[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුන්ගේ දුර්ගුණ තමන් වෙතට ගන්නේ ඇයි?

අනුන්ගේ දුර්ගුණ තමන් වෙතට ගන්නේ ඇයි?

මංගල සුත්‍රයෙහි විසිහත්වැනි මංගල කරුණ ලෙසින් දක්වා ඇත්තේ “ඛන්ති”ය. එනම්, ඉවසීමයි. ඉවසීම පාරමිතාවකි.

බෝසතාණන් වහන්සේ මහාකපි ජාතකයේ දී වානරයෙක් ව ඉපදී වලක වැටී සිටි මිනිසකුට එම වලෙන් ගොඩ එන්නට උදව් කළහ. මේ නපුරු මිනිසා වඳුරා මරා කන්නට සිතා වඳුරාගේ හිසට ගලකින් ගැසීය. ලේ ගලන හිස ද එක අතකින් අල්ලාගෙන කැලයේ අතරමං වූ ඒ පාපී මිනිසාට ගමකට යෑමට වඳුරා අත්තෙන් අත්තට පනිමින් පාර පෙන්වීය.

මේ ඉවසීම හා කරුණාවයි.

ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ උතුම් වූ බුදු සිරිතෙන් අපට ඉවසීම මැනවින් දැකගත හැකිය. ගිහිකල තම එකම පුතු වූ රාහුලටත්, තමන් වහන්සේට අපමණ කරදර පීඩා කළ දේවදත්ත තෙරුන්ට ද, තමන් වහන්සේ මරණයට පත්කිරීමට පිටුපසින් එළවා පැමිණි අංගුලිමාලට ද, තමන් වහන්සේ නැසීමට පැමිණි ධනපාල නම් හස්ති රාජයාට ද එකහා සමාන කරුණාව සහ මෛත්‍රීය දැක්වූහ.

ඔබත් ඔබගේ පරිසරයට මහත් සේ හිතවන්ත වන්න. ඉවසීමේ ගුණයෙහි ඇති මානුෂික ශ්‍රේෂ්ඨත්වය නුවණින් විමසන්න. අපේ සිත නිතර වෙනස් වේ.එහෙත් ළාමක වචන නො කියන්නෙමු. හිතානුකම්පීව මෙත් සිත් ඇතිව ද්වේෂයෙන් තොරව වාසය කරන්නෙමු. අපට වෛර කරන්නා වූ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී සහගත සිත් පතුරුවා ජීවත්වෙමු. ඒ වෛර නැති, තරහ නැති මෘදු සිත පතුරුවා ජීවත්වෙමු යන සිතිවිලි ඇතිකර ගනිමු.

ඉවසීම, තරහ සිතින් තොරව , වචනයෙන් සහ ක්‍රියාවෙන් ටිකෙන් ටික පුරුදු කළ යුතුය. ඉවසීම නැති නිසා මෙලොව ජීවිතයේ සියලු විනාශයන් ද මරණින් මතු දුගතිගාමී බවට ද පත් වූ බොහෝ පිරිසක් සිටී.

ඉවසීම නැති තැන වෛරය, ක්‍රෝධය සහ තරහව මතු වන්නට පටන් ගනී. ක්‍රෝධයට

පත්වන තැනැත්තා හොඳ නරක තේරුම් නොගනී. යහපත අයහපත නොපෙනේ. තරහවෙන් කිපුණු පුද්ගලයාට ධර්මය, අධර්මය නොපෙනේ. ඉවසීමෙන් බැහැරව කිපුණු පුද්ගලයා තම ස්වාමි දියණිය, මව්පියන්, දරුවන් අසරණ පුද්ගලයන් මරණයට පත් කළ අවස්ථා අපේ රටේ බොහෝ තිබේ. සමහර තැනකදී පවුලේ සියලු දෙනාට ම වද දී විනාශ කළ අයුරු ඔබ අසා ඇත. දැක ඇත.

ඔහු එම අපරාධයන් කරනු ලැබුවේ කුමක් වෙනුවෙන් ද? මේ අනිත්‍ය වූ ලෝකයේ කෙදිනක හෝ අත්හැර යන්නට සිදුවන ඉඩ කඩම් වෙනුවෙනි. නැතිනම් මිල මුදල් වෙනුවෙනි. එසේ නැතිනම් ගේ දොර වෙනුවෙනි. ඉවසීම නැති තැන හටගත් පාපී සිතක විනාශකාරී බලය හා ශක්තිය ගැන ඔබ නුවණින් සිතා බලන්න.

“බකමූණාට දහවල් කාලයෙහි ඇස් නොපෙනේ. කපුටාට රාත්‍රී කාලයෙහි ඇස් නොපෙනේ.

ලෝභ, ද්වේෂ, මෝහයෙන් යුතු පුද්ගලයාට රාත්‍රි හා දහවල යන කාල දෙකේ දී ම ඇස් නොපෙනේ“. මෙවැනි පුද්ගලයා කෙසේ නම් සීල, සමාධි, ප්‍රඥා ගුණ වඩන්නේ ද? “එලොවටත් නැති මෙලොවටත් නැති මහා පව්කාරයෙක්“ හැටියටයි සාමාන්‍ය සමාජය ඔහු හඳුන්වන්නේ.

මේ ලෝකයේ දෙදෙනෙක් කිසිවිටකත් එක හා සමාන නොවෙති. යම් විටක පෙනුමෙන් එක හා සමාන විය හැකිය. ඒත් අදහස්වලින් සහ චරිත ලක්ෂණවලින් වෙනස් ය. එකම මවකගේ කුසින් බිහි වූ දරුවන් අතර පවා විවිධ වූ චරිත ස්වභාවයන් පවතී. විවිධ වූ හැඟීම් හා අදහස් තිබෙන අය අතර වෙසෙන විට සියලු දේ ම එක හා සමාන ආකාරයට නොපවතී.

එනම් සිතිවිලි, කතා කරන ආකාරය සහ හැසිරීම විවිධ විය හැකිය. ස්වාමියා සහ බිරිඳ අතර ද, මව්පියන් සහ දරුවන් අතර ද, සොහොයුරු සොහොයුරියන් අතර ද ආදී වශයෙන් තම පවුල තුළින් හඳුනා ගත හැකි ය.

මේ ලෙසින් බලන විට ජීවත්වන පරිසරයේ ද විවිධ වෙනස්කම්වලින් යුතු පිරිස් සිටිති.

මඟතොට ද, කාර්යාලය ද, පාසල හෝ පූජනීයස්ථානය ද විය හැකි ය. මෙම විවිධ වූ සිතුම් පැතුම් සහ චරිත ලක්ෂණ නිසා නොගැළපීම් සහ කැමති අකමැති වශයෙන් සෑම දෙයට ම මුහුණ දීමට සෑම කෙනෙකුට ම සිදුවේ. මේ ආකාර වූ අකමැත්ත හෝ නොගැළපීම ඉදිරියේ තරහට ම පත්නොවී, ක්‍රෝධ, වෛර නොකර ඉවසීම පුරුදු කිරීම උතුම් ගුණයකි. එය තමන්ට යහපතකි.

වත්මන් සමාජයේ බොහෝ දෙනා කටයුතු කරන්නේ 'ගැහුවොත් ගහනවා, බැන්නොත් බනිනවා' යන ආකල්පයෙනි. වඩා ඉවසීමෙන් තමාට, තම දරු පවුලට මව්පියන්ට, තමා මෙතෙක් දුර රැකගෙන ආ ගුණයට එනම් තමාගේ ස්වභාවයට, මනුස්සකමට ඇතිවන යහපත ගැන සිතා බලන ලෙසයි ආරාධනා කරන්නේ.ධර්මයෙහි පැහැදිලි කරන්නේ සා පිපාසාව, බඩගින්න, කායික මානසික පීඩා, ඇනුම් බැනුම්, නපුරු වචන, සීත, උෂ්ණ, මැසි මදුරු, සර්ප ආදී පීඩා පවා ඉවසීමට තරම් ශක්තියක් අප තුළ ඇති කර ගත යුතු බවයි.

සොබා දහමෙන් ඇතිවන පීඩාවන් හි දී පවා ඉවසීම පුරුදු කළ යුතු ය. එමඟින් තමාට සිදුවන හානියෙන් ආරක්ෂා වී සිත සන්සුන් ව පවත්වා ගැනීමට හැකි බවය. අව්ව, වැස්ස, පින්න, සීතල සමඟ අමනාපවීමෙන් හෝ කේන්ති ගැනීමෙන් තේරුමක් තිබේ ද? මේවාට දොස් කියමින් තම ශරීරයේ ලේ ධාතුව විනාශ කර ගන්නා අය සමාජයේ මොන තරම් අතර සිටිනවා ද?

තම තමන්ගේ සිත ගැන සිතා බලන්න.

තථාගත බුදුරජාණන් වහන්සේ ඉවසීමේ ගුණයේ අනුසස් පහක් පෙන්වා දී ඇත.

* ඉවසිලිවන්තයා බොහෝ අයට ප්‍රියශීලි කෙනෙක් වේ.

* ඔහුට හිත මිතුරන් බොහෝ සේ ඇතිවෙයි.

* වැරදි, අඩුපාඩු අඩු අයෙක් වෙයි.

* සිහිනුවණින් යුතුව මරණයට පත්වීමට හැකිවෙයි.

* මරණින් මතු සුගතිගාමී වෙයි.

කවර නම් අවස්ථාවක දී, වෙලාවක දී ඉවසීමෙන් ඔබ ලද සැනසීමක් වේ නම්, එයම සිතා බලන්න. නැවත නැවතත් එය පුරුදු කරන්න.

“සුනඛයෙක් පුද්ගලයකුගේ පාදය සපා කෑවොත්, එම පුද්ගලයා සුනඛයාගේ පාදය සපා කන්නේ නැත.“ සමාජයේ යම් මනුෂ්‍යයෙක් නපුරු සහ නො ඉවසන බව සැබෑවකි. එසේ කියා එම මනුෂ්‍යයන්ගේ දුර්ගුණ අප වෙත කැඳවා ගත යුතු නැත.

නිකිණි පුර අටවක

  අගෝස්තු 15 ඉරිදා පූර්වභාග 09.51 පුර අටවක ලබා 16 සඳුදා පූර්වභාග 07.45 ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 15

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]