[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භික්ෂූන් වහන්සේගේ සන්සුන් ඉරියව් ශ්‍රද්ධාවට හේතුවක්

භික්ෂූන් වහන්සේගේ සන්සුන් ඉරියව් ශ්‍රද්ධාවට හේතුවක්

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මැලේසියාවේ ප්‍රධාන සංඝනායක මැලේසියාවේ මහාකරුණා බෞද්ධ පදනමේ අධ්‍ය‍ක්ෂ බූටාවත්තේ ශී‍්‍ර සරණංකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

විශිෂ්ට ධර්මදූත ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ජාත්‍යන්තරය තුළ පවා චිරප්‍රසිද්ධ ඔබ වහන්සේ ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනඟා ගනිමින් විදේශ ධර්මදූත කටයුතු සිදුකරන ආකාරය සාකච්ඡාවට භාජනය කරමින්ම සාකච්ඡාව ආරම්භ කරමු අපේ නායක හාමුදුරුවනේ,

බෞද්ධ ලෝකය තුළ දේශීය හා විදේශීය වශයෙන් විශාල ශාසනික කාර්යභාරයක නියැළෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් වැඩ සිටිනවා. ඒ අතර අපිත් අපට පුළුවන් ශක්ති ප්‍රමාණයට අනුව යම් වැඩ කොටසක් සිදුකරගෙන යනවා. මම 1981 වර්ෂයේදී මැලේසියාවට වැඩම කරනු ලැබුවත් 1983 වර්ෂයේදී ස්ථිර වශයෙන් අඛණ්ඩවම එරට තුළ වැඩ සිටීමට වැඩම කරනු ලැබුවා. Sri Lanka Buddhist Temple නමින් එක ගොඩනැඟිල්ලක් පමණක් තිබුණ කුඩා විහාරස්ථානයක් තිබුණා. 1983 වර්ෂයේ සිට මේ දක්වා විහාරස්ථානයට අවශ්‍ය විහාරාරාංග ඉදිකරමින් අඛණ්ඩව ආගමික කටයුතු සිදුකරගෙන ආවා. විවිධ බෞද්ධ අබෞද්ධ සංවිධාන සමඟ කටයුතු කිරීම නිසා ජාත්‍යන්තර ය සමඟ සමීපව කටයුතු කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.

සුපේශල ශික්ෂාකාමී යතීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් ඔබ වහන්සේට මේ තරම් සාර්ථක දිගු ගමනක් යාමට ශක්තිය ලැබුණේ කොහොමද නායක හාමුදුරුවනේ,

සංසාරගත පුණ්‍ය ශක්තිය අනුව 1960 වර්ෂයේදී බූටාවත්තේ සරණංකර යන උතුම් ශාසනික නාමයෙන් ප්‍රවෘඡ්‍යාභාවය ලබාගෙන හිඟුල පුරාණ රජමහා විහාරස්ථානයේ මූලික පිරිවෙන, කොළඹ ශී‍්‍ර ලංකා විද්‍යාලය, කොළඹ හුණුපිටිය ගංගාරාම ශී‍්‍ර ඤාණේශ්වර පිරිවෙන යන විද්‍යායතන තුළින් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය සිදුකළා. ගෝණදෙණියේ සුමනජෝති නායක මා හිමිපාණන් වහන්සේත්, මාදිලිගම ස්වර්ණජෝති නායක හිමිපාණන් වහන්සේත් මගේ ගුරු හාමුදුරුවන් වහන්සේලා වශයෙන් කටයුතු කළ බවත් ගෞරව පූර්වකව සිහිපත් කළ යුතුයි. ඒ වගේම මම උපසම්පදාවීමේ සිටම ගුරු හාමුදුරුවන් වහන්සේ වශයෙන් කටයුතු කළ කොළඹ තලංගම කොස්වත්ත සිරි නන්දාරාමාධිපතිව වැඩ සිටි පිටිපන සිරි සුමන නායක හාමුදුරුවන් වහන්සේත් මගේ පැවිදි ජීවිතයට විශාල ආලෝකයක් වුණා. පිරිවෙන් අධ්‍යාපනය ලබන අවධියේදී දානය පවා පිළියෙළ කර දෙමින් , අවවාද අනුශාසනා ලබාදෙමින් උන්වහන්සේ ලබාදුන් ශක්තිය ආශිර්වාදය මගේ පැවිදි ජීවිතයට විශාල ශක්තියක් ලබාදුන් බවත් පුණ්‍යානුමෝදණා පූර්වකව සිහිපත් කළ යුතුයි. ඒ වගේම ගුරු හාමුදුරුවන් වහන්සේලා ලබාදෙන අවවාද අනුශාසනා පිළිගනිමින් , උන්වහන්සේලාට කීකරුව කටයුතු කිරීම නිසා ම උතුම් පැවිදි ජීවිතයකට පුණ්‍ය ශක්තිය ලැබුණා. ඒවගේම මාදිලිගම ස්වර්ණජෝති නායක හිමිපාණන් වහන්සේ, මල්වතු මහා විහාරවාසී විනයාචාර්ය වෑ උඩ දේව රක්ඛිත නායක හිමිපාණන් වහන්සේ, මල්වතු විහාරවාසී පින්නවල ශී‍්‍ර ධීරානන්ද චන්ද්‍රජෝති නායක මා හිමිපාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නය වෙතින් මල්වතු මහා විහාර උපෝෂථාගාරයේදී අධිශීල සංඛ්‍යාත උත්තරීතර උපසම්පදා පුණ්‍යකර්මය සිදුකළ බවත් ප්‍රකාශ කළ යුතුයි.

දේශීය හා විදේශීය වශයෙන් සිදුකරනු ලබන ජාතික ආගමික සාමාජික සේවය පිළිබඳව සඳහන් කරනවා නම්,

වසර විස්සක විසිපහක කාලයක සිට දුර බැහැර පළාත්වල පිරිවෙන් අධ්‍යාපනය ලබන 500 ක 2500 ක ප්‍රමාණයක පොඩි හාමුදුරුවන් වහන්සේලා එකම ස්ථානයකට වැඩම කරවමින් උන්වහන්සේලාගේ පැවිදි ජීවිතය උදාරත්වයෙන්, පූජනීයත්වයෙන් යුතු ධර්මකාමී, ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේ නමක් වීමේ වැදගත්කම දැනෙන ආකාරයට මඟ පෙන්වීමක් සිදුකරනු ලබනවා. හොඳ අධ්‍යාපනයක් ලැබුවොත්, ධර්මධරව, විනයධරව, හැසිරුණොත් ලෝකය තුළ කිසියම් දෙයක් කළ හැකිබව අවබෝධ කරවීමට සැමවිටම උත්සාහ කරනවා. වාර්ෂිකව ලංකාව තුළ පොත් ප්‍රදර්ශන පවත්වමින් බෞද්ධ විෂයයට අමතරව, ආදර්ශවත් විවිධ චරිත කතා,පෞරුෂ වර්ධනය වන පොත් ඇතුළත් ලක්ෂ දහයක පහළොවක් වටිනා ග්‍රන්ථ ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයාදීමට කටයුතු කරනවා. ඇමෙරිකන් මිලියන හතර හමාරක වියදමින් දෙල්ගොඩ මහමෙවුනා බෞද්ධ විද්‍යාලය ඉදිකිරීමට කටයුතු කළා. අවසාන වශයෙන් 2019 වර්ෂයේදී දුරබැහැර පළාත්වල පොඩි හාමුදුරුවන් වහන්සේලා අරලියගහමන්දිරයටත් පසුව කඩුවෙල මහමෙව්නා මධ්‍යස්ථානයටත් වැඩම කරමින් දානය පිළිගැන්වූවා වගේම නිහතමානීව තමන්ගේ චරිතය ආදර්ශවත්ව ගොඩනඟා ගැනීමට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ප්‍රායෝගිකව උන්වහන්සේලා ට කිසියම් මඟ පෙන්වීමක් ලබා දුන්නා. ප්‍රාචීන, ප්‍රාරම්භ, පිරිවෙන් අවසාන විභාග සමත් භික්ෂූන් වහන්සේලාට ලැබෙන නිවාඩුව අනුව සති දෙක තුනක කාලයකට මැලේසියාවට වැඩම කරවා ගනිමින් ධර්ම දැනුම ප්‍රායෝගිකරණය කිරීමේ වැදගත්කම පෙන්වාදීමට කටයුතු කිරීම තුළ විශාල වෙනසක් දකින්න ලැබෙනවා. කොවිඩ් වසංගතය නිසා අධ්‍යයන කටයතු අවම මට්ටමකින් සිදුකෙරුණු දුෂ්කර පිරිවෙන් සඳහා පරිගණක ඇතුළු අන්තර්ජාල පහසුකම් සිප් දිරිය - සුහුරු අත්වැල පරිගණක ප්‍රදානය නමින් ලබාදීමට කටයුතු කළා.

ඒ වගේම වසර 22ක් පුරා අඛණ්ඩව වසරකට දෙතුන් වතාවක් විවිධ පළාත්වල අධ්‍යාපනය ලබන පාසල් දරුවන් 8000 සිට 15000 දක්වා පමණ පිරිසකගේ අධ්‍යාපන කටයුතු නඟා සිටුවීමේ අරමුණ පෙරදැරිව පාසල් පොත්පත් උපකරණ, ඇඳුම් ,සපත්තු බෑග් ආදී කළමනා වාර්ෂිකව ලබාදීමට කටයුතු කළා වගේම දුෂ්කර පළාත් තුළ වැසීමට ගිය පාසල් ඇතුළුව පාසල් 6ක පමණ ප්‍රමාණයක් ඉදිකිරිමටත්, විහාරස්ථාන ඉදිකිරීමටත් කටයුතු කර තිබෙනවා. ඒ වගේම නිවාස 30 ක් පමණ ඉදිකර ලබාදී තිබෙනවා. එම කටයුතු තවදුරටත් ඉදිරියට කරගෙන යනවා. ලංකාවේ කාසල් කාන්තා රෝහලට පී. සී . ආර් යන්ත්‍රය ඇතුළුව රෝහල් 27 කට පමණ අවශ්‍ය වන වෛද්‍ය යන්ත්‍ර,වෛද්‍ය උපකරණ විශාල වශයෙන් ලබාදීමටත් කටයුතු කළා. Abbott of sri lanka Buddhist temple (sri jayanthi Association) Sentul,Kualalumpur, Malaysia , Founder and Spiritual Advisor to Maha Karuna Buddhist Society, Chairman of Yayasan Maha Karuna , Patron of the sri saranankara Foundation in sri lanka , Bootawatte Saranankara Thro Trust Fund, සිරි සරණංකර ද්විභාෂා ධර්මදූත මූලික පිරිවෙන ආදී දේශීය හා විදේශීය බෞද්ධ සංවිධාන සමඟ සම්බන්ධව විශාල ශාසනික කාර්යභාරයක නියැළීමට කටයුතු කරනවා.

ලෝක බෞද්ධ ජනතාව අතර ගෞරවාදරයට පාත්‍ර වූ ධර්මධර විනයධර ස්වාමීන් වහන්සේ නමක් වශයෙනුත්,මැලේසියාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ වශයෙනුත් ලබාගත් දැනුම් සම්භාරය අනුව විදේශ ධර්මදූත සේවයේ නියැළීමට බලාපොරොත්තු වන අපේ ස්වාමීන් වහන්සේලාට ලබා දෙන උපදෙස් මොනවගේද?හාමුදුරුවනේ,

ධර්මය පිළිබඳව තිබිය යුතු දැනුම වගේම භාෂා දැනුමත් ඉතාමත් අවශ්‍යයයි. ඒ වගේම භික්ෂූන් වහන්සේ නමක් භික්ෂුවකට ගැලපෙන සන්සුන් ඉරියව් පවත්වාගෙන යා යුතුමයි. නිහතමානීවීම, නම්‍යශීලිවීම ඉතාම වැදගත්. භික්ෂූන් වහන්සේනමකගේ සන්සුන් ඉරියව් ශ්‍රද්ධාව වැඩිවීමට හරිම වැදගත්. ස්වාමීන් වහන්සේ සිදුකරනු ලබන සුවිසල් කාර්යභාරයට වඩා පොඩි අඩුපාඩුවක් වරදක් තිබෙනවා නම්, එය සමාජ මාධ්‍යජාලා හරහා වේගයෙන් පැතිරී යනවා. ලංකාවේ තරුණ භික්ෂූන් වහන්සේලා මාධ්‍ය සඳහා කතා කිරීමේදී විශේෂයෙන් සන්සුන්ව යහපත් වචන කතා කිරීම අවශ්‍යයයි.

ඇතැම් අවස්ථාවල පොඩි අඩුපාඩු සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් ප්‍රදර්ශනය කරනවා. නමුත් ඇතැම් විට වැරැදි දේවල් ප්‍රචාරය කිරීමෙන් වැරැදි ප්‍රතිරූපයක් ගොඩනැගීම විශාල හානියක්. කල්පනා නොකර කතා කළොත් ශාසනයටත් ලොකු හානියක් සිදුවෙනවා. එම නිසා කරුණාව, මෛති‍්‍රය පෙරදැරි කරගෙන සිවුරට ගැලපෙන කතා ශෛලියකින් යුතුව සන්සුන් ඉරියව් පවත්වාගන යාමෙන් ශ්‍රද්ධාව බලවත් වෙනවා.

නිකිණි පුර අටවක

  අගෝස්තු 15 ඉරිදා පූර්වභාග 09.51 පුර අටවක ලබා 16 සඳුදා පූර්වභාග 07.45 ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 15

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]