[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිතය හඹා එන ලෝ දහම් අටක්

ජීවිතය හඹා එන ලෝ දහම් අටක්

" ධර්මාශෝක අධිරාජයා අපමණ ඓශ්චර්යයෙන් යුක්තව වාසය කළ නමුත් ජීවිතතාවසානයෙහි කිසිවක් නොමැතිව නෙල්ලි පළුවකට පමණක් අධිපති වී යැයි පළව ඇත. ලක් රජය කළ දුටුගැමුණු රජ චූලංගණී යුද්ධයෙන් පැරැද ගොස් කුස සයින් පෙළෙන කල්හි සිව් දෙනෙකුට වළඳන්නට තිබුණේ තිස්ස අමාත්‍යයා රන් තැටියේ බහාගෙන ගිය එක් කෙනෙකුට සෑහෙන බත් කොටස පමණ ය. එයත් තිස්ස නම් තෙරුන් වහන්සේට පූජා කළේය."

අට ලෝ දහම නමින් හඳුන්වනු ලබන්නේ ලෝකයෙහි හැමදා ම පවත්නා වූ ස්වභාව ධර්ම අටෙකි. ලාභ අලාභාදී ඒ අටලෝ දහම ලෝ වැසියා අත්නොහැර පවත්නේ ය. ලෝ වැසියා ද අට ලෝ දහම අනුව අට ලෝ දහම අත් නොහැර සිටින්නේ ය.

ලෝ වැසි කිසිවකුට මේ අට ලෝ දහමට මුව නොදී විසීමට හැකියාවක් නොමැත. තුන් ලෝ වැස්සන්ගේ මුදුන් මල්කඩවන් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව්තුරා වූ සේක් නමුදු, (ලෝක තත්ත්වය ඉක්මැවූ සේක් නමුදු) ලෝකයෙහි වෙසෙන හෙයින් උන්වහන්සේ වෙත ද අට ලෝ දහම ඒකාන්තයෙන් ම පැමිණෙන්නේ ය. ඉන් මෙපිට සත්ත්‍වයන්හට අට ලෝ දහම පැමිණෙනවාය යි අමුතුවෙන් කිවමනා නැත. නිසැකවැ ම පැමිණෙන හෙයිනි.

පුහුදුන් සත්වයා ලාභ යස ප්‍රශංසා සුභ යන මේවා පැමිණි කල්හි මහත් සොම්නස්ව උදම් වෙයි. අලාභ අයස නින්දා දුක්ඛයන් පැමිණි කල්හි මහත් දොම්නසට පත්ව, පසුබසී. මෙසේ පුහුදුනන් ඉෂ්ටයැයි සලකන ලාභ යස ප්‍රශංසා සුඛයන් හෝ අනිෂ්ට යැයි සලකන අලාභ, අයස නින්දා හෝ, රහතන් වහන්සේ වෙත පැමිණි කල්හි ඉෂ්ට මනාප වස්තුවක් පැමිණියේ යැයි සොම්නසට හෝ, අනිෂ්ට අමනාප වස්තුවක් පැමිණියේ යැයි දොම්නසට හෝ පත් නොවන සේක.

උන්වහන්සේ මහ පොළොව හා සමාන වන හෙයින් ඒ මනාප වස්තු දෙකෙහිම නො සැලෙන සේක. මහා පොළොව මත කො තරම් මනාප වස්තූන් බහා ලතත්, ඊට විශේෂ රුචියක් හෝ, කො තරම් අමනාප වස්තු බහාලතත්, ඊට අරුචියක් හෝ නො පෙන්වීම මහ පොළොවේ ස්වාභාව ගතිය වන්නේ ය. අටලෝ දහම් පැමිණීමෙන් රහතන් වහන්සේ ද, මහ පොළොව මෙන් නො සැලී නො වෙනස්ව සිටින සේක. පුහුදුන් සත්වයා අට ලෝ දහම්හි කම්පාවීම ස්වභාව ධර්මයෙකි. ඒ සියලු කෙලෙස් සහමුලින් නසන ලද හෙයින් නිකෙලෙස් වූ රහතන් වහන්සේ අට ලෝ දහම්හි කම්පා නොවීම ස්වභාවය යි.

ලෝ වැසියාගේ සෑමදාම බලාපොරොත්තුව ලාභ ලැබීමට ය. අලාභයක් බලාපොරොත්තුවෙන් වැඩ කැරන කිසිවෙක් නැත. කවර හෝ ලාභයක් බලාපොරොත්තු වීම සිරිත ය. ලාභයයි ගත් කල ඥාති ලාභ-භෝග ලාභාදී නොයෙක් ආකාර ලාභ ඇත. දූ දරුවන් ලැබීම ය. නෑ මිතුරන් ලැබීම ය. පිරිවර ලැබීම ය.

ගව මහීෂාදී සතුන් ලැබීම ය. කෙත් වත් ධන ධාන්‍යාදිය ලැබීම ය යන මේ ආදිය බලාපොරොත්තු වන්නාවූ නානා ප්‍රකාර ලාභයන් අතුරින් කීපයෙකි.

ආරෝග්‍යය, යෞවනභාවය යනාදියක් එකී ලාභ ගණයෙහිම වැටෙති. සම්පත් ගනයෙහි වැටෙන ඒ හැම ලාභයෝ විපතින් අවසන් වෙති. විපත් පැමිණෙත් ම ඒවා ගිය මඟවත් සොයා ගත නො හැකිය. ඤාති ලාභ-භෝග ලාභාදි වූ හැම ලාභයක්ම ලැබතොත් යෙහෙකැයි නිතොර පතමින් සිටීම සාමාන්‍ය මිනිස් ගතියෙකි. කොතෙක් ලාභ ලැබුණත් එයින් සෑහිමකට පත් නොවී තව තව ලාභ ලබමියි ලාභාපෙක්ෂාව ම ඇතිව වාසය කෙරෙයි.

කෙනෙක් දර බහාලුවන් ඒ සියල්ල පිළිගෙන, ගිනිබත් කරන්නාවූ ගිනි ගොඩක් මෙන් ද, නොහිමි දිය කඳ වැටීමෙනුද සෑහීමට පත් නොවී තව කො තරම් දිය ලැබුණත් ඒ සියල්ල පිළිගෙන තවත් ලැබෙන ඕනෑ තරමක් ගන්නට සැරසී සිටින මහ සයුරක් සේ ද, මහත් බලාපොරොත්තු ඇති පුද්ගලයා තම බලාපොරොත්තු කිසි විටෙක අඩු කර ගන්නේම නැත. සමහරෙක් කවර අපරාධයක් හෝ කොට තම ලාභය පමණක් සලසා ගනිති. කොතරම් දුසිරිතෙක යෙදී හෝ, යම් කිසිවක් බලාපොරොත්තු වෙති. ඕනෑම නීච-පහත් ක්‍රියාවක් කිරීමට ලාභාපේක්ෂකයෝ පසුබට නොවෙති.

ඔවුනට විළිබිය නොමැත. ආත්ම ගෞරවයක් නොමැත. ලාභය පමණක් ම එකම එක වශයෙන් සලකති. ලාභ නො ලැබිය යුතු සැටි ප්‍රකාශිත කොතරම් ධම්ම– නීති හා ලොක නීති ඇතත් ඒ දෙස බැලීමකුදු නොමැත. ඒ සියල්ල එසේ වනුයේ තම ලාභය පමණක් බලාපොරොත්තු වන හෙයිනි. ලාභ ලබන අය ඊට අනතුරුව “ අලාභයත් තම පසුපස එළවා එන්නේ ය ”යි බොහෝ විට නො සිතති. සැමදාම මේ ලාභ මෙසේ ම යයි උදම් වී ක්‍රියා කරති. සමහර විට ලාභ ලබා පොහොසත්ව එයින් ඉදිමී ගිය ඇතැමෙක් දුප්පත් නෑදෑයන් පමණක් නොව, දිවි පුදා මුළු දියුණුව සලසා දුන් අහිංසක දුප්පත් මහලු දෙමාපියන් ද පහත් කොට සලකති. ඔවුන් තමදෙමාපියන් බව කීමට පවා මැලි වෙති. සහෝදරා දී සෙසු ඤාතීන් ගැන ද එසේ ම ය. තමන් ආ ගිය සැටි-කෑ බිව් සැටි-ඇ¼දි පැළැඳ සැටි ගෙදර දොරේ සැටි ඈ සියල්ලම (මුල) අමතක කොට සුරපුරෙන් බට කෙනෙකු සේ සිතති. අනුන්ටත් අඟවති.

ඔහුට සහජයෙන් ලත් නෑයෝ මිතුරෝ මදි ය. තම පරපුර මදි ය. නම ගම මදි ය. සියරට නොගැළපේ. සිය රට සිරිත් විරිත් නොගැළපේ. ඔහු අලුත් නෑයන් සොයති. අලුත් මිතුරන් සොයති. අළුදු නම් ගම් සොයති. අලුත් වාසගමක් ගනිති. විසීමට අන් රටක් පවා සොයති. පාරම්පරික සිරිත් විරිත් නොගැළපී විළිබිය නසන සංකර ගති සිරිත් කරපින්නා ගනිති. ලාභයෙන් උදම්වීම නිසා මේ මහ විකාර කාරයෝ වෙති.

මෙබඳු ගති ලාභ ලබන පුහුදුන් බොහෝ දෙනෙකුන් තුළ දක්නට ලැබෙන්නේ ලාභයෙන් උඩ¼ගු වී හිස උදුම්වා ගැනීමත්, අලාභයෙන් පසුබට වී - දීන වී කනස්සලු වන ගතියත් පුහුදුන් ස්වභාවය නිසා ය. පුහුදුන් ගතිය මෙසේ වුවද කලාතුරෙකින් කෙනෙක් තමන්ගේ මුල මතක තබාගෙන උඩ¼ගු නොවී කා සමගත් ඇයි හොඳයි කියමින් නිහඩ ව ගලා බස්නා මහා ගංගාවක් මෙන් කලබල නැතිව වාසය කරති. “ගැඹුරු තන්හි ජලය කලබල නැත.” යන කීම සනාථ කරමින් වෙසෙන ඔහු දැන් සම්පත් ලැබුණත් මේ සියලු සම්පත් විනාශ විය හැකිලෙස අලාභ ද පැමිණිය හැකි බව නිති සිහි කෙරෙති. එසේ සිහිකොට ලාභයෙන් උදම් නොවන්නහුට ලොකු අලාභයක් පැමිණිය ද එයට කලබල නොවී දරාගත හැකි ය.

බුදුරජාණන් වහන්සේ තරම් පුද සත්කාර ලැබූ කෙනෙක් ලොව නැත. යම් කලෙක්හි බුද්ධරත්නය ලොව පහළ වූයේ නම් එකල්හි සදෙවක ලෝකයා අතර උසස් යයි සම්මත මිනිසුන් පමණක් නොව දෙව් බඹහු ද බුද්ධ රත්නය පිදීම ධර්මතාවයෙකි. ධර්ම ස්වභාවයෙකි. ඔවුන්ගේ ඒ සියලු පුද සත්කාර බුදුරජාණන් වහන්සේ වෙතම ඇදී එති.

එදා බුදු පුද සඳහා පැමිණි මහ පිරිස සිය දහස් ගණන් ගැල්වල සිව්පසය (චීවර-පිණ්ඩපාත සේනාසන-ගිලානප්පච්චය) පුරවාගෙන අවුත් පිදීමට ඉඩකුදු ලබාගත නොහැකි තරමට සැදැහැවතුන්ගෙන් අතුරු සිදුරු නැතිව, පැවැති බව ධම්ම දායාද සූත්‍ර අටුවාදියෙන් පෙනේ. එසේ වුව ද තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ යම්තම් දිවි පැවැත්මට අවශ්‍ය ප්‍රමාණය සලකා, එපමණක් ම පිළිගන්නා සේක. බුදුරජාණන් වහන්සේගේ යම්තම් දිවි පැවැත්මට අවශ්‍ය ප්‍රමාණය සලකා, එපමණක් ම පිළිගන්නා සේක. බුදුරජාණන් වහන්සේ දිවමන් කල්හි උන්වහන්සේට කොතරම් ලාභ ලැබුණා ද යනු අද පවා උන්වහන්සේ කෙරෙහි සැදැහැයෙන් කරනු ලබන අපමණ පුද පූජාවන් දෙස බලත්ම පහසුවෙන් වටහා ගත හැකි ය. මෙසේ ලාභයෙන් අග තැන්පත් බුදුරජාණන් වහන්සේට පවා ඇතැම් විට දිවි පැවැත්ම පිණිස යම් තම් ම්හිරි ආහාරයක් නොලද සැටි බුදු සිරිතෙන් ම අනාවරණය වන්නේ ය. වේරඤ්ජාවෙහි වස් එළැඹි සේක්, නමුදු වේරඤ්ජ බමුණා කෙරෙහි මාරාවේශය වී බුදුරජාණන් වහන්සේ වස් වසවා ගත් බව අමතක වී ගියෙන් කිසි ආහාරයක් නොලත් අනඳ මා හිමියන් අස් හලට පිඬු පිණිස වැඩම කොට අසුන්ට පිළියෙල කරන ලද ආහාර ලැබ ඒවා පිළිගැන්වූයෙන් එය වළඳා වස් තුන් මස ගෙවූ සේක. එසේම පඤ්චග්ගදායක නම් බමුණා දුන් ඉඳුල් බත් ටික වළඳා එදින ආහාර කිස නිම කළ සේක. රජගහනුවර එක් දාසියක දියෙන් අනා අල්ලේ තබා පදම් කොට, පුළුස්සා ඉන තබාගෙන ගිය ලුණු නැති රොටිය පිළිගෙන වළඳා එදින ගත කළ සේක.

පඤ්ච ශාලා බමුණු ගම්හි පිඬු සිඟා වැඩි කල්හි එගම් වැස්සනට මාරාවේශ වී තිබුණෙන් එදින කිසි අහරක් නො වළඳා වැඩ සිටි සේක. එදා ගිහිගෙයි ලොවැ තුබුණු මා හැඟි කසී සළු හැඳී පෙරැව් නමුත් බුදුව පුණ්ණා දාසියගේ මළකුණ දවටන ලද වස්ත්‍රයෙන් පිළියෙල කරැ ගත් පංශුකූල චීවරය ද දැරූ සේක. සැරියුත් මුගලන් ඈ මහසව්වන් වහන්සේ හා සෙසු රහතන් වහන්සේ ද ලාභ අලාභ දෙකට එකසේ මුහුණ දුන් සේක. රට්ඨපාල කුමරා රටක් පාලනය කළ හැකි මහත් රන්, රිදී, මුතු, මැණික් ආදි අපමණ වස්තුවෙන් හා ඥාන ශක්තියෙන්ද ආඪ්‍ය කෙනෙකි. එසේ වුවද ඒ කාම වස්තුන්හි පවත්නා නිස්සාරත්වය සලකා සිටිය හෙයින් තමන් ගිහිගෙට පොළඹ වන්නට සිතා ඉදිරියෙහි ගොඩ ගැසූ රන් අමුරන් මුතු මැණික් ආදිය ළඟ තිබෙන ගඟට විසිකරන්නටය කියා, ඒ දෙස වත් නොබලා පැවිදිවය. සිය මාලිගාවට පිඬු සිඟාවන් කල්හි එක් දැස්සක ඉවත දමන්නට ගෙන ගිය පිළුණු වූ රොටිය පිළිගෙන වළඳා තමන් වහන්සේ ලාභ අලාභ දෙකකින් කම්පා නොවන බව පැහැදිලි කළ සේක.

මහ රහතන් වහන්සේ වැනි සිවුපස ලාභයෙන් අග තැන්පත් උතුමන් අතරෙහිම කිසි දිනෙක කුස පුරා අහරක් නොලත් ලෝසක වැනි මහ රහතන් වහන්සේලා ද සිටියහ.

රහතන් වහන්සේ අවබෝධ කර ගන්නා ලද ධර්මය (රහත් බව) අනුව අහස් කුස පිරවිය හැකි තරම් ලාභ ලැබුණ ද අබැටක් සා දෙයක් නොලැබුණ ද උන්වහන්සේ තුළ කිසි කම්පාවක් - වෙනසක් පහළ වන්නේ නැත. ඒ ලාභා ලාභයෝ උන්වහන්සේ කම්පා කිරීමට නොසමත් වෙති. එහෙයින් වදාළහ.

අනේ පිඬු සිටුතුමා පමණ කළ නොහැකි මහ සම්පත් ඇතිව විසූ කෙනෙකි. දෙව්රම් වෙහෙර උදෙසාම සූපණස් කෙළෙක් ධනය වියදම් කළේ ය. දිනපතා පන්සියයක් මහ සඟනට රසමසවුලෙන් දන් දුන්නේ ය. හේ අසරණයන්ගේ දුක බලා ඔවුන්ගේ කැමැත්ත ලෙස ඔවුන්ට සංග්‍රහ කොට ඔවුනට පිහිට වූ හෙයින් ම අනාථපිණ්ඩික අනේපිඬුයි අර්ථාන්විත නමකින් පතළ විය.

මේ වැඩවලට කොතරම් වස්තුවක් අවශ්‍යවන්නට ඇද්දැයි නුවණින් සලකන්නෙකුට එය අපහසුවක් නොමැතිව තේරුම් ගත හැකිය. එතුමාට අපමණ වස්තුවක් තිබෙන්නට ඇතැයි වැටහේම ය. එහෙත් කල්යත්ම අනේපිඬු සිටුතෙමේ ඒ මහ සම්පතින් පිරිහී දුප්පත් වූයෙන් මහ සඟනට දන් දීමට නිවුඩු හාල් බතක්, කාඩි හොද්දක් පවා අමාරුවෙන් සපයා ගත් බව පෙනේ. ඒ තත්වයට වැටුණත් හේ දුක්මුසු නොවීය.

කොසොල් මහ රජු මුළු කොසොල් රටෙහි පමණක් නොව කසී රටෙහි ද ඒකාධිපති මහ රජ වුව ද අසූ වියෙහිදී අනාථව මැරෙන්නට සිදුවූයේ මහ මඟ අම්බලමක යි.

බරණැස විසූ මහ ධන සිටු පුත් තෙම අසූ කෝටි දෙකක් ධනය ඇතිව විසූ කෙනෙකි.

පසු කාලයෙහි ඒ සියලු ධනයෙන් පිරිහී හිගමනේ ගිය සැටිද සිහි කළ මනා ය. හේ කෑම ටිකක් සොයා විහාරස්ථානයට ද පැමිණියේ ය. ධර්මාශෝක අධිරාජයා අපමණ ඓශ්චර්යයෙන් යුක්තව වාසය කළ නමුත් ජීවිතතාවසානයෙහි කිසිවක් නොමැතිව නෙල්ලි පළුවකට පමණක් අධිපති වී යැයි පළව ඇත.

ලක් රජය කළ දුටුගැමුණු රජ චූලංගණී යුද්ධයෙන් පැරැද ගොස් කුස සයින් පෙළෙන කල්හි සිව් දෙනෙකුට වළඳන්නට තිබුණේ තිස්ස අමාත්‍යයා රන් තැටියේ බහාගෙන ගිය එක් කෙනෙකුට සෑහෙන බත් කොටස පමණ ය. එයත් තිස්ස නම් තෙරුන් වහන්සේට පූජා කළේය.

මෑත අතීතයේ විසූ තෙර නමක් පිඬු සිඟා වැඩිය කල්හි ලැබුණේ ඉදුණු කෙසෙල් ගෙඩියක් පමණක්ලු. විහාරස්ථානයේ විසූ ශිෂ්‍ය නමට කෙසෙල් මදය දී උන් වහන්සේ කෙසෙල් ලෙල්ල වැළඳු සේක. ලද දෙයකින් සතුටු වීම පරම ධනය කොට සලකන එවැනි උතුමන් හට කොතරම් අඩු පාඩු වුවද ලාභයෙන් පිරිහුණ ද, එය කිසි ගණනකට නොගන්නා හෙයින් පහසුවෙන් ජීවත් විය හැකිය.

ලාභාසාවේ කොනක් මිම්මක් නැති අයට ලැබෙන තාක් ලාභ ලබමින් තව තවත් නොයෙක් විදියේ ලාභ බලාපොරොත්තු වෙති. එයම සමහරෙකුට මහත් පිරිහීමක් පිණිස පවත්නේ ය. බොහෝ දෙනෙක් ලාභ සත්කාර වලින් කුල්මත් ව දෙලොව දියණුව ම වනසා ගන්නා නිසා “ දාරුණො භික්ඛවෙ ලාභ සත්කාර සිලොකො ” යි ලාභ සත්කාරයන්ගේ දරුණු බව වදාළ සේක.

දෙව්දත් තෙර ලාභ සත්කාරයෙන් කුල්මත්ව නො මඟට වැටුණු කෙනෙකි. කොපමණ ලාභ සත්කාර ලැබුණත්, ඒවා ඉවසා දරා ගන්නට බැරිව එයින් කුල්මත්ව තමන් හුවා ගනිමින්, අනුන් හෙළා දකිමින් ක්‍රියා කිරීම බොහෝ ලාභීන්ගේ ස්වභාවය නිසා, එය නො මැනවයි තේරුම් ගන්නට වටනේ ය.

ලාභාදී සැප සම්පතක්ම පවත්නේ විපත ළංවන තුරු බව යි නිති මෙනෙහි කළ යුතු ය.

විපත පැමිණෙත්ම සියලුම අය මාර්ග වැසී, සම්පත්තීන් පිරිහී අන්ත වූ දුගී අසරණ තත්වයට ඇද වැටෙන්නට පිළිවන් බව නිති සිහි කළ මනා ය. එවිට ලාභයෙන් ඉදිමී ආඩම්බරකම් පෙන්නූ අයගේ ම උපකාරයෙන් ඔහුට යම්තම් දිවි පවත්වන්නට සිදුවිය හැකිය.

සමහර කුඩා ඇලක් සුළු දියත්තකින් පිරී යන්නාක් සේ ද, ස්වල්ප ජලයෙකින් පිරවිය හැකි මීයෙකුගේ දොහොතක් සේ ද, ස්වල්ප ලාභයෙකින් ම ආඩම්බර වී අනුන් හෙළා තළා සිතති. එය නොමැනවි. ඵල ගත් රුක නැමෙන්නා සේ ලාභ ලබත් ම එයින් යුතුකම් සපුරා නිහතමානීව චාම් දිවි පෙවෙත පුරුදු කරන්නේ නම්, හේ නියම මහත්මයෙකි. ඔහුට අලාභයත් පහසුවෙන් ඉවසා ගත හැකිය. මේ ස්වභාවය තේරුම් නොගැනීම නිසා සමහරෙක් අලාභය ඉවසා දරා ගත නොහැකිව සිය දිවි පවා හානිකර ගනිති.

නිකිණි පුර අටවක

  අගෝස්තු 15 ඉරිදා පූර්වභාග 09.51 පුර අටවක ලබා 16 සඳුදා පූර්වභාග 07.45 ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 15

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]