස්ථානයක් බවට පත් විය. දෙවිනුවර සිරිනිවාස අනුනායක හිමියන්ගෙන් පසු වර්තමානයේ අමරපුර කල්‍යාණිවංශ මහා නිකායේ අනුනායක දෙවිනුවර සිරි සුනන්ද අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විහාරාධිපතිත්වය හොබවති.

බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 20 සඳුදා පූ.භා 05.28 පසළොස්වක ලබා 21 අඟහරුවාදා පූ.භා 05.24 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]