[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු මහ රජතුමා - 47: එලාර රජු ගේ උපදෙසින් සියලු සේනාංක සීරුවෙන් තබයි

දුටුගැමුණු මහ රජතුමා - 47:

එලාර රජු ගේ උපදෙසින් සියලු සේනාංක සීරුවෙන් තබයි

සෙනවියකු ලෙසින් නොව සාමාන්‍ය පුරවැසියකු ලෙස බෝ මලුවට පිවිසි සිරිනාග සැමට ම ආචාරශිලී ව බෝධි පූජා කටයුතුවල නියැළුණේ ය. දන්ති ගේ මෙහෙයවීම මත සිරිනාග තමන් වෙත කැඳ වූ කෘෂ්ණා කුමරිය ගැමුණු කුමරු ගේ තොරතුරු දැන ගැනීමේ කැමැත්ත පල කළා ය.

"රහස් තොරතුරු හැටියට නොවෙයි . සුහද ව ගැමුණු කුමාරයා ගේ තොරතුරු දැන ගන්නටයි මට උවමනා කී ඇය මදහස පෑවා ය.

"සිරිනාග, තවත් කලක් මාගම සිටියා නම් අපට තවත් තොරතුරු රැසක් දැන ගන්නට තිබුණා. චරපුරුෂ සේවයට යැවීමට සුදුසු පුද්ගලයන් දැන් නැති තරම් යැයි දීඝාභය නිතර ම කියනවා. " දන්ති කුමරිය කීවා ය.

"කැපවීමෙන් කටයුතු කරන අය දැන් අඩුයි. බල තණ්හාවයි, නිල තණ්හාවයි නිසා රට ජාතිය ආගම ගැන දැන් අපේ හැඟීම් අඩුවෙලා."

"සිරිනාග කියන දේ හරි. අපේ පිය රජතුමාට සේවය කරන වැඩි පිරිසකට ඒ කියමන ගැළපෙනවා"

කෘෂ්ණා කුමරිය ගේ අදහස් පිළිබඳ සිරිනාග පුදුමයට පත්විය . ඇය තවදුරටත් කතා කළා ය. "දුටුගැමුණු කුමාරයා රජරට අල්ලා ගන්නට එනවා. ඒ ඔහු ගේ පරපුරේ අයිතිය ලබා ගන්නට යි. රට එක්සේසත් කර සිංහලයන්ට යහපත් අනාගතයක් ලබාදීම කාගෙන් හෝ සිදු වෙන්නට ඕනේ. දීඝාභය, සිරිනාග, මිත්‍ර සෙනෙවි ඉන්නේ වැරැදි පිළක. වැරදි තීන්දුවක "

"කුමරිය ඔබතුමිය මට තේරුම් ගන්නට අපහසු යි. ඔබ පියතුමා ගේ අදහස් අනුව නොවෙයි ද කටයුතු කරන්නේ ?"

"නැහැ සිරිනාග, කොහෙත්ම නැහැ. මගේ පියතුමාට මා නිතර ම පවසන්නේ සොළී පාලන ක්‍රමය ඉවත් කර ගන්නා ලෙසයි. දුටුගැමුණු රජතුමා රට එක්සේසත් කරන කර්තව්‍යයට සහයෝගය දී එතුමා ගේ යටතේ රජ කෙනකු ලෙස දිගටම රජකම් කරන ලෙසයි. ඒ අදහස ඉදිරිපත් කරන හැම වෙලාවක ම පිය රජතුමා කෝපයෙන් බැන වැදී මා එළවා ගන්නවා. "

"සිරිනාග බෝධි පූජාව සූදානම්. "සිටු දේවිය පැමිණ පැවසුවා ය. සිරිනාගට තවත් යමක් කතා කරන්නට ඇත්නම් හොඳ යැයි සිතුණි.

මල් පුදා, පහන් දල්වා, දිය කළ රැගෙන බෝධිය ප්‍රදක්ෂිණා කර බෝධිය නහවා වන්දනාමාන කර එම කටයුතු අවසන් කිරීමට හෝරාවක පමණ කාලයක් ගතවිය.

සිරිනාග සියලු දෙනාගෙන් සමුගෙන බෝ මලුවෙන් පිටව අසු පිටට නැඟ සම්මන්ත්‍රණ ශාලාව දෙසට අසු මෙහෙය විය. තොරතුරු දැනගැනීමට පැමිණ සිටි සෙනෙවිවරුන් හා සෙබළුන් සමඟ කතා බහ කළ සිරිනාග උතසාහ කළේ මාගමට දන්වා යවන්නට වැදගත් තොරතුරක් අනාවරණය කරගන්නට ය.

එළාර රජු ගේ සහෝදරියක ගේ පුතකු වන කුන්ඩිල එහි දී හඳුනා ගැනීමට ලැබීම සිරිනාග ගේ සතුටට හේතු විය. ඔහු සෙනෙවි තනතුරක් ලැබ ඇතුළු නුවර ආරක්ෂක කටයුතු භාරගැනීමේ අපේක්ෂාවෙන් සිටියේ ය.

"සිරිනාග සෙනෙවි බොහෝ දක්ෂයකු බව මට දීඝජන්තු කීවා. ඇතුළු නුවර ආරක්ෂක කටයුතු භාරව සිටින ඔබතුමාට ඉදිරියේ දී ඊට වැඩි වගකීමක් පැවරේවි. මීළඟ යුද මණ්ඩල රැස්වීමේ දී බොහෝ තනතුරු වෙනස් වේවි. " කුන්ඩිල කිවේ මද සිනහවක් සමඟ යි.

"දුටුගැමුණු රජතුමා අප සමඟ යුද්ධ කිරීමට ගමන් ආරම්භ කරලා ලු. ඒ නිසා අපේ බලකොටුවල සියලු සේනාංක සීරුවෙන් තබන ලෙසට රජතුමා අණ කර තිබෙනවාලු. "

කුන්ඩිල කිවේ තමන් ද රජතුමා ගේ තීරණය පිළිබඳ බොහෝ කරුණු දන්නා බව හඟවමිනි. සිරිනාග මහාසිව මාහිමියන් වෙත ලියා යවන්නට සුදුසු තොරතුරු කිහිපයක් එකතු කරගෙන අනතුරුව අසු මෙහෙය වුයේ මිත්‍ර මහා සෙනෙවි ගේ මන්දිරය දෙසට ය.

මේ වන විට ඔහු මන්දිරයේ නැති බව දන්නා සිරිනාගට එය වඩාත් හොඳ අවස්ථාවක් බව අවබෝධ විය. රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණීමට නොහැකි බව සෙනෙවි බිරිඳට පැවසීමට තීරණය කළේ ය.

අසු මුර සෙබළුනට පැවරූ සිරිනාග සෙනෙවි මන්දිරයේ ආලින්දයට ගොඩවිය. තමා එන බව දුටු සමන්ති මැතිණිය ඉදිරියට පැමිණියා ය.

"සිරිනාග ඇතුළට එන්න. මහා සෙනෙවිතුමා එන්නට තවත් හෝරා කිහිපයක් ගතවේවි."

"මෑණියනි , මට ලැබුණු හදිසි පණිවුඩයක් නිසා අද රෑම විජිතපුර යාමට සිදු වී තිබෙනවා . අද රාත්‍රී භෝජනයට පැමිණීමට නොහැකි බව දැනුම් දීමටයි පැමිණියේ."

"මේ රෑම විජිතපුර යනවා නම් රාත්‍රී ආහාරය ගෙන යන එක හොඳයි. "

"මෑණියනි, මම වෙනත් දිනයක රාත්‍රී භෝජනය සඳහා පැමිණෙන්නම්. "

"හොඳයි සිරිනාග, එහෙනම් අපි ඔබට වෙන දවසක ආරාධනා කරන්නම්"

"මෑණියනි, මට යාමට අවසර "

"සිරිනාග, නුඹට හදිස්සියක් නැත්තම් නුඹ සමග රහසින් කතා කළ යුතු කරුණක් තිබෙනවා. "

"අද රාත්‍රී කොයි වෙලේ හෝ මා විජිතපුර යා යුතුයි. යා යුතු වෙලාවක් සඳහන් කර නැහැ. දීඝාභය කුමාරයා ගේ ඉල්ලීමක්. නමුත් මට ටික වේලාවක් මෙහි රැඳෙන්නට පුළුවන්. "

ඇය කී සැණින් තමාට වැදගත් වන යමක් දැනගත හැකි වනු ඇතැයි සිරිනාගට සිතිණි.

"අපි එළිමහනට ගොස් කතා කරමු. බිත්තිවලටත් කන් තිබෙන බව මා අසා තිබෙනවා"

දෙදෙනා මන්දිරයෙන් ඉදිරි පඩි පෙළ බැස ඉදිරියට පිය නැඟූහ. වම් පස කුඩා උද්‍යානයකි. මල්වලින් පිරුණු මෙය ඉතා ප්‍රියමනාප පරිසරයක් විය . කලකට ඉහත දී පුණ්ණා සමග ගත කළ සන්ධ්‍යාවන් සිරිනාග ගේ මතකයට නැඟිණි. ඒ මිහිරි අතීතයට සමු දුන්නේ කෙතරම් අවාසනාවන්ත ලෙස ද ?

පුණ්ණා මගෙන් ඈත් වුවා නොව තමන් පුණ්ණාගෙන් ඈත් වීම වඩා සත්‍ය බව ඔහුට හැඟිණි. ඇය ගේ මෑණියන් මේ සූදානම් වෙන්නේ ඒ ගැන විමසන්නට දැයි ඔහුට සැකයක් මතුවිය. කිරිගරුඬ අසුනක හිඳගත් ඇය ඒ ඉදිරිපස වූ වේවැල් පුටුවක හිඳගන්නා ලෙස ඔහුට පැවසුවා ය.

"පුතා, යුද පුහුණු කඳවුරට යන්නට පෙර මෙහි බොහෝ කාලයක් නැවතී සිටියා. මිත්‍ර, තමන්ගේ ම දරුවකුට වගේ සිරිනාගට ආදරය කළා. පුණ්ණා දුවත් පුතාට කැමැත්තෙන් හිටියා. නමුත් අද ඒ සියල්ල වෙනස් වෙලා."

"නැහැ මෑණියනි, මිත්‍ර මහා සෙනෙවිතුමා නිසා මම යුද ශිල්පය හොඳීන් ඉගෙන ගත්තා. මට සෙනවියකු ලෙස උසස්වීමක් ලැබුණෙත් එතුමා නිසා. මට හොඳ නිල නිවාසයක් ලැබුණා. නමුත් එහි පදිංචියට නොගිය නිසා සෙනෙවිතුමා අමනාපයෙන් පසුවෙන්නේ. ඉක්මනින් එහි පදිංචියට යනවා."

"එපා පුතා, එහි යන්න එපා. මිත්‍ර සෙනෙවිතුමා දැන් ඉන්නේ ඔබ සමඟ බලවත් අමනාපයකින්. සිරිනාග දැන් ඔබ ඉන්නා තැන ආරක්ෂා සහිතයි."

"මෑණියනි, එතුමාට දක්වන ගෞරවයේ අඩුවක් වෙලා නැහැ. එතුමා මට පවරන වගකීම් පැහැර හැරීමක්වත් මගෙන් සිදුවෙලා නැහැ.

"නැහැ පුතා, මිත්‍ර ගේ බලාපොරොත්තුව ඔබව යොදාගෙන ඔහු ගේ වරප්‍රසාද දිනා ගැනීමයි. එය වරදින විට ඔහු කාගෙන් වුවත් පළිගන්නේ දරුණු විදියටයි. ඔබ දීඝාභයටත්, දිඝජන්තුටත් හිතවත් ව කටයුතු කිරීම ඔහුට ඉවසන්නට බැරි වෙලා"

"මෑණියනි, දීඝාභය මෙහි එන්නට පෙර අනුරාධපුරයේ පැවැත්වූ චරපුරුෂ සේවය ගැන මිත්‍ර මහා සෙනෙවි තුමාට කියන්න හිතාගෙන සිටියා. නමුත් ඊට කලින් මහ රජතුමා ගේ නියෝගයකට අනුව දීඝජන්තු සෙනවිතුමා පැමිණ කලින් තොරතුරු දැනගෙන ගියා."

"ඒ කොහොම වුණත් පුතා ඔබ පරිස්සම් වෙන්න. මිත්‍ර මොනවා හෝ දන්නා දෙයක් සඟවන බව පෙනෙනවා. ඔබ ගේ මව ගේ මරණය පිළිබඳ කුමක් හෝ රහසක් දන්නා බව හැඟෙනවා."

බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 20 සඳුදා පූ.භා 05.28 පසළොස්වක ලබා 21 අඟහරුවාදා පූ.භා 05.24 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]