[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දේවි කුමරිය ගේ උදාර කැපවීම

දේවි කුමරිය ගේ උදාර කැපවීම

කැලණිය රජකම් කළ කැලණිතිස්ස රජු ගේ දියණිය වූයේ 'දේවි' කුමරි ය යි. කැලණිතිස්ස රජු විසින්, නිදොස් වූ මහ රහතන් වහන්සේ නමක් කැකෑරෙන තෙල් කටාරමක් තුළ බහා ජීවිතක්ෂයට පත් කරවන ලදී. මේ පාපකාරී සිදුවීම හේතුවෙන් කෝප වූ දෙවියෝ මහ සයුර කළඹා ගොඩබිමට එවූහ.

මේ විනාශයෙන් බේරෙන්නට නම්, රජු ගේ දරුවෙක් මුහුදට බිලි දිය යුතු බව නිමිති කියන්නෝ පැවසූහ. කාවන්තිස්ස රජතුමාට සිටියේ එක ම දියණියකි. ඒ 'දේවි' කුමරිය යි. ඇය යොවුන් වියෙහි පසුවන්නී ය.

"මා ගේ එකම දියණිය කෙසේ නම් මුහුදට බිලි කරන්න ද?

රජතුමා ශෝකයෙන් කල්පනා නරන්නට විය. එහෙත් දේවි කුමරිය නිර්භීත ය. රටට දැයට ඇය බොහෝ සේ ආදරය කළා ය. උපන් බිමට සිදු වී ඇති ව්‍යසනය පිළිබඳ ඇයට හොඳීන් වැටහුණි.

"පිය රජතුමා ගේ අනුවණ බව ත්, කෝපය ත් නිසා මගේ රටට සිදු වූ අසාධාරණයට අසරණ රට වැසියන් කුමක් කරන්න ද?"

යි ඇය සිතුවා ය. තම පියා කළ අපරාධයට වග කිවයුත්තේ ත්, වන්දි ගෙවිය යුත්තේ ත් තම රජ පවුල මිස අහිංසක රට වැසියන් හෝ අන් කෙනකු හෝ නොවන බව කුමරියට වැටහුණි. එම වරද නිවැරැදි වන්නේ රජ දරුවෙක් මුහුදට බිලි වීමෙන් නම්, ඒ සඳහා ඉදිරිපත් වී රට වැසියන් විපතින් ගලවා ගත යුත්තේ ත් තමන් විසින් ම නම්, තව තවත් බලා සිටීම පලක් නොවන බව කුමරිය කල්පනා කළා ය.

'දේවි' කුමරිය සිය පියා වෙත ගියා ය.

"පියාණෙනි, රට ජාතිය බේරා ගන්නට රජ පවුලේ දරුවකු මහ සමුදුරට බිළි විය යතු නම්, ඒ සඳහා මම කැමැත්තෙමි. ඒ සඳහා නො පමාව අවසර දුන මැනමි'යි ඉල්ලා සිටියා ය‍.

රජතුමා මහත් පුදුමයටත්, බියටත් පත් විය.

"මහ රජතුමනි, දේවි කුමරිය පවසන්නේ සත්‍යයකි. වහා ඇයට අවසර දෙනු මැනවි"

රට වැසියෝ ඝෝෂා කළහ.

දැන් දේවි කුමරිය මහ සමුදුරට බිලි දීම සඳහා සියලු කටයුතු සිදු වේ. කුමරිය වෙනුවෙන් ම සෑදූ රුවල් නැවකි. එහි 'කැලණිතිස්ස මහ රජ තුමා ගේ දූ කුමරිය 'දේවි' යනුවෙන් ලියා තිබුණි.

දරා ගත නොහැකි ශෝකයෙන් රජ තුමා කඳුළු සලන්නට විය.

මහ ජනතාව සිදු වූ විපතක තරම ගැන කියමින් වැළපෙන්නට වූ හ. දේවි කුමරිය රැගත් රුවල් නැව මහ සමුදුරෙහි පා වී යන්නට විය‍. මහා පුදුමයකි. සියල්ලෝ සැනසුම් සුසම් හෙළන්නට වූයේ මහ මුහුද සන්සුන් වනු දැකීමෙනි.

දේවි කුමරිය රැගත් රුවල් නෞකාව පාවී ආවේ රුහුණේ මාගම්පුර වෙරළට ය. හිමිදිරි උදෑසන කිරින්ද වෙරළට ආ ධීවරයන් මවිතයට පත් වූයේ අසිරිමත් රුවල් නැවක් වෙරළට ගොඩගසා තිබෙනු දැකීමෙනි. එහි සිටි කුමරිය දුටු ඇතැම් කෙනෙක් බියට පත් වූයේ තමන් බිළි ගන්නට දෙව් දුවක් වන් කුමරියක ගේ වේශයෙන් ආ අ යක්ෂණියක් දැ'යි කියමිනි.

" නෑ නෑ මේ අප රැක ගන්නට ආ දෙව් දුවක්"තවත් කෙනෙක් එසේ කී අයට දොස් නඟමින් පැවසූහ.

අවසානයේ සියල්ලෝ එක් ව ඇය මිනිස් දුවක් ම වන බවට තීරණය කළහ.පිරිස වහා ම කාවන්තිස්ස මහ රජු වෙත ගොස් මේ පුවත සැල කළහ. (ථූපවංසයට අනුව දේවි කුමරිය සහිත රුවල් නැව දුටු පක්ෂීහු රෑනක් රජු වෙත මේ බව මුලින් ම සැලකර සිටි බව ද සඳහන් වෙයි.)

පණිවුඩය ලැබූ විගස රජු ඇමති පිරිස ද සමඟ කිරින්ද වෙරළට සැපත් විය. 'කැලණිතිස්ස මහ රජතුමා ගේ දූ කුමරිය 'දේවි' කුමරිය යනුවෙන් රුවල් නැවෙහි වූ සටහන දුටු කාවන්තිස්ස රජතුමා ඇය තමන් ගේ ඇවැස්ස නෑනා බව හඳුනා ගත්තේ ය.

පෙරහරකින් දේවි කුමරිය රජ මාළිගයට කැඳවාගෙන පැමිණි කාවන්තිස්ස රජු, ඇය ගේ නිර්භීත බව පිළිබඳ බොහෝ සතුටට පත් විය. උපන් බිම වෙනුවෙන් ඇය ගේ කැපවීම අගය කළේ ය. කුමරිය තරුණ වියට පත් වූ විට ඇයව විවාහ කර ගැනීමට තීරණය කළේ ය. පසු කලෙක ජනතාව ගේ සුබපැතුම් මැද ඇය සිය අග මෙහෙසිය බවට පත් කර ගත්තේ ය.

ඉතිහාසයේ සඳහන් වන ලෙස දේවී කුමරිය කිරින්දේ ලංකා විහාරය (වර්තමානයේ විහාර මහා දේවි රජමහා විහාරය නමින් හැඳන්වේ.) ආසන්නයේ දී කාවන්තිස්ස රජුට මුණ ගැසුණු නිසා ඇය 'විහාර දේවී' යනුවෙන් හැඳීන්වී ඇත. ඇය ශ්‍රේෂ්ඨත්වයට පත්වීමෙන් අනතුරුව 'මහා' යන්න ද එකතු වී 'විහාර මහා දේවි' නම් වූවා ය.

මෙකල ද්‍රවිඩ ජනයාගෙන් සිංහල රට වැසියන්ටත්, වෙහෙර විහාරවලටත් බලවත් ලෙස හිරිහැර කරදර සිදු වූ කාල වකවානුවකි. ක්‍රි. පූ. 205 දී පමණ එළාර රජු දකුණු ඉන්දියාවේ චෝළ දේශයේ සිට මෙහි පැමිණ, අසේල රජු මරා බලහත්කාරයෙන් පිහිටි රට අල්ලා ගත්තේ ය.

දෙමළ වැසියන්ගෙන් අනුරාධපුරය වැනි ප්‍රදේශවල ජීවත් වූ සිංහල වැසියන්ට නිතර ම තාඩන පීඩන විඳීන්නට සිදු වුණි. එහෙත් දුර දකින නුවණින් කටයුතු කළ කාවන්තිස්ස රජු ඒ තාඩන පීඩන ඉවසීය. එහෙත් විහාර මහා දේවිය එම තාඩන පීඩන නො ඉවසුවා ය. මේ කාලය වන විටත් විහාර මහා දේවියට පුත් කුමරකු සිටියේ නැත.

"අහෝ මට පුත් කුමරකු සිටියා නම් ද්‍රවිඩයන්ගෙන් මේ රට බේරා ගන්නා ආකාරය මම දන්නවා"

ඇය නිතර ම පැවසුවා ය. නිරතුරුව ම ඒ ගැන ම සිතුවා ය. කාවන්තිස්ස මහ රජුත්, විහාර මහා දේවියත් නිරතුරුව ම භික්ෂූන් වහන්සේ බැහැ දැකීමට තිස්සමහාරාමයට ගියහ. බොහෝ පින්කම් කළහ. දවසක් මහ රහතන් වහන්සේ නමකගෙන් විහාරමහා දේවියට දහම් අසන්නට ලැබුණි. එම ධර්ම දේශනාවේ දී , මේ බවයේ සැප සම්පත් ලබන්නේ පෙර කළ පින් ඇති නිසා බවත්, මතු බවයේ දී ත් එවැනි සම්පත් ලබන්නට තව තවත් පින්කම් කළ යුතු බවටත් උන්වහන්සේ අනුශාසනා කළහ. ඒ අවස්ථාවේ දී විහාර මහා දේවිය, කුමන සැප සම්පත් ලැබුවත් තමන්ට පුත් කුමරුකු නැතිකමේ පාඩුව ගැන මහත් දුකින් කීවා ය.

"දේවියනි, උසස් ගුණධර්ම රකින සාමණේරයන් වහන්සේ නමක් විහාරයෙහි වැඩ සිටිනවා. උන්වහන්සේ අපවත් වන්නට ආසන්නයි. උන්වහන්සේ සමීපයට ගොස් උපස්ථාන කරන්න.අපවත් වූ පසු ඔබතුමිය ගේ කුසෙහි දරුවකු වී පිළිසිඳ ගන්නැයි ආරාධනා කරන්න"රහතන් වහන්සේ දේවියට පැවසූහ.

ඉතා සතුටට පත් විහාර මහා දේවිය සාමණේරයන් වහන්සේ සමීපයට ගොස් ඉතා ගෞරවයෙන්, මව් සෙනෙහසින් උන්වහන්සේට උපස්ථාන කළා ය. "ස්වාමීන් වහන්ස! අපේ රට ,ජාතිය සහ ආගම දැන් වැටී තිබෙන්නේ බලවත් විපත්තිකර අවස්ථාවකට යි. සොළීන්ගෙන් අපේ රට ජාතිය සහ ආගම බේරා ගැනීම සඳහා විර පුත්‍රයෙක් පහළ විය යුතු අවස්ථාව දැන් පැමිණ තිබෙනවා. ඔබ වහන්සේ ,දරුවන් නැති දුකින් පෙළෙන මගේ පුතකු වී ඉපද මේ මහා විපතින් රට, ජාතිය, ආගම බේරාගනු මැනවි යි' අයැද සිටියා ය. සාමණේරයන් වහන්සේ ගේ බලාපොරොත්තුව වූයේ දිව්‍ය ලෝකයේ උපත ලබන්නට ය. ඒ නිසා මුල දී විහාර මහා දේවිය ගේ ඉල්ලීම පිළිගැනීමට මැළිකමක් දැක්වී ය. විහාර මහා දේවිය, තමා ගේ පුතු ලෙස ඉපිද සම්බුද්ධ ශාසනයට, රටා, ජාතියට විශාල මෙහෙවරක් සිදු කළ හැකි බව සාමණේරයන් වහ්නසේට වටහා දුන්නා ය. මේ ලෙස තුන්වන වරටත් විහාර මහා දේවිය ඉතා බැගෑපත් ලෙස කළ ඉල්ලීම නිසා සාමණේරයන් වහන්සේට එය ඉවත දැමිය නොහැකි විය.

සාමණේරයන් වහන්සේට උපස්ථාන කළ විහාර මහා දේවිය නැවත මාලිගාව බලා පිටත් වූවා ය. ඊට නොබෝ වේලාවකින් සාමණේරයන් වහන්සේ අපවත් විය. ඒ මොහොතේ දේවිය ගමන් කළ රියේ රෝද එක්වර ම මහ පොළොවේ එරුණි. විහාර මහා දේවියට අමුත්තක් දැනුණි. වහා ආපසු හැරී විහාරයට ගියා ය.

බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 20 සඳුදා පූ.භා 05.28 පසළොස්වක ලබා 21 අඟහරුවාදා පූ.භා 05.24 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]