[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාතෘ භූමියටත් බෞද්ධ භික්ෂූන් වහන්සේටත් එරෙහි ව ත්‍රස්තවාදීන් විසින් ගෙන ගිය අන්තර්ජාතික මතවාද පරාජය කිරීමට දායක වුණා

මාතෘ භූමියටත් බෞද්ධ භික්ෂූන් වහන්සේටත් එරෙහි ව ත්‍රස්තවාදීන් විසින් ගෙන ගිය අන්තර්ජාතික මතවාද පරාජය කිරීමට දායක වුණා

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශ්වයේ තායිලන්ත නකොන්පතොම් ප්‍රාපතොම්චේදී රජමහා විහාරය සහ අයුත්තයා මහේයොන්ග් භාවනා මධ්‍යස්ථාන උභය විහාරවාසී හෙයියන්තුඩුව මාබිම තායි - ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ නිර්මාතෘ අතිපූජ්‍ය ශාස්ත්‍රපති රාස්සගල සීවලී ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

තායිලන්තය හා විශේෂ සම්බන්ධතා පවත්වනු ලබන ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් රාස්සගල සීවලී හාමුදුරුවෝ යන නාමය ජන සමාජයේ ප්‍රචළිත යි. එම නිසා ජාතික, ආගමික, සංස්කෘතික වශයෙන් අගය කළ යුතු සුවිශාල කාර්යභාරයක් සිදුකරනු ලබන ඔබ වහන්සේ ගේ කුඩා කාලයේ මතකය අවදි කරමින් අපේ කාතාබහ ආරම්භ කරමු හාමුදුරුවනේ.

බලංගොඩ රාස්සගල විජනත්කුඹුර කියන බොහොම සුන්දර ගැමි පරිසරයක උප්පත්තිය ලැබුවා. මගේ මව පියා ශ්‍රද්ධාවන්ත ව, ගුණගරුක ව, ආදර්ශසම්පන්න ව සාමාන්‍ය ගොවි පවුලක ජීවත්වුණ මව්පිය දෙපළක්. අම්ම ගේ ඉල්ලීමත් , මගේ කැමැත්තත් ඇතිව පැවිදිවීමේ අරමුණින් 1972 වර්ෂයේ දී ගාල්ල විද්‍යාරාජ පිරිවෙන් පරිවේණාධිපති ව වැඩසිටි පූජ්‍ය නෙල්ලිවල විමලජෝති මහා නායක හාමුදූරුවන් වහන්සේට බාර කළා. ඒ අනුව ඕපනායක ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ දී වතාවත් පුරුදු පුහුණු වෙමින් 1973 වර්ෂයේ ජනවාරි 11වැනි දා බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක හාමුදුරුවන් වහන්සේ ගේ වැඩමවීමෙන් කුල දරුවන් පැවිදි කිරීමේ පුණ්‍යොත්සවයේ දී සංසාරගත පුණ්‍ය ශක්තියට අනුව රාස්සගල සීවලී යන උත්තරීතර ශාසනික නාමයෙන් පැවිදි ජීවිතයට ඇතුළත් වුණා. අමරපුර වජිරවංශ මහා නිකායේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ වැඩමවීමෙන් නෙල්ලිවල විමලජෝති නායක හාමුදුරුවන් වහන්සේ ගේ ආචාර්යත්වයෙන් 1981 වර්ෂයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා සීලයට පත්වුණ බවත් ගෞරවයෙන් සිහිපත් කළ යුතු යි.

ඔබ වහන්සේ ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණය ලබාගත් ආකාරය පිළිබඳ කෙටි සඳහනක් කරනවා නම්,

නෙල්ලිවල විමලජෝති නායක හාමුදුරුවන් වහන්සේ ගේ නායකත්වය යටතේ 1973 වර්ෂයේ දී ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය සඳහා ගාල්ල විද්‍යාරාජ පිරිවෙනට ඇතුළත් වුණා. අනතුරුව 1976 දී ඕපනායක විහාරස්ථ අභයරාජ පිරිවෙන 1977 දී හාලිඇල සුධර්මාවාස පිරිවෙන,1978 දී ගාල්ල විද්‍යාරාජ පිරිවෙන ආදී පරිවේණාස්ථානයන් තුළින් ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය සිදුකරමින් 1981 වර්ෂයේ දී කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් ව 1985 වර්ෂයේ දී සංස්කෘත භාෂා විශේෂවේදී උපාධිය ලබා ගත්තා. තවදුරටත් ප්‍රංශ භාෂාව වසර 4ක් ඉගෙන ගෙන උසස් ඉංග්‍රීසි භාෂා පාඨමාලාවක් සම්පුර්ණ කළා. 1988 වර්ෂයේ දී බදුල්ල ඌව මහා විද්‍යාලයට ලැබුණ උපාධි පත්වීමත් සමඟ ගුරු සේවය ආරම්භ කළා. 1996 – 1998 වර්ෂවල තායිලන්ත මහාචූලාලංකාර විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තා.

ඔබ වහන්සේ තායිලන්තය සමඟ සමීප සබඳතාවයක් ගොඩනඟාගත් ආකාරයත්, ඒ තුළින් සිදුකළ සේවයත් පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කරනවා නම්, හාමුදුරුවනේ,

1988 වර්ෂයේ දී තායිලන්තයට වැඩම කළත්, ස්ථිර වශයෙන් එහි වැඩ සිටීමට තීරණය කළේ 1991 වර්ෂයේ දී යි. 1989 වර්ෂයේ දී තායිලන්ත ප්‍රධාන බෞද්ධ කේන්ද්‍රස්ථානයේ පැවැති ආගමික වැඩසටහනකට වැඩම කළ අවස්ථාවක නකොන්පතොම් නගරයේ රජමහා විහාරයේ නායක ස්වාමීන් වහන්සේ වගේ ම එම පළාත බාර නායක හාමුදුරුවන් වහන්සේ යන දෙනම විසින් එහි වැඩ සිටින ලෙසට සිදුකළ ආරාධනාව එයට හේතු වුණා. ඒ මීට වසර 30 කට පෙර උන්වහන්සේලා ගේ ආරාධනාව බාරගෙන එහි වැඩසිටීමට තීරණය කළ බවයි. ඒ වගේ ම තායි ස්වාමීන් වහන්සේලාට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට කටයුතු කළ නිසා එම සම්බන්ධතාවය වඩාත් බලවත් ව ගොඩනැඟීමට හේතු වුණා.

ඒ වගේ ම තායිලන්ත මහාචූලාලංකාර විශ්ව විද්‍යාලයේ දී ඉදිරිපත් කරන්නට යෙදුණ උපාධි නිබන්ධනය පිටපත් විශාල ප්‍රමාණයක් මුද්‍රණය කරමින් එම විශ්ව විද්‍යාලය විසින් බෙදාහැරීමටත් කටයුතු කළා. ධර්ම දානමය පුණ්‍යකර්මය වෙනුවෙන් පිරුවානා පොත් වහන්සේ ඇතුළු ව ධර්ම ග්‍රන්ථ නැවත මුද්‍රණය කරමින් බෙදා හැරීමට විශාල දායකත්වයක් ලබා දුන්නා. අනතුරුව එම පශ්චාත් උපාධි ආයතනයේ සමාජිකයකු වශයෙන් කටයුතු කළ නිසා මඩිහේ මහානායක හාමුදුරුවන් වහන්සේටත් , 2000 වර්ෂයේ දී එංගලන්ත ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ වැඩ සිටි මැදගම වජිරඤාණ නායක හාමුදුරුවන් වහන්සේටත් ගෞරව ආචාර්ය උපාධි ලබාදීමට කටයුතු කළා. 2000 වර්ෂයේ සිට වසර 24 ක් පුරා ස්වර්ණාලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ විශාල ප්‍රමාණයක් ලංකාවේ විහාරස්ථාන වෙත පූජා කළා වගේ ම ශ්‍රී ලාංකික කුල දරුවන් විශාල ප්‍රමාණයක් පැවිදි කළා. ජාත්‍යන්තර සංවිධාන කමිටුවල සමාජිකයකුවීම නිසා ම වසර 10 ක් පුරා තායිලන්ත වෙසක් උත්සවය සඳහා ලංකාවේ නියෝජිතයන් අඛණ්ඩ ව සම්බන්ධ කර ගැනීමට අවස්ථාව ලැබුණා.

ඒ වගේ ම කොටි ත්‍රස්තවාදීන් විසින් අපේ අහිංසක ජනතාව, භික්ෂූන් වහන්සේ ඝාතනය කරමින් , බෞද්ධ විහාරස්ථාන විනාශ කරමින් මහා විපතක් සිදුකළ කාල පරිච්ඡේදයේ දී තායිලන්ත තානාපතිතුමා ගේ සහයෝගය ඇතිව ලංකා නාවික හමුදාපතිතුමා ගේ ඉල්ලිම මත තායිලන්ත නාවික හමුදාපතිතුමා ලංකාවට පැමිණි අවස්ථාව සම්බන්ධීකරණය කිරීමට හැකි වුණා. කොටි ත්‍රස්තවාදීන් විසින් අපේ රට විනාශ කිරීමට තායිලන්තය හරහා පවත්වාගෙන ගිය ආයුධ සැපයීම නවතා දැමීමට එම අවස්ථාව විශාල ලෙස ප්‍රයෝජනවත් වුණා. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කළා සේ ම මාතෘ භූමියටත් , බෞද්ධ භික්ෂූන් වහන්සේටත් එරෙහි ව කොටි ත්‍රස්තවාදීන් විසින් ගෙන ගිය අන්තර්ජාතික මතවාද පරාජයට පත්කිරීමට කටයුතු කළා. කොටි ත්‍රස්තවාදීන් විසින් සිදුකළ මහා විපත් වළක්වා ගැනීමට උත්සාහ කළ එම අවස්ථා සිහිපත් කරන විටත් විශාල සතුටක් ඇතිවෙනවා. ඒ වගේ ම 2001 වර්ෂයේ දී තායි - ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය ආරම්භ කිරීමට කටයුතු කළා.

ලංකාවේ නූතන ශාසනික ප්‍රවණතාවයන් පිළිබඳ ඔබ වහන්සේ දරන මතය කෙටියෙන් පැහැදිලි කරනවා නම්,

ඒක මුල්තැන දිය යුතු හුඟක් වැදගත් ප්‍රශ්නයක්. මම කවදාවත් භික්ෂූන් වහන්සේ නමක් ලෙස පක්ෂ දේශපාලනය කළේ නැහැ. එය සතර අගතියෙන් එකක්වීම නිසාත්, පොදු වශයෙන් ශාසනයේ විශාල පරිහානියකට හේතු වෙනවා. මම ඒ සඳහා පෞද්ගලික ව එකඟ නැති වුණත්, කවදාවත් මම ඡන්දය පාවිච්චි නොකළත්, පසුගිය කාලය තුළ රට පත්ව ඇති තත්ත්වය සිතා පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපතිතුමාට පක්ෂ ව ඡන්දය භාවිත කිරීමට සිදුවුණා. තායිලන්ත භික්ෂූන් වහන්සේලාට ඡන්දය පාවිච්චි කිරීම තහනම් වෙනවා. එම භික්ෂූන් වහන්සේ මාසයකට දෙවතාවක් පොහොය කිරීම සිදු කරනවා. පසළොස්වක පොහොයට පෙර හිස රුවුල් බානවා. භික්ෂූන් වහන්සේ ධර්ම විනය තුළ රැඳී සිටීම සම්බුද්ධ ශාසනය පණ වගේ ආරක්ෂාවීමට හේතුවක්. තාක්ෂණික දියුණුවත් සමඟ එම තත්ත්වය හොඳීන් පවත්වා ගෙන යාමට තායිලන්තය කටයුතු කරනවා. තායිලන්ත සංඝරාජ ස්වාමීන් වහන්සේ කිසිවකු විසින් විවේචනය කරන්නේ නැහැ. උන්වහන්සේ ගේ අනුශාසනය අවසාන අනුශාසනාව ලෙස සියලුදෙනා පිළිගනු ලබනවා මිස වෙනත් මත පළ කරන්නේ නැහැ. සංඝ සාමග්‍රිය හොඳීන් ආරක්ෂා කරගෙන යනවා. බුද්ධ කාලීන ක්‍රමවේදයන් තායිලන්තය තුළ තවමත් ක්‍රියාත්මක කරගෙන යනවා. අධ්‍යාපනය ඉතා ම ඉහළින් අගය කරමින් ඒ සඳහා මුලිකත්වය ලබා දෙනවා. ලංකාවේ අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේ දැනුමට පමණක් සීමා‌ නොකර ප්‍රතිපත්ති පූරණය සඳහා භාවනා පුහුණු වැඩ සටහන් අනිවාර්ය අංගයක් කළ යුතු බවට යෝජනා කරන්න මම කැමැතියි. එම රටවල උපාධියේ එක් අනිවාර්ය අංගයක් ලෙස භාවනාව ඇතුළත් වෙලා තිබෙනවා.

බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 20 සඳුදා පූ.භා 05.28 පසළොස්වක ලබා 21 අඟහරුවාදා පූ.භා 05.24 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]