[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කේසකාරි දියණිය දෙව්ලොව ගිය හැටි

කේසකාරි දියණිය දෙව්ලොව ගිය හැටි

සක් දෙවිඳුනි, ඔබ මගෙන් ඇසුවේ මේ දෙව් ලොවට මම ආවේ කවර ලෝකයකින් ද කියලයි. කසී රට බරණැස කියා නගරයක් තිබෙනවා. ඒ නගරයේ මම කේසකාරී නමින් මිනිස් දුවක් ව ඉපදී සිටියා. භාග්‍යවතුන් වහන්සේ ගැනත්, ඒ ශ්‍රී සද්ධර්මය ගැනත්, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන ගැනත් මගේ සිතේ ලොකු පැහැදීමක් තිබුණා.

කේසකාරී දියණිය විසුවේ කසී රටේ. බරණැස ඇය උපන් ගම යි.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර ඉසිපතන මිගදායේ වැඩ වාසය කළා. එදින බොහෝ භික්ෂූන් උදය කාලයේ පා සිවුරු ගෙන පිණ්ඩපාතය සඳහා ඒ ගමට වැඩම කළා.

මේ භික්ෂූන් වහන්සේලා කේසකාරීගේ නිවස ඉදිරිපිටින් වැඩම කළේ. ඒ දියණිය ඉතාමත් ඥානවන්ත යි. නිවස ඉදිරියෙන් වඩින ඒ මහා ශ්‍රාවක පුත්‍රයන් දුටු ඇය විස්මයට පත්වූවා. කෙදිනකවත් නොදුටු සංඝයා වහන්සේ දැක ඉතා ප්‍රීතියෙන් දෑස් විදහා එදෙස බලා සිටියා.

මොනතරම් පින්බර ද? මේ සංඝයා වහන්සේ දැකීමෙන් සිත ප්‍රීතියට පත්වෙනවා. කසාවත් හැඳ පාත්‍රය දරාගෙන බිමට යොමු කරගත් දෑසින් වඩින මේ උතුමෝ කවරහු ද? ඉතාමත් සිල්වත්, පින්වන්ත මේ සංඝයා වහන්සේලාට ගිහි ගෙදර කළකිරුණේ කිනම් කරුණක් නිසා ද? උන්වහන්සේලා කා වෙනුනේ පැවිදි වූයේ ද? සිතු කේසකාරී තම මෑණියන්ගෙන් මෙසේ අසනවා.

"මෑණියනි, මේ අප ඉදිරියෙන් වඩින භික්ෂුන් වහන්සේලා ඉතාමත් මනෝභාවනීය යි. රූමත්. හැමගේ ම ප්‍රසාදය ලබන පැවිදි උතුමන් පිරිසක්. මේ සියලුම භික්ෂූන් තරුණ වයසේ නේද පසුවන්නේ? මෑණියනි, මේ භික්ෂූන් වහන්සේ කුමන හේතුවක් නිසා ගිහි ගෙදර හැර දමා තරුණ වියේ දී පැවිදි වූවා ද?"

"දියණිය, ශාක්‍ය වංශයේ පුත්‍රයකු ශාක්‍ය වංශයෙන් නික්මිලා පැවිදි වී බුද්ධ නමින් ශාස්තෘන් වහන්සේ ලෙස ලොවට පහළ වෙලා. ඒ බුදුරජාණන් වහන්සේ මුල, මැද, අග යහපත් වූ අර්ථ සහිත ධර්මය දේශනා කරනවා. උන්වහන්සේ දෙවි, මිනිසුන්ට මේ සංසාර දුකෙන් එතෙර වීටමයි කියා දෙන්නේ. සියලුම සත්ත්වයන් කෙරෙහි අප්‍රමාණ දයාවකින් තමයි වාසය කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ ගේ ගුණ අනන්ත යි. අප්‍රමාණ යි. උන්වහන්සේ ගේ ජීවිතය පුරාවට ම කරුණාව, දයාව, ඉවසීම, තිබෙනවා. නිතරම මෙත් සිත පතුරවමින් තමයි වාසය කරන්නේ.

උන්වහන්සේ සියලුම අකුසල් දුරු කරලා ඉන්නේ. රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කර සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වූ උත්තමයෙක්. දියණියනි, මේ බ්‍රහ්මචාරී පැවිදි පිරිස ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා තමා පැවිදි වෙලා ඉන්නේ" යැයි මව කියා දුන්නා.

ඔවුන් අසල සිටියා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කොට මාර්ගඵලයට පත් උපාසකයෙක්. කේසකාරීගේ මව

"උපාසකතුමනි, මේ කාලයේ බොහෝ කුල පුත්‍රයන් මහත් වූ වස්තුව ද, බොහෝ නෑදෑ පිරිස ද, නම්බුනාම, සිටු තනතුරු ද හැරදමා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. එසේ පැවිදි වීමෙන් ඔවුන්ට වෙන යහපතක් තිබෙනවා ද? බොහෝ සැප සම්පත් විඳීමින් ගිහි ගෙදර වාසය කිරීමට ඉඩ තිබියදීත්, ඒ සියල්ල අතහැර දමා සිවුරු දරාගෙන, පාත්‍ර ගෙන පිණ්ඩපාතයෙන් ලැබෙන කටුක ආහාර වළඳමින් මෙසේ ඉන්නේ ඇයි? ඔවුන් සොයන්නේ මොන වගේ සැනසීමක් ද? ඒ පිරිස සොයන සැනසීම ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ තිබෙනවා ද?"

ඒ උපාසකතුමා කියනවා

"දියණිය, මා දන්නා ආකාරයට ඔබට කියා දෙන්නම්.

මේ පැවිදි උතුමෝ පංචකාමයෙහි ආදීනවයන් දකිමින් පැවිදි ජීවිතයේ අනුසස් දකිමින් වාසය කරනවා. තුනුරුවන් කෙරෙහි අපමණ ශ්‍රද්ධාවකින් වාසය කරන්නේ. ඒ වගේම නිති සිල් රැකීම නිසයි මේ පිරිස ප්‍රසන්න ව ප්‍රමුදිත ව වාසය කරන්නේ."

කේසකාරී දියණිය නැවත අසනවා "උපාසකතුමනි, ඔබ කියන ආකාරයට තුනුරුවන් සරණ යාමෙන් ඒ යහගුණ අපටත් ඇතිකර ගත හැකි ද?"

"පින්වත් දියණිය, එය එසේම යි. නුඹත් අද පටන් තුනුරුවන් සරණ ගොස් ඒ ලාභය ලබා ගන්න" යැයි කියා ඇය තිසරණ සරණ පන්සිල් සමාදන් කරවූවා.

"උපාසකතුමනි, තිසරණය සමාදන් වීමට අමතරව තවත් යමක් කළ යුතු ව තිබෙනවා ද?"

"මැය ඉතාමත් ඥානවන්ත යි. ධර්මාවබෝධයට සුදුසුකම් ඇති තැනැත්තියකි. එනිසා මැයට ශරීරයේ කුණුප කොටස් තිස්දෙක කියාදිය යුතුයි" සිතූ උපාසකතුමා

"දියණිය, ඔබ මේ ශරීරයේ පවත්නා කුණුප කොටස් තිස් දෙක නුවණින් මෙනෙහි කරන්න. කයට තිබෙන ආශාව දුරු කර දමන්න. වෙනස් වෙමින් තිබෙන මේ ශරීර ස්වභාවය පිළිබඳ අනිත්‍යය දකින්න" යැයි විදර්ශනා මාර්ගය උගන්වා උපාසක යන්න ගියා.

ඒ කේසකාරී කියාදුන් අන්දමට අනිත්‍ය මෙනෙහි කළා. විදර්ශනා වැඩුවා. පිළිකුල්බව වැඩීම තුළින් සිත සන්සුන් වුණා. සිල් ගුණ දම් දියුණු කළා. ඕ ටික කලකින් සක්කාය දිට්ඨියෙන් නිදහස් වුණා.

කලකට පසු ඇය කලුරිය කළා. සක්දෙවිදුගේ භවනෙහි පරිවාරිකාවක ලෙස උපත ලැබුවා. අප්සරාවන් ලක්ෂයක් පිරිවරා සිටියා.

කේසකාරී දෙව්දුව දකින සක් දෙවිඳු අසනවා "පින්වත් දෙව්දුව, ඔබ මොන වගේ පිනක් කරලා ද මේ අලංකාර දිව්‍ය විමානය පහළ වුණේ?"

"සක් දෙවිදුනි, මේ දිව්‍ය විමානය හරිම සිත්කළු යි. ප්‍රභාෂ්වර යි. වෛරෝඩි මාණික්‍යවලින් මේ විමානය සෑදී තිබෙන්නේ. රනින් කළ වෘක්ෂයන්ගෙන් හැම තැනම සුන්දර වෙලා තිබෙන්නේ. මගේ පුණ්‍ය කර්මයක විපාකයක් ලෙසයි මේ විමානය පහළ වුණේ."

"පින්වත් දෙව්දුව, කලින් මේ දිව්‍ය විමානයෙහි දිව්‍ය අප්සරාවන් ලක්ෂයක් පමණ පහළ වෙලයි ඉන්නේ. ඒ පිරිවර ඇතිව ඔබත් මෙහි පහළ වුණේ ඔබගේ පුණ්‍ය කර්මයන් නිසාම යි. ඒ කලින් උපන් දිව්‍ය අප්සරාවන් පිරිවරා‌ගෙන ඔබ බැබළෙමින් ඉන්නේ. සුපුන් සඳ රැස් විහිදා බබළනවා. එවිට තරු එළියෙන් වැඩක් නැහැ. අහසේ සඳ මඬලමයි බබළන්නේ. ඔබත් ඒ වගේම යි. මේ අප්සරාවන් පිරිවරාගෙන දිලිහි දිලිහි යසසින් බබළනවා. පින්වත් දෙව්දුව මේ විමානයට ඔබ පහළ වූයේ කවර ලෝකයකින් චුත වෙලා ද?"

ඒ දෙව්දුව කියනවා

"සක් දෙවිඳුනි, ඔබ මගෙන් ඇසුවේ මේ දෙව් ලොවට මම ආවේ කවර ලෝකයකින් චුත වෙලාද කියලා. කසී රට බරණැස කියා නගරයක් තිබෙනවා. ඒ නගරයේ මම කේසකාරී නමින් මිනිස් දුවක් ව ඉපදී සිටියා. භාග්‍යවතුන් වහන්සේ ගැනත්, ඒ ශ්‍රී සද්ධර්මය ගැනත්, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන ගැනත් මගේ සිතේ ලොකු පැහැදීමක් තිබුණා. ඒ ශ්‍රද්ධාව ස්ථිර එකක්. මම සැක රහිතවයි ඉන්නේ. නොකඩවා සිල්පද රැක්කා. සෝවාන් ඵලයට පත්වෙලා හිටියේ. මම නියත වශයෙන් ම නිවන අවබෝධ කරන කෙනෙක්" ඇය කිය සිටියා.

සක් දෙවිඳු කියනවා.

"පින්වත් දෙව්දුව, ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳවත්, ශ්‍රී සද්ධර්මය පිළිබඳවත්, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන පිළිබඳවත් ඔබේ සිතේ ලොකු පැහැදීමක් තිබෙනවා. ඒ ශ්‍රද්ධාව ස්ථිර එකක් ම තමා. ඔබ සැක රහිතව යි ඉන්නේ. නොකඩ කොට සිල්පද රැකගෙන සෝවාන් ඵලයට පත් වූ ඔබ නියත වශයෙන් ම නිවන අවබෝධ කරන කෙනෙක්. පින්වත් දෙව්දුව, ධර්මය නිසාත්, පිරිවර නිසාත් ඔබ බබළනවා. අප ඔබේ පැමිණීම සතුටින් පිළිගන්නවා. ‌මෙය ඔබට සුන්දර ආගමනයක් වේවි" යි සක් දෙවිඳු කේසකාරී දෙව්දුවට කියා සිටියා.

පසු කාලයක දී මේ කතාව සක් දෙවිඳු මුගලන් මහරහතන් වහන්සේට ප්‍රකාශ කළ විට මුගලන් මහරහන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට එය දැනුම් දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ගේත්, දෙවියන්ගේත් හිත සුව පිණිස එය නැවත වදාළ සේක.

නිකිණි අව අටවක

  අගෝස්තු 29 ඉරිදා අ.භා 23.25 අව අටවක ලබා 31 අඟහරුවාදා පූ.භා 01.59 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]