[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු මහ රජතුමා - 44: පියරජතුමා අසනීප වූයේ තමන් නිසා යැයි දීඝාභයට පසුතැවීමක්

දුටුගැමුණු මහ රජතුමා - 44:

පියරජතුමා අසනීප වූයේ තමන් නිසා යැයි දීඝාභයට පසුතැවීමක්

"තොපට දුටුගැමුණු කුමාරයා හමුවී තිබෙනවා ද ?"

"නැහැ "

"තොප, කාවන්තිස්ස මහා රජතුමා දැක තිබෙනවා ද?"

"ඔව්, සම්මන්ත්‍රණ ශාලාවේ දී දැක තිබෙනවා. අසනීප වන්නට කලින් අස්රියෙන් ගමන් කරනවා දැක තිබෙනවා"

"මෑතකදී රජතුමා සංචාරය කරනවා දුටුවා ද? "

"නැහැ , රජතුමාගේ අසනීප තත්ත්වය දරුණුයි. කිසිවකුටත් හමුවීමට අවසර නැහැ. රාජකීය වෛද්‍යවරු සිව් දෙනකු රජ මාලිගයේම නැවතී ප්‍රතිකාර කරනවා. විහාරමහා දේවියත් මහත් දුකෙන්, වේදනාවෙන් කල් ගෙවන බව ආරංචියි."

"තොප, මව් බිසවුන් වහන්සේ දැක තිබෙනවා ද ?"

"ඔව්, කිහිප වරක්ම දැක තිබෙනවා. තිස්ස මහා චෛත්‍යය වැඳ පුදා ගන්නට යනවා දැක්කා."

"මා පිළිබඳ මාගම සෙනෙවිවරුන් තරහින් ද පසුවන්නේ ?

"නැහැ, කුමරුනි ඔබගේ පලා යාම නිසා රජතුමා ඔත්පල වූ බවයි ඔවුන් පවසන්නේ. ඔබතුමා රටටත්, පිය රජතුමාටත්, මව් බිසවටත් ද්‍රෝහී වුණාලු. "

"නැහැ, නුඹ කියන්නේ බොරු. පිය රජතුමා ලෙඩ වීමට වගකිව යුත්තේ දුටුගැමුණුයි. පිය රජතුමාට ගැහැනු ඇඳුම් පැළඳුම් යැව්වා. ගිරි රාජධානියේ ගිරි රජු පන්නා දමා බලය අල්ලා ගත්තා. මේවායින් කළකිරුණු රජතුමා අසනීප වුණා."

"ඒවා අප සියලු දෙනාම දන්නා කරුණු. නමුත් රජතුමා තදබල ලෙස අසනීප වුණේ ඔබතුමාගේ හසුන්පත තිස්ස කුමාරයාට ලැබුණු දවසේලු."

"දීඝාභය කුමාරයාගේ මුහුණේ දුක්මුසු බවක් පෙනෙන්නට විය. මොහොතක් කල්පනාවට වැටුණේ ය.

"පිය රජතුමා අසනීප වූ පසුව තොපට දැකගන්නට ලැබුණා ද ?"

"නැහැ කුමරුනි, තදින් අසනීප වූ පසුව මහ රජතුමා හමුවන්නට කිසිවකුටත් අවසර ලැබුණේ නැහැ. මව් බිසවුන් වහන්සේටත්, ත්‍රිපිටකතිස්ස, මහාසිව මාහිමිපාණන් වහන්සේලාටත් හැර රාජකීය වෛද්‍යවරුන්ට පමණයි හමුවීමට අවසර ලැබුණේ. නන්දිමිත්‍ර, වේළුසුමන, සුරනිමල තිදෙනාට කැඳවීමක් ලැබුණොත් පමණක් යාමට අවසර ලැබුණා."

"තොප නැවත මාගම රාජ්‍යයට යනවාද"

"නැහැ, කිසිම අදහසක් නැහැ. ඔවුන්ට දැන් මම ජාති ද්‍රෝහියෙක්. දුටුගැමුණු ද්‍රෝහියෙක්. එළාර රජතුමාගේ හිතවත් චරපුරුෂයෙක්."

"ගැමුණු කුමාරයාට බොහෝ හිතවත් මහා සෙනෙවිවරු කවුද?"

"වෙන් වෙන් වශයෙන් කියන්න බැහැ. හැම දෙනාම ගැමුණු කුමාරයාට කැමතියි. "

"තොප මෙහි සිටිමින් රහස් ඔත්තු ලබා ගන්නේ කෙසේද?"

"චූලන්ගනියේ මගේ හිතවත් සෙනෙවියකු සිටිනවා. ඔහු පරවියකු මගින් වැදගත් සිද්ධි මට දන්වා එවනවා."

" හොඳයි, ඔබ දක්ෂයකු බව පෙනෙනවා. තොපට ඉතා ඉක්මණින් මහා සෙනෙවි තනතුරක් ලැබේවි."

"ස්තුතියි මහා සෙනෙවිතුමනි"

" දැන් ආරක්ෂක කටයුතු පිළිබඳ සම්මන්ත්‍රණයට යාමට සුදුසු නැහැ. එය ආරම්භ වී හෝරාවක් පමණ ගත වෙලා. නමුත් තොප හමුවීම ඉතා වැදගත්."

"දීඝාභය කල්පනා කරමින්ම අසු පිටට නැග්ගේ ය. මහමෙව්නාව දෙසට නොව, විජිතපුර දෙසට වේගයෙන් අසු මෙහෙය විය. පිය රජතුමා තමන් නිසා අසනීප විය යන අදහස ඔහුට වේදනා ගෙන දුන් බව සිරිනාගට දැනුණි. සිරිනාග නිවසට පැමිණ ගතවුයේ සුළු මොහොතකි. මිත්‍ර සෙනෙවි ආලින්දය අසලට පැමිණ අසු පිටින් බැස සිරිනාග ඇමතුවේ ය.

"දීඝාභය කුමරු අද ආරක්ෂක සම්මන්ත්‍රණයට ආවේ නැහැ. නමුත් තොප සමඟ සෑහෙන වේලාවක් ශ්‍රී මහා බෝධිය අසල කතා කරමින් සිටි බව ආරංචි වුණා. තොපට ඔහු මුණ ගැසුණේ කෙසේද?"

"මහා සෙනෙවිතුමනි, සුපුරුදු පරිදි ශ්‍රී මහා බෝධිය වන්දනා මාන කර පිටව යන්නට සුදානම් වන විටම දීඝාභය කුමරු පැමිණ මා නතර කළා.

"ඒ කුමක් නිසාද ? ඔහුට තොප සමඟ අමනාපයක් තිබෙනවා ද? "

"ඔව් ඔහු මට තර්ජනය කළා.

"ඇයි ඒ "

"ඔහු අනුරාධපුරයේ චරපුරුෂ සේවයක් පවත්වාගෙන ගිය බව සම්මන්ත්‍රණයේ දී එළාර රජු ඉදිරියේ මා විසින් හෙළිකිරීම පිළිබඳව "

"තොප එය ස්ථිරව ම දැන සිටියා ද?"

" නැහැ, එය සැක සහිතව එළැඹි නිගමනයක්. නමුත් දැන් එය නිවැරැදි බව පෙනෙනවා."

"ඔහු ඒ බව පිළිගත්තා ද ?"

"ඔව් " මෙය අපට හොඳ කරුණක්. ඔහු අපට අවනත කර ගන්නට"

" නමුත් දැන් ඔහු එළාර රජතුමාගේ හිතවත් සෙනෙවියෙක්. දිඝජන්තුටත් වඩා එළාර මහා රජතුමාගේ විශ්වාසය දිනාගෙන

"ඒක ඇත්ත. එයින් නැතිවී යන්නේ මට ඇති තැනයි. මා දැන් තුන්වැනි තැනට වැටිලා. මේ තත්ත්වය වෙනස් කර ගන්නට සිරිනාග මට ඔබේ සහය අවශ්‍යයි. "

"ඒ ගැන සැක හිතන්න එපා මහසෙනෙවිතුමනි, මම හැදුණේ වැඩුණේ ඔබතුමාගේ ගෙදර. යුද්ධ ශිල්පය ඉගෙන ගත්තේ ඔබතුමාගෙන්. අද මම මේ උපසෙනෙවී කෙනකු වී සිටින්නේ ඔබතුමා නිසයි. "

"තොප ඒ ටික සිහි තබාගෙන කටයුතු කරනවා නම් හොඳටම ඇති."

මුළු දවස පුරාම අනුරාධපුර රාජධානියේ ඇවිදිමින් තොරතුරු සොයමින් ඒ බව එළාර රජතුමාට වාර්තා වන්නට සැලසීම මේ දිනවල සිරිනාගගේ රාජකාරියයි. තමන්ගේ විමසිලිමත්බව නිසා අනුරාධපුරයේ සැරිසරන චරපුරුෂයන් ද, වෙනත් සැක සහිත පුද්ගලයන් ද පලා යන්නට පටන්ගෙන ඇතැයි ප්‍රචාරයට පත් කළේ ය. ඒ අතර සිරිනාග ගිරිල, මහෙළ බලකොටුවල ද, විජිතපුර බලකොටුවල ද ගොස් ඒවායේ ආරක්ෂක කටයුතු ගැන කරුණු රැස් කළේ ය. තමන් අනුරාධපුර රාජධානියේ තනතුරු දරමින් වැටුප් ලබමින් මාගම රාජ්‍යයට සේවය කිරීම සාධාරණදැයි තමාගෙන් ම ප්‍රශ්න කළ අවස්ථා විය. එහෙත් රට ජාතිය ආගම පරසතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ සටන වඩාත් උදාර යැයි සිතට නඟා ගත්තේ ය. මේ අතර ජයනාථ සිටුතුමා අමුත්තකු සමග ආලින්දයට පිවිසෙනු දුටු සිරිනාග මුහුණ සඟවාගෙන නිවස තුළට ගියේ මහත් බියකිනි. සිටුතුමාට ද වෙනස දැනුණි. මද වේලාවක් මහනෙල සමඟ කතා කරමින් සිටි සිටුතුමා නිවස තුළට ගියේ සිරිනාගගෙන් කරුණු විමසා දැන ගන්නට ය.

"මහ සිටුතුමනි, මේ පැමිණ සිටින්නේ මහනෙල සෙනෙවිතුමා යි. ඔහු දුටුගැමුණු රජතුමාට ඉතාමත් හිතවත්. ඔහු මා හඳුනාගතහොත් ඒ මොහොතේ දී ම මා මරා දමන බවට කිසිම සැකයක් නැහැ.'

"මහාසිව මාහිමියන්ගේ උපදෙස් පරිදි මාගම ආරක්ෂක සේනා අතර ප්‍රචාරය කර ඇත්තේ මා චරපුරුෂයකු බව දැනගත් විගස පලාගිය බවයි. නමුත් සත්‍යය දන්නේ නන්දිමිත්‍ර, සුරනිමල මහා සෙනෙවිවරුන් දෙදෙනා පමණයි."

"ඇත්තද ? එහෙනම් අප දැන් කුමක් කළ යුතුද? ඔබට වෙනත් නමකින් ඔහු හමුවන්නට බැරිද?"

"ඔව් එහෙම කරමු. මිත්‍ර සෙනෙවියාගේ පුතකු ලෙස මම ඔහු සමඟ කතා කරන්නම්. සිරිනාග සෙනෙවි තවම රජ මාළිගයේ සිට පැමිණ නැති බව කියන්න ."

"හොඳයි, එහෙනම් ඔබ සුදානම් වී පැමිණෙන තුරු මම මහෙනෙල සමඟ කතා කරමින් සිටින්නම්."

පලතුරු යුෂ පානය සඳහා ආරාධනා කරන බව සේවකයකු පැමිණ පැවසුයෙන් දෙදෙනා මැද සාලයට පිවිසියහ. මේ අතර සිරිනාග පැමිණියේ ය.

මහනෙල ඔහු දෙස බලා විමතිය පළ කරත්ම සිටුතුමා කතා කළේ ය.

"මේ මිත්‍ර මහා සෙනෙවිගේ පුත් සුජීව. සිරිනාගගෙන් කඩු ශිල්පය ඉගෙන ගැනීමට මෙහි පැමිණ සිටිනවා. සිරිනාග සෙනෙවිතුමා තවමත් රාජමාළිගයේ සාකච්ඡාවක නිසා එන්නට ප්‍රමාද වේවිලු. "

"මිත්‍ර සෙනෙවිගේ මුහුණුවර එහෙම ම තියෙනවා. මොහු මාගම රාජධානියේ චරපුරුෂ සේවයේ සිට පලා ආ සිවනාග වගේමයි."

"ඔබ සේවය කරන්නේ එළාර රජුට ද?"

" නැහැ. මම කවදාවත් එළාර රජුට සේවය කරන්නේ නැහැ. යුද්ධ ශිල්පය හැදෑරුවත් එළාර රජුගේ සේනාංකයට ඇතුළු වෙන්නේ නැහැ. අවස්වථාක් ලැබුණු විගස තරුණයන් දෙතුන් සියයක් සමඟ දුටුගැමුණු සේනාංකයට බැඳෙනවා."

"එහෙනම් ඔබ අපට ප්‍රයෝජනවත් වේවි. "

"මම ගැමුණු සේනාංකයේ මහනෙල සෙනෙවි. වෙළඳ කටයුතු සඳහා මාස දෙකකට වරක් අනුරාධපුරයට එනවා. වැඩිපුරම වෙළඳ භාණ්ඩ හුවමාරු කරගන්නේ මේ මහා සිටුතුමා සමඟයි. මෙවර කුණ්ඩල බ්‍රාහ්මණතුමාත් හමු වී වෙළඳ කටයුතු ගැන කතා කිරීමට කැමතියි."

"මහනෙල සෙනෙවිතුමනි, මට ඕනෑම කෙනකු සමඟ කඩු හරඹයෙන් ජයග්‍රහණය කරන්නට පුළුවන්. චතුරංග සේනාවේ මෙහෙයුම් කරුවකු ලෙස මා පුහුණුවක් ලබා තියෙනවා. අශ්ව ධාවනය මගේ ප්‍රියතම ක්‍රීඩාවයි."

"සුජීව, මාගම යුද්ධ ආරම්භයේ දී ඔබ අපත් සමඟ සිටිනවා නම් මම ඉතාමත් කැමතියි."

නිකිණි අව අටවක

  අගෝස්තු 29 ඉරිදා අ.භා 23.25 අව අටවක ලබා 31 අඟහරුවාදා පූ.භා 01.59 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]