[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නිකිණි අව අටවක 2021.08.30

රැකවරණය ලැබීමට

බුදුරදුන් දවස මහාලී නම් ලිච්චවි කුමාරයෙක් විය. දිනක් ඔහු බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ, පිළිසඳර කතාවෙන් පසු ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයා දැක තිබේදැයි විමසීය.

එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තමන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයා දැක ඇති බව ය. එහෙත් මහාලීට එය විශ්වාස කළ නොහැකි විය. ඔහු පැවසුවේ ශක්‍ර දේවේන්ද්‍රයා දැකීම ඉතා ම දුෂ්කර දෙයක් බවත්, බුදුරජාණන් වහන්සේ දකින්නට ඇත්තේ වෙනත් කෙනකු බවත් ය. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ, මහාලීට විස්තර කොට වදාළේ තමන් වහන්සේ ශක්‍රයා පිළිබඳ ඉතා හොඳීන් දන්නා බව පමණක් නොව, ශක්‍ර පදවිය ලැබීමට පුරන ලද ගුණයන් ද දන්නා බව ය.

මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ලෙස ශක්‍ර දේවේන්ද්‍ර භාවය ලබා ගැනීමට හේතු වූයේ හෙතෙම මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා සිටියදී සප්ත ව්‍රත පද නොකඩවා පූරණය කළ බැවිනි.

දිවි තිබෙන තුරු මව්පියන් රැක බලා ගැනීම, කුල දෙටුවන් පිදීම, මොළොක් බස් කතා කිරීම, කේලාම් නොකීම, මසුරුකම දුරැර දන් දීම, සත්‍යවාදීත්වය හා කෝප නොගැනීම යන ප්‍රතිපත්ති හත ය.

මේ සප්තවත පද සිහි කැඳවීම මෙකල අතිශයින් වැඩදායක බව පෙනෙන්නේ ඇතැම් කෙනෙක් හිතා මතාම මේ ගුණධර්ම බැහැර කොට ඇති සැටි හොඳීන් අසන්නට, දකින්නට ලැබෙන නිසා ය. මෙකල ජීවත්වන කිසිවෙක් මෙතෙක් අත්නොවිඳී අභාග්‍ය සම්පන්න මහා ව්‍යසනයකට අද අපි සමස්ථයක් ලෙස මුහුණ දෙමින් සිටිමු. සියල්ල උඩුයටිකුරු වී ගොසිනි. කෙනෙකුට කුසට අහරක් සොයා ගැනීමේ සිට බොහෝ අර්බුදයන්ට මුහුණ දෙන්නට සිදුව තිබේ. ඒ සොබා දහමේ ස්වභාවයයි. මේවාට මුහුණ දෙමින් ජීවිතය ජය ගන්නට වෙර දරනවා විනා අප කිසිවෙකුටත් ඉන් බැහැර විය නොහැකි ය. එමෙන් ම අප වෙත පැවරී ඇති යුතුකම් වගකීම්වලින් ද මඟ හැර සිටිය නොහැකි ය.

අප මෙලොවට බිහි කළ අපේ මව්පියන් රැක බලා ගැනීම ඒ අතර ප්‍රධාන ය. පසුගියදා අසන්නට ලැබුණ දුක්බර සිදුවීම් අතර එක් දියණියක් මහ මඟ මිය ගිය පියාගේ දේහය අසලටවත් නොපැමිණියේ ඔහු කෝවිඩ් දහනමය රෝගය නිසා මිය යන්නට ඇතැයි ඇය සැක කළ නිසා ය. තවත් දියණියක් රෝහල් ගත කළ මව නැවත බාර ගැනීම ප්‍රතික්ෂේප කළා ය. මෙවැනි ශෝචනීය සිදුවීම් සන්නිවේදනය කරන්නේ මිනිස් දරුවන්ගේ පිරිහීම ය.

මේ අතර බොහෝ පිරිස් මව්පියන්ගේ පණ රැක ගන්නට ගන්නා අපමණ උත්සාහයන් ද වේ. එහෙත් සුලු පිරිසක් හෝ ඒ වගකීම් මඟ හැරිය යුතු නොවේ.දරුවන්ගේ මඟහැර යාම් හමුවේ කිසිදු මවක් හෝ පියෙක් හෝ අසරණ විය යුතු නොවේ. අප යම් දෙයක් මැනවින් සිහි තබා ගත යුතු වේ. ඒ මව්පියන්ට සලකන දරුවන්ට කිසිදා නොවරදින බව ය.

සත් වත පදයන්හි දැක්වූ අනෙකුත් ප්‍රතිපත්තීන් ද තමන්ගේත්, අනුන්ගේත් යහපත පිණිස ම පවතින්නේ ය. විශේෂයෙන් පීඩාකාරී මෙවන් සමයෙක මුදු මොළොක් වචනයක් වුව අන් සිත් සනසවාලීමෙහි සමත් ය. තමන්ට හැකි අයුරින් අවශ්‍ය කෙනකුට යම් පරිත්‍යාගයක් කරන්නට හැකි නම් මොනතරම් වටිනවා ද? අපට නිවැරැදි මඟ පෙන්වා දෙන කුලදෙටුවන් පිදීම කිසිම හේතුවක් නිසා මඟ නොහැරීම බෞද්ධයාගේ සිරිත ය.

ඉවසීම උතුම් තපස් ගුණයක් බව දහමෙහි සඳහන් ය. මෙකල අන් කවරදාටත් වඩා අපට බොහෝ දේ ඉවසන්නට සිදුව තිබේ. ඒ තුළ ම මේ රෝග උවදුර ජය ගන්නට මඟ සැලසේ. සරලව ම කියනවා නම්, සවන්දිය යුතු තැන සවන් දෙන්නට තරම්වත් ඉවසීමක් වර්ධනය කර ගත යුතු වේ. පාලනය කර ගත හැකි ව තිබූ භයානක රෝගයක් මේ තරම් ජීවිත බිලි ගන්නා තැනට වැටුණේ අපේ ම මිනිසුන්ට සෞඛ්‍යය මාර්ගෝපදේශ පිළිපැදීමට තරම්වත් ඉවසීමක් නොවූ නිසා ය.

ජීවිතයේ අනියත බව, සියල්ලන්ට ම එය පොදු බව අද අපි ගෙවෙන මොහොතක් පාසා ප්‍රායෝගික ව ම අත්විඳීමු. මේ සියල්ලට ම අපට රැකවරණයක් ඇත. සරණක් ඇත. ඒ ශ්‍රී සද්ධර්මයේ රැකවරණයයි.

මෙලොවට පවතින්නේ ද, එලොවට ඉතිරි වන්නේ ද තමන් කළ කී දේ පමණි. එහෙයින් යහපත පමණක් රැස් කරමු. එය ම දෙලොව රැකවරණය වන බැවිනි.

නිකිණි අව අටවක

  අගෝස්තු 29 ඉරිදා අ.භා 23.25 අව අටවක ලබා 31 අඟහරුවාදා පූ.භා 01.59 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]