[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

පූනාහැල සද්ධානන්ද නාහිමි

උන්වහන්සේ යටතේ අධ්‍යාපනය ලැබූ බොහෝ උදවිය අද වන විට රටේ පිළිගත් ක්‍ෂේත්‍ර රාශියක ම ඉහළ තනතුරුවල කටයුතු කරනු දැකීම උන්වහන්සේට මහත් ආත්ම තෘප්තියක් ගෙන දෙන්නක් බව නිතර සිහිපත් කරති.

කොවුල්වැව ශ්‍රී වර්ධනාරාමය, රණස්ගල්ල ශ්‍රී සුධර්මාරාමය යන උභය විහාරාධිපති, විනයාචාර්ය මංගල ධර්මකීර්ති ශ්‍රී සරණපාල ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත පූනාහැල සද්ධානන්ද ස්වාමීන් වහන්සේ වයඹ පහළ දොළොස් පත්තුවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙති. උන්වහන්සේ ව්‍යක්ත, විශාරද ,බහුශ්‍රැත ,ප්‍රතිබල සම්පන්න සංඝ නේතෘන් වහන්සේ නමක් ලෙස නිරන්තරයෙන් සම්භාවනාවට පාත්‍ර වෙති .අප නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම මස 10 වන දා සිය ජීවන චාරිකාවේ 84 වැනි වියට පා තැබූහ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

සබරගමු පළාතේ කෑගලු දිස්ත්‍රික්කයේ පූනාහැල නම් සුන්දර ග්‍රාමවරයේ දී උන්වහන්සේ ගේ ජන්මය සිදු වන්නේ 1938/09/10 වන දින දී ය . පූර්වෝක්ත සුන්දර ගම් පියසෙහි විසූ අයි .ඇම්. පුංචි අප්පුහාමි මහතා ගේ සහ ඩබ්ලිව් .ඇම් .බණ්ඩාර මැණිකේ යන දම්පතීන්ට දාව උපත ලත් මුන්වහන්සේ සහෝදර සහෝදරියන් අට දෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා ද විය. ක්‍රිස්තු වර්ෂ 1952 අගෝස්තු මස 18 වැනි දින පැවිදි දිවියට පත් වූයේ පූජ්‍යපාද ඇකිරියගල සරණපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ආචාර්යත්වයෙනි.

උන්වහන්සේ මූලික අධ්‍යාපනය මහනුවර මල්වතු මහා විහාරානුබද්ධ සංඝරාජ මහා පිරිවෙණෙන්ලබා ගත්හ. අනතුරුව කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් වූ උන්වහන්සේ රාජකීය පණ්ඩිත උපාධිය එහි දී සම්පූර්ණ කළහ . අනතුරුව අප කතා නායකයාණෝ ප්‍රථම උපාධිය සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ඉතාමැනවින් අධ්‍යාපන කටයුතු සිදු කොට ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත් , අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය මඟින් පවත්වනු ලබන ශාස්ත්‍රපති උපාධියත් ලබා ගත්හ .

වර්ෂ 1968 දී මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත්විය. තමා උගත් දෑ ලෝක ශාසනයා ගේ උභයාර්ථය පිණිස යෙදවීමට කල්පනා කළ උන්වහන්සේ 1966 වසරේ දී ගුරු සේවය සඳහා මුල්පත්වීම් ලැබූහ.

ප්‍රථමයෙන් මරදාන ශ්‍රී ලංකා විද්‍යාල මහ පිරිවෙනේ පරිවෙණාචාර්යයන් වහන්සේ නමක් වශයෙන් සේවය කළ අතර, අනතුරුව අධ්‍යාපන පශ්චාත් ඩිප්ලෝමාවත් සමත්වූ උන්වහන්සේ සිය ප්‍රථම පාසල් පත්වීම ලෙස හොරම්පැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ දී ගුරු වෘත්තිය සඳහා අත් පොත් තැබූහ.

අනතුරුව මිනුවන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය , පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය, නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය යන ජනප්‍රිය පාසල් කිහිපයක ම සේවය කොට දහස් සංඛ්‍යාත දරු දැරියන්හට ඥාණාලෝකය ලබා දී වර්ෂ 1997 දී විශ්‍රාම ලැබූහ .

අප සද්ධානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කොළඹ නාලන්දා විද්‍යාලයෙහි වසර පහළොවක් පමණ අඛණ්ඩ ව සේවය කළහ . නාලන්දා විද්‍යාලයීය වාර්ෂික සංග්‍රහය , 50 වන ස්වර්ණ ජයන්තිය හා 60 වන වාර්ෂික සංග්‍රහය යන කෘතිවල සංස්කාරක ලෙස කටයුතු කළ උන්වහන්සේ නාලන්දා විද්‍යාලය පිළිබඳ දුර්ලභ තොරතුරු රාශියක් ඒවායෙහි පළකොට තිබේ . වර්ෂ 1973 දී ආනන්ද නාලන්ද ක්‍රිකට් සැමරුමේ 50 වන ස්වර්ණ ජයන්තිය මැනවින් පළ කිරීමට සමත් වූ බව අදටත් උන්වහන්සේ සිහිපත් කරන්නේ අතිශය සතුටකින් යුක්ත ව ය. එකල විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වූ අනුර රණසිංහ , යොහාන් ගුණසේකර , අසංක ගුරුසිංහ , මහේල ජයවර්ධන සහ කුමාර ධර්මසේන යන මහත්වරු උන්වහන්සේගෙන් අධ්‍යාපනය ලැබූවන් ය. උන්වහන්සේ යටතේ අධ්‍යාපනය ලැබූ බොහෝ උදවිය අද වන විට රටේ පිළිගත් ක්‍ෂේත්‍ර රාශියක ම ඉහළ තනතුරුවල කටයුතු කරනු දැකීම උන්වහන්සේට මහත් ආත්ම තෘප්තියක් ගෙන දෙන්නක් බව නිතර සිහිපත් කරති. විශ්‍රාම ලැබීමෙන් පසුව උන්වහන්සේ අදටත් නාලන්දා විශ්‍රාමික ගුරු සංගමයේ සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරති.

අප සද්ධානන්ද නායක හාමුදුරුවන් වහන්සේ රජයේ ලියාපදිංචි ග්‍රාමීය ප්‍රජා සංවර්ධන පදනම පිහිටුවා සමාජ සේවා කටයුතු රාශියක් සඳහා ම මූලිකත්වය ලබා දුන්හ. එසේම සමථ මූල මණ්ඩලය සාමාජිකයකු ලෙස පසුගිය වසර දක්වා ම උන්වහන්සේ කටයුතු කළහ.

එසේම කුලියාපිටිය නැඟෙනහිර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති ස්වාමීන් වහන්සේ වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළහ.

අප කතානායකයාණන් වහන්සේ විසින් මෙබඳු වූ ලෝක ශාසනික කටයුතුවල නිරත වන ආකාරය කල් තියාම දුටු

මල්වතු මහා විහාරයෙන් වයඹ දිසාවේ පහළ දොළොස් පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමිණ. තමන් වහන්සේගෙන් පසුව ලෝක ශාසනික කටයුතුවල නොබියව මුහුණ දියහැකි ශිෂ්‍ය පිරිසක් බිහිකිරීමට හැකිවීම ද උන්වහන්සේ ගේ ශාසනික ජීවිතයේසුවිශේෂත්වයකි.

උන්වහන්සේ ගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ ලෙස නිට්ටඹුව, දඹදෙණිය සාරිපුත්ත ජාතික අධ්‍යාපන

විද්‍යාපීඨයන්හි පීඨාධිපති , දර්ශනපති , මැදවල සරණපාල හිමියන්, නක්කවත්ත ජාතික පාසලේ ධර්මාචාර්ය, ශාස්ත්‍රපති

දීගල්ලේ සෝමවංස හිමියන් , ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක, රාජකීය පණ්ඩිත කරපුටුගල කුසලධම්ම හිමියන්, ඉඹුල්ගොඩ අරියවංශ හිමියන් සහ බිබිලේ නාරද හිමියන් යන ශිෂ්‍යවරයන් වහන්සේ සඳහන් කළ හැකි ය.

ස්වකීය ජීවිතයේ වසර හැත්තෑවකට පමණ ආසන්න කාලයක් ලෝක ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් වෙහෙසී කටයුතු කළ පූජ්‍යපාද පූනාහැල සද්ධානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට දිගාසිරි ලැබේවා.

බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 20 සඳුදා පූ.භා 05.28 පසළොස්වක ලබා 21 අඟහරුවාදා පූ.භා 05.24 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]