[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පරාර්ථය වෙනුවෙන් කැප වූ සංඝ පීතෘවරයාණන් වහන්සේ මතු බුදුවන අනඳ මෙත් මහ නාහිමි

පරාර්ථය වෙනුවෙන් කැප වූ සංඝ පීතෘවරයාණන් වහන්සේ

මතු බුදුවන අනඳ මෙත් මහ නාහිමි

" මුළු රාත්‍රිය මුළුල්ලේ ම කිසිදු ලියවිල්ලක් භාවිත නොකරමින් උන්වහන්සේ ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය තුළ වැඩ සිටි භික්ෂූන් වහන්සේලාට අභිධර්මය ඉගැන්වීමට කටයුතු කළහ. මසක් පමණ උන්වහන්සේ අපට ලබා දුන් දහම් දැනුම අදත් අපට ඉතාම වටිනා මතක සටහන්ය."

වයස අවුරුදු සියය ඉක්මවා තිබියදීත් එතෙර ධර්ම ප්‍රචාරය පිණිස වැඩම කළ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන්ගේ 125 වන ජන්ම දිනය යෙදුණේ පසුගිය 23 වැනිදාට ය. උන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදාය වෙනුවෙන් තබන කෙටි සටහනකි මේ.

කලින් කලට මෙරට පහළ වන යතිවරයාණන් වහන්සේ වෙති. එසේ බිහිවූ ශ්‍රේෂ්ඨ යතිවරුන්ගෙන් රටට, ජාතියට හා බුද්ධ ශාසනයටත් සිදුව ඇති සේවය අතිවිශාල ය. එවන් එක් යතිවරයාණන් වහන්සේ නමක් ලෙස බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේ පෙන්වා දිය හැකිය.

උන් වහන්සේ උපත ලබන්නේ 1896 වසරේ අගොස්තු 23 වැනිදා ය.

ලංකාවාසී බෞද්ධ ජනතාව විසින් උන්වහන්සේ හැඳීන්වූයේ මතු බුදුවන හිමිනමක් ලෙසිනි.

බුද්ධ ධර්මය පිළිබඳ මනා දැනුමකින් එය ඉගැන්වීමට හැකියාවක් උන් වහන්සේ සතු විය. උන්වහන්සේගේ විෂයය වූයේ බුද්ධ වචනය කියා දීම පමණක් නොවේ. එය විශ්ලේෂණය කොට යුරෝපීය ජාතීන්ට කියාදීමට උන්වහන්සේට තිබූ හැකියාව මා සියැසින් ම දුටු අතර ඒ සඳහා පිරිස ආකර්ෂණය වන ආකාරය ද මම අවබෝධ කර ගත්තෙමි.

උන්වහන්සේ ලෝක ප්‍රකට උගතකු, බුද්ධිමතකු හා දාර්ශනිකයකු වශයෙන් ප්‍රසිද්ධියට පත්වූ නිසා ලොව බොහෝ රටවල උන්වහන්සේට ආරාධනා කළේ ධර්මය ඉගැන්වීමට මෙන්ම භාවනාව පුහුණු කිරීමට ය. උන්වහන්සේ එම ආරාධනයන් පිළිගෙන යුරෝපයේ හා අමෙරිකාවේ ධර්මය ඉගැන්වීම සඳහා අවුරුදු ගණන් කල් ගත කළ ආකාරය ද මම සියැසින් ම දුටුවෙමි.

බළන්ගොඩ නා හිමියන් මට අඳුනා ගන්නට ලැබෙන්නේ 1982 වසරේ ප්‍රංශයේ දී ය. එය මා ලද ලොකුම භාග්‍යයක් ලෙස මා සලකන්නේ, කිසිදිනකවත් නොලබන්නට පුළුවන් අත්දැකීම් රාශියක් උන්වහන්සේගේ ඇසුරෙන් ලබා ගැනීමට හැකිවීම නිසා ය.

බෞද්ධාගම පිළිබඳව බොහෝ දැනුමක් ලබා ගත් එම පිරිස් බළන්ගොඩ මහා නාහිමියන්ගේ දේශනාවලින් බුදුදහම පිළිබඳ මනා අවබෝධයක් ලබමින් උන්වහන්සේට ගරු සත්කාර සම්මාන දක්වමින් තම ගැටලු නිරාකරණය කරගන්නට උත්සාහ දරන ආකාරය ද සිත් ගන්නා සුළු විය.

බළන්ගොඩ නාහිමියන් එංගලන්තයේ අමරාවතී බෞද්ධ විහාරයේ වසර ගණනක් වැඩවසමින් ධර්මය දේශනා කළ අතර ඉංග්‍රීසි ජාතික භික්ෂූන්ට හා අනෙකුත් රටවල යුරෝපීය භික්ෂූන්ටත් උපාසක උපාසිකාවන්ටත් පාලි භාෂාව ඉගැන්වීමේ නිරත වෙමින් සිටි කාලයේ දී, 1982 වසරේ ප්‍රංශයට වැඩම කරවීම අප අද සිදුකරන ධර්මය ඉගැන්වීමේ කටයුතුවලට මහත් උපකාරයක් විය.

උන්වහන්සේලවා ධර්ම දේශනා කිහිපයක් ප්‍රංශයේ වාසය කරන බුද්ධාගම ගැන උනන්දුවක් දක්වන අය වෙනුවෙන් පැවැත්වීමට මා කටයුතු කළ අතර උන් වහන්සේගේ දේශනා පටිගත කොට බෙදා හැරීමටත්, උන්වහන්සේ ආනාපාන සතිය ගැන අපට කියා දුන් කුඩා පොතක් මුද්‍රණය කර නොමිලේ බෙදා හැරීමටත් මම කටයුතු කළෙමි. එදා අප මුද්‍රණය කළ පොත්පත් අදත් ප්‍රංශ මෙන්ම අනෙකුත් ජාතීන් අතර ඉතා ජනප්‍රිය ලෙස පවතී.

උන්වහන්සේගේ ධර්මදූත සේවය ගැන ලිවිය යුතු කාරණා ඉතාම සංකීර්ණ ය. කිසිවකු නොකරන ලද කැපකිරීම් ධර්මය ඉගැන්වීමේ දී, සිල්වත් ගුණවත් සුපේසල ශික්ෂාකාමී යතිවරයාණන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේගෙන් සිදුවී ඇත.

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කරන අවස්ථාවට සහභාගි වෙමින් එදා 1989 වසරේ සැප්තැම්බර් 17 වන දින එම විරල අවස්ථාව ආලෝකවත් කිරීමට බළන්ගොඩ මහ නාහිමියන්ගෙන් ලැබුණු පන්නරය අදත් අප ආයතනය තුළ විද්‍යමාන ය. අපගේ ආරාධනයෙන් වස් තුන් මසක් ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ වසමින් උන්වහන්සේ සිදු කළ සේවාව, කාම්බෝජ, වියට්නාම, චීන සහ ශ්‍රී ලාංකික පිරිසට මෙන්ම ධර්මය සොයාගෙන එන ප්‍රංශ ජාතිකයන්ට ද මහත් අස්වැසිල්ලක් විය.

20 වන සියවසේ ලංකාවේ පහළ වූ මේ ශ්‍රේෂ්ඨතම සංඝ පීතෘවරයාණන් වහන්සේ පිළිබඳ ලියවී ඇති අප්‍රමාණ පොත් සංඛ්‍යාව තුළින් උන්වහන්සේගේ ජීවිතය පරාර්ථය වෙනුවෙන් මෙන්ම බුද්ධ ශාසනය වෙනුවෙන් ද කැප වී තිබූ ආකාරය මොනවට පසක් වනු ඇත.

මුළු රාත්‍රිය මුළුල්ලේ ම කිසිදු ලියවිල්ලක් භාවිත නොකරමින් උන්වහන්සේ ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය තුළ වැඩ සිටි භික්ෂූන් වහන්සේලාට අභිධර්මය ඉගැන්වීමට කටයුතු කළහ. මසක් පමණ උන්වහන්සේ අපට ලබා දුන් දහම් දැනුම අදත් අපට ඉතාම වටිනා මතක සටහන්ය. උන්වහන්සේ තෙමසක් තුළ අප ආයතනයේ වැඩවෙසෙමින් කරන ලද දේශනා සියල්ල සම්පිණ්ඩනය කොට සිංහල භාෂාවෙන් ග්‍රන්ථයක් ද එළි දැක්වීමට අප කටයුතු කළේ “බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමිපාණන් ප්‍රංශයේ දී පැවැත්වූ විචිත්‍ර දේශනා” යනුවෙනි.

ලොව විවිධ රටවල සංචාරය කිරීමෙන් උන්වහන්සේ ලද අත්දැකීම් අප සමඟ පැවසු සේක. විශේෂයෙන් ම ඉන්දියාවේ සංචාරයේ දී උන්වහන්සේ ලද අත්දැකීම් බොහොමයක් ම ඉතාමත් සිත්ගන්නා සුළු ඒවා විය. චිත්ත ශක්තිය උපයෝගී කර ගනිමින්උන්වහන්සේ සිදුකරන ලද විශ්මය දනවන දේඅප සමඟ පැවසූහ. ඒවා උන්වහන්සේ පිළිබඳ රචිත පොත්පත් තුළින්ද අපට දැකගන්නට පුළුවන.

උන්වහන්සේ මුළු ජීවිතයම කැප කළේ ධර්මය ඉගැන්වීමටය. අවසාන කාලයේ දී වසර සියක් සම්පූර්ණ වී තිබියදීත් ධර්ම දේශනා සඳහා ආසියාතික රටවලින් උන්වහන්සේට ලැබෙන ආරාධනා සතුටින් භාරගෙන කටයුතු කළේ ධර්මය වෙනුවෙන් ජීවිතයේ අවසාන මොහොත දක්වාම කැප කළ යුතු ය යන අධිෂ්ඨානයෙනි.

වසර 101ක ට වැඩි කාලයක් රටටත් ජාතියටත් බුද්ධ ශාසනයටත් මහත් සේවාවක් සිදු කළ ලෝක ප්‍රකට ධර්මදූතයන්වහන්සේ නමක් ලෙ ස විරුදාවලිය ලත් අග්ගමහාපණ්ඩිත බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහා නාහිමිපාණන් වහන්සේ දැයෙන් සමුගත්තත් උන්වහන්සේ සිදු කළ සේවාව අදත් ලොව පුරා බුදුදහම අගය කරන පිරිසගේ මතකයෙන් අයින් වී නොමැත.

ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික ව උන්වහන්සේ සමරා පින්කමක් පවත්වනු ලබන අතර, බොහෝ දෙනාට දැක ගැනීම සඳහා උන්වහන්සේගේ ඡයාරූපයක් ද ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සවිකර ඇත්තේ, දේශනා ශ්‍රවණය කරන, පොතපත කියවන්න එන අයට උන්වහන්සේ කවුද කියා දැන ගැනීම සඳහායි.

ප්‍රංශ ජාතික පිරිස් සමඟ මා ලංකාවට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ වැඩ වාසය කළ බත්තරමුල්ලේ චිත්ත විවේකාශ්‍රමයේ දී භාවනා වැඩසටහනක් ද උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ පැවතුණි.

අප ස්වාමීන්ද්‍රයාණෝ ශතවර්ෂාධික කාලයක ජීවිතය නිමවා ලක්වැසි ජනතාව තුළ මතු බුදුවන අනඳ මෙත් නාහිමි නැමැති නම ඉතිරි කරමින් අපවත්ව වී වදාළ අවස්ථාවේ ඒ පූජනීය අවස්ථාවට සහභාගිවීමට මට භාග්‍ය හිමිවුණේ ඒ වනවිට මා ලංකාවට පැමිණ සිටි නිසා ය.

උන්වහන්සේගේ 125වන ජන්ම දිනය නිමිති කරගෙන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය පදනමේ සභාපති බඹරබොටුවේ ආනන්ද මංගල හිමියන් විසින් සංවිධානය කරන උපහාර උත්සවය මේ මහා යතිවරයාණන්ට උපහාරයක් ම වේවා !

නිකිණි අව අටවක

  අගෝස්තු 29 ඉරිදා අ.භා 23.25 අව අටවක ලබා 31 අඟහරුවාදා පූ.භා 01.59 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]