[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ පුනර්ජීවනයට ජීවය දුන් අසහාය නායකයා

භීම්රාවෝ රාම්ජි අම්බෙඩ්කාර්තුමාගේ ආගමික පුනරුද ව්‍යාපාරය - 04:

බෞද්ධ පුනර්ජීවනයට ජීවය දුන් අසහාය නායකයා

" බෞද්ධයන් වශයෙන් අප තේරුම් ගත යුතු දෙයක් ඇත. එනම්, භාරතයේ පහළ වූ ශ්‍රේෂ්ඨත ම නරපතියෙක් වූ ධර්මාශෝක රජතුමා ද තම රාජ්‍යය පාලනය බුදුදහමේ ඉගැන්වීම්වලට අනුගතව ගෙන ගියේ ය. එමෙන් ම අම්බෙඩ්කාර්තුමා ද තම නිදහස් ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට බුදුදහමේ ඉගැන්වීම් සඳහා මූලිකත්වයක් දුන්නේ ය."


සදාචාරය ධර්මයේ සාරය යි. එය නැතිව ධර්මයක් නොපවතී. මෙම ප්‍රකාශවලින් විද්‍යාමන වන්නේ බුදුදහමේ ඉගැන්වීම් වුවත් එය තමාගේ ජීවිතයට මනාව උකහා ගැනීමට මෙතුමා සමත් වී ඇති බව ය. තවද බුදුදහමේ මෙම ඉගැන්වීම් ඒ ආකාරයට ම තම නිදහස් ව්‍යාපාරයේ ගමන් මඟ ඉදිරියට ගෙන යාමට යොදා ගත්හ.

එහිදී සමහර උගතුන් මෙතුමාගේ ඉගැන්වීම් “අම්බෙඩ්කාර් ධර්මය” වශයෙන් පෙන්වා දී ඇත. එය ගෞතමයන් වහන්සේගේ ධර්මයේ ආභාසය නිසා ය. බෞද්ධයන් වශයෙන් අප තේරුම් ගත යුතු දෙයක් ඇත. එනම්, භාරතයේ පහළ වූ ශ්‍රේෂ්ඨත ම නරපතියෙක් වූ ධර්මාශෝක රජතුමා ද තම රාජ්‍යය පාලනය බුදුදහමේ ඉගැන්වීම්වලට අනුගතව ගෙන ගියේ ය. එමෙන් ම අම්බෙඩ්කාර්තුමා ද තම නිදහස් ව්‍යාපාරය සාර්ථ කර ගැනීමට බුදුදහමේ ඉගැන්වීම් සඳහා මූලිකත්වයක් දුන්නේ ය. ඒ අනුව ධර්මාශෝක රජු සේ ම අම්බෙඩ්කාර්තුමා ද බුදුදහමේ උන්නතිය උදෙසා මහත් සේවයක් භාරතීය සමාජයට සිදු කළ පුද්ගලයෙක් වේ.

අම්බෙඩ්කාර්තුමා සැබෑ බෞද්ධ නායකයෙක් බව ඔහුගේ ක්‍රියා කලාපයෙන් මෙන් ම ඔහුගේ චින්තනයෙන් ද විශද වේ. බුදුදහමේ පෙන්වා දෙන ලෝකෝත්තර හා ලෞකික යන මාර්ග දෙකෙන් ගිහියෙක් වූ මෙතුමා ලෞකික මාර්ගය අර්ථාන්විත ව අනුගමනය කරමින් බුදුදහමේ උන්නතිය උදෙසා විශාල මෙහෙවරක් සිදු කර ඇත.

මහා නරපති අශෝක රජතුමා මෙන් ම මෙතුමා ද බුදුදහමේ සැබෑ ස්වරූපය පිළිබඳ මනා අවබෝධයකින් ක්‍රියා කළ බෞද්ධ නායකයෙකි. රටක් සමාජයක් පිරිහීමේ මුඛයට ගමන් කිරීමෙන් පසු නැවත ගොඩනැඟීමේ දී සදාචාරාත්මක ශික්ෂණයකින් යුතුව හැඩගැස්වීම කළ යුතු ය. ඒ අනුව මෙතුමා ද මුලින් ම භාරතීය සමාජය සදාචාරාත්මක අංශයෙන් දියුණු කිරීමට ක්‍රියා කරන්නට විය.

මෙයට මූල්‍යදර්ශය ගෙන දෙන්නේ බුදුදහම ය. ඒ අනුව බුදුදහමේ ආභාසය ගෙන සදාචාරාත්මක අංශයට මුල්තැන දුන් ප්‍රතිපත්තියක් ද ගොඩනඟා ගෙන ඇත. මෙසේ බැලීමේ දී මෙතුමා සමාජ සුබ සාධනය උදෙසා ම ක්‍රියා කරමින් බෞද්ධ පුනර්ජීවනයට ජීවය සපයා ඇත.

අනගාරික ධර්මපාලතුමාගේ ඉදිරි දැක්ම තුළ ඔහුගෙන් ලද ආභාසයෙන් නූතන ඉන්දීය බෞද්ධ ප්‍රබෝධයක් ඇති වූ අතර, එය තවත් ඉදිරියට ගෙන යාම සඳහා අම්බෙඩ්කාර්තුමාට හැකියාවක් ලැබුණේ ය. එහෙත් අම්බෙඩ්කාර්තුමාගේ මරණයෙන් පසුව බුදුදහම වැළඳගත් පිරිස ක්‍රමාණුකූලව අඩු වූ බවක් සංඛ්‍යා ලේඛනවල සඳහන් වේ. ඒ අනුව ආරම්භයේ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් බුදුදහම වැළඳගත්ත ද පසු කාලීනව එය සිය ගණනකට අඩු වූ බව වාර්තා වේ. එහෙත් මෙම සංඛ්‍යා ලේඛන විවාදයට තුඩුදුන් කරුණක් වූයේ එහි විශ්වාසනීයත්වය සහ වළංගුතාවය පිළිබඳ ප්‍රශ්න කිරීමට සාමාන්‍ය පුරවැසියන් දේශපාලන ක්‍රියාකාරීන් මෙන් ම උගතුන් උත්සුක වීමත් සමඟ ය. කෙසේ වෙතත් අම්බෙඩ්කාර්ගේ වියෝවෙන් පසු ඔහුගේ චින්තනය ඉදිරියට රැගෙන යාමට විද්වත් පිරිසක් බිහිව තිබුණි.

අම්බෙඩ්කාර්ගෙන් පසුව ඔහුගේ චින්තනය ඉදිරියටගෙන යාමට සංඝරක්ෂිත හිමියන් ක්‍රියා කළේ ය. මේ හිමියන් අම්බෙඩ්කාර්තුමාගේ මිත්‍රයෙකි. එහෙත් ඔහු ඉන්දීය ජාතිකයෙක් නොවීය. ඔහු බ්‍රිතාන්‍ය ජාතික ඩෙනිස් පිලිප් එඩ්වඩ් ලිංග්වුඩ් ය. ඔහු පැවිදි දිවියට පත්වීමෙන් සංඝරක්ෂිත හිමි නමින් ප්‍රසිද්ධ විය. දශක ගණනාවක් ම භාරතයේ කාලය ගෙවීමෙන් ද භාරතය පුරා දේශනා හාරසීයකට අධික ප්‍රමාණයක් පවත්වමින් ලක්ෂ සංඛ්‍යාත පීඩිත ඉන්දියානුවන් බෞද්ධයන් කිරීමට අම්බෙඩ්කාර්තුමාගෙන් පසු මේ හිමියන් ක්‍රියා කර ඇත.

ඒ අනුව සංඝරක්ෂිත හිමියන් ග්‍රන්ථ හැටකට අධික ප්‍රමාණයක් ද සම්පාදනය කර ඇත. සංඝරක්ෂිත හිමි ක්‍රි.ව.1986 රචනා කරන ලද අම්බෙඩ්කාර් සහ බුදුසමය ග්‍රන්ථය ක්‍රි.ව. 1956 පසුව බුදුසමයේ ගමන් මඟ පිළිබඳව විශේෂ කරුණු සඳහන් වූ කෘතියකි.

අම්බෙඩ්කාර්තුමාගේ සමාජ දේශපාලන චින්තනය, සමාජ මනුෂ්‍යවාදය ලෙස බොහෝ විචාරකයින් පෙන්වා දී ඇත.

ඒ අනුව ක්‍රි.ව. 1956 ආගමික පරිවර්තනය නම් වූ ක්‍රියාකාරී පිළිවෙත අයත් වන්නේ අම්බෙඩ්කාර් රාම්ජි මුකර්ජිගේ විමුක්ති අරගල ක්‍රියාත්මක කළ අවධි තුනෙන් තෙවැනි අදියරට ය.

හින්දු මහා සමාජ අනන්‍යතාවය තුළ මුදලින්වරුන් අතර වූ ප්‍රමුඛ ජීවිත කොටසකගේ ප්‍රශ්න විසඳීමට ඔහු ගත් උත්සාහය ප්‍රථම අවධිය යි. එය සමාජ ප්‍රතිසංස්කරණවලදී වඩාත් කැපී පෙනෙන්නට විය.

දෙවනුව ඉන්දීය කම්කරු පක්ෂය පිහිටුවමින් මැතිවරණය ඔස්සේ ප්‍රාන්ත රාජ්‍ය, මධ්‍යම රජයේ දේශපාලන ක්‍රියාවලීන් සමඟ සෘජුව ම සමගාමී කර ඊට මැදිහත් වෙමින් හා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඔස්සේ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම ය. තෙවැන්න වූයේ ආගමික ප්‍රතිසංස්කරණය යි.

නිකිණි පුර අටවක

  අගෝස්තු 15 ඉරිදා පූර්වභාග 09.51 පුර අටවක ලබා 16 සඳුදා පූර්වභාග 07.45 ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 15

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]