[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංගුත්තර නිකාය 1 - විරියාරම්භ වර්ගය අංක 07

අංගුත්තර නිකාය 1 - විරියාරම්භ වර්ගය අංක 07

අනුක්‍රමික සූත්‍ර අංකය - 61

විරියාරම්භ සූත්‍රය

මහණෙනි, යමක් හේතුකොටගෙන නූපන්නාවූ කුසල් දහම් ඉපදීමටත්, උපන්නාවූ අකුසල් දහම් පිරිහීමටත් හේතුවන වීර්යාරම්භය වැනි අන් එක දහමකුදු මම නොදක්මි. මහණෙනි, පටන්ගන්නා ලද වීර්යය ඇත්තහුට නූපන්නාවූ කුසල් දහම් උපදිත්. උපන්නාවූ අකුසල් දහම් පිරිහෙත්.

අනුක්‍රමික සූත්‍ර අංකය - 62

මහිච්ඡ සූත්‍රය (සෑහීමකට පත්නොවන)

මහණෙනි, නූපන්නාවූ අකුසල දහම් ඉපදීමටත් උපන් කුසල් දහම් පිරිහීමටත් හේතුවන මේ මහේච්ඡතාව (මහත් ආසාව) හා සමාන අන් එක දහමකුදු මම නොදක්මි. මහණෙනි, මහේච්ඡ පුද්ගලයාට නූපන් අකුසල දහම් උපදියි. උපන් කුසල් දහම් පිරිහෙයි.

අනුක්‍රමික සූත්‍ර අංකය - 63

අප්පිච්ඡ සූත්‍රය (අලෝභි බව)

මහණෙනි, යමක් හේතුකොට ගෙන නූපන්නා වූ ද කුසල ධර්මයෝ උපදිත් නම්, උපන්නා වූ අකුසල ධර්මයෝ පිරිහෙත් නම් අල්පේච්ඡතාව (ආසා අඩුබව) බඳු අන් එක ධර්මයකුදු මම නොදක්මි. මහණෙනි, අල්පේච්ඡයා හට නූපන්නාවූ කුසල ධර්මයෝ උපදිත් උපන්නාවූ ද අකුසල ධර්මයෝ පිරිහෙත්.

(ඉච්ඡා (ආශාව) සතරෙකි.

අනිච්ඡතා - තමන් ලැබූ ලාභයෙහි නොසෑහී අනුන් ලැබූ දේට (ඉක්මවා) ආසා කිරීම.

පාපිච්ඡතා - පාප ඉච්ඡාව, පිළිගැනීමෙහි පවිටු ආසාව එකම කැවුම් බඳුනෙන් බෙදූ, තමා ලැබූ කැවුමෙහි අඩු පාඩු දැකීම. (කුඩාය, පිළිස්සීම ආදී)

මහිච්ඡතා - ලද දෙයින් සතුටු නොවන අධික ආසා ඇති බව. මේ සඳහා නැතිගුණ පෙන්වමින් බොහෝ පවුද කරගනී. මහත් ලාභ පැතීම.

අප්පිච්ඡතා - ආසා අඩුබව, ලදදෙයින් සතුටුවන, පිළිගැනීමෙහි පමණ දන්නා පවත්නා ගුණ සඟවන ස්වභාවය, උදා. මහරහතන් වහන්සේලා. (අටුවා ඇසුරෙනි)

අනුක්‍රමික සූත්‍ර අංකය - 64

අසන්තුට්ඨ සූත්‍රය

මහණෙනි, යම් ලද දෙයින් සතුටු නොවන බවක් හේතු කොටගෙන පෙර නූපන්නා වූ අකුසල ධර්මයෝ උපදිත් නම් උපන්නා වූ කුසල ධර්මයෝ පිරිහෙත් නම්, මහණෙනි ලෝභය වැනි අන් එක ධර්මයකුදු මම නොදක්මි. මහිණෙනි, ලද දෙයකින් සතුටු නොවන්නාහට (අසන්තුට්ඨ) නූපන්නාවූද අකුසල ධර්මයෝ උපදිත් උපන්නා වූ කුසල ධර්මයෝ පිරිහෙත්.

අනුක්‍රමික සූත්‍ර අංකය - 65

සන්තුට්ඨි සූත්‍රය (සතුටු බව)

මහණෙනි, යමක් හේතුකොට ගෙන නූපන්නාවූද කුසල ධර්මයෝ උපදිත් නම්, උපන්නාවූ අකුසල ධර්මයෝ පිරිහෙත් නම් මහණෙනි, ලද දෙයින් සතුටු බව (අලෝභය) බඳු අන් එක ධර්මයකුදු මම නොදක්මි. මහණෙනි, ලද දෙයින් සතුටු වන්නා හට (සන්තුට්ඨි) නූපන්නා වූ කුසල ධර්මයෝ ද උපදිත්, උපන්නාවූද අකුසල ධර්මයෝ පිරිහෙත්.

උපකාරක අටුවා සටහන්

සන්තුට්ඨිකා යනු මෙහි අලෝභ සංඛ්‍යාත සතුටයි. (මෙසේ සතුටුවන පුද්ගලයකු ඇසුරු කරන, භාජනය කරන, ආශ්‍රය කරන තැනැත්තාට ද මේ සතුට සමීප වේ.) මෙහිලා ත්‍රිවිධ සතුටක් ඇත. ඒවා ලැබීම් හෙවත් ප්‍රත්‍යය (සිවුපසය) මුල් කොට වෙන් වෙන් වශයෙන් දක්වති.

යථාලාභ සන්තෝෂය

වටිනා හෝ නොවටිනා ප්‍රත්‍යය ලැබුණු විට එයින් සතුටු වීම. අනෙකක් නොපැතීම.

යථාබල සන්තෝෂය පියවියෙන් කය දුබල වූයේ හෝ ලෙඩ වූයේ හෝ වටිනා ගරු සිවුරක් ලැබ පොරවන්නේ වෙහෙස කර වේ ද එය සලකා සහවාසා භික්ෂුවක් සමඟ එය මාරුකොට ගෙන නොවටිනා ලඝු සිවුරක් ලැබ එයින් සතුටු වීම මෙයින් අදහස් වේ.

යථා සාරුප්‍ය සන්තෝෂය මහත් වටිනා ප්‍රත්‍යයක් (සිවුපසයෙන් එකක් හෝ එයට වැඩි) ලැබ මෙය වටින්නේ මට නොව වැඩිහිටියකුට බහුශ්‍රැතයකුට ගිලන් අයකුට, අල්ප ලාභියෙකුට ආදී වශයෙන් සලකා එවැන්නකුට පිරිනමා තමා ස්වල්ප දැයකින් යැපෙමින් ලබන සතුට මෙහි අදහස් කෙරේ.

අනුක්‍රමික සූත්‍ර අංකය - 66

අයොනිසොමනසිකාර සූත්‍රය

මහණෙනි, යමක් හේතුකොට ගෙන නූපන්නාවූ ද අකුසල ධර්මයෝ උපදිත් නම්, උපන්නාවූ ද කුසල ධර්මයෝ පිරිහෙත් නම්, මහණෙනි, නුනුවණින් මෙනෙහි කිරීම අයොනිසො මනසිකාරය) වැනි අන් එක ධර්මයකුදු මම නොදක්මි. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නා හට නූපන්නාවූද අකුසල ධර්මයෝ උපදිත්. උපන්නා වූ ද කුසල ධර්මයෝ පිරිහෙත්.

ඇසළ අව අටවක

 ජුලි 31 සෙනසුරාදා පූර්ව භාග 05.40 අව අටවක ලබා පසුදා පූර්වභාග 07.56 ගෙවේ. සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 31  

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

Full Moonපසළොස්වක

අගෝස්තු 22

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]