[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කවරයේ කතාව

කවරයේ කතාව

සැවැත් නුවර ධනවත් එහෙත් මසුරු බමුණෙක් විය. ඒ අදින්නපුබ්බක ය. ඔහුට පුතෙක් විය. පුතුට කුන්ඩලාභරණ සාදා දිය යුතු වූ ව ද කුන්ඩලාභරණ සාදන්නෙකුට දුන් විට එයට වියදම් යැයි සිතූ අදින්නපුබ්බක බමුණා, රන් කැබැලි ගෙන කපා තලා කුන්ඩලාභරණ දෙකක් තැනුවේ ය. එය පැළැඳී දරුවා මට්ටකුණ්ඩලී නමින් ප්‍රකට විය.

සොළොස් වියට පත් මට්ටකුණ්ඩලීට පාණ්ඩු රෝගය වැළැඳුණි. අදින්නපුබ්බක තම දරුවාගේ රෝගී බව දුටුවත් වියදම් වේ යැයි බියෙන් කිසිදු වෙදකු ගෙන්වූයේ නැත. අසාධ්‍ය වූ මට්ටකුණ්ඩලී මරණ මඤ්චකයට පැමිණියේ ය.

මට්ටකුණ්ඩලී බැලීමට පැමිණෙන අයට ගේ තුළ ඇති ධනය පෙනේ යැයි සිතූ අදින්නපුබ්බක බමුණා මරණාසන්න වූ සිය පුතු ගෙයින් පිටත ගෙයි පිල් කඩෙහි ඇඳක් මත සැතැප්පීය. එදින අලුයම්හි මහ කුළුණු සමවතින් ලොව බලා වදාරණ බුදුරජාණන් වහන්සේ මට්ටකුණ්ඩලී දුටුවහ. ඔහු සිටිනා නිවස සමීපයට බුදුරජාණන් වහන්සේ වැඩි සේක. මට්ටකුණ්ඩලී බුදුරජාණන් වහන්සේ දැක සිත පහදවා ගත්තේ ය. එයින් නොබෝ වේලාවකින් මරණයට පත් දරුවා දෙව්ලොව උපන්නේ ය.

අදින්නපුබ්බක පුතුගේ මළ සිරුර ආදාහන කළ භූමියට ගොස් සෑම දවසෙහි පුතුගේ නම කියා හඬන්නේ ය. මට්ටකුණ්ඩලී දෙව් පුත් ද තමා දෙව් ලොව උපදින්නට හේතුව බලන්නේ ය. සිය පියා මසුරු බැවින් තමාට වෙදකම් නො කර මළ පසු සොහොනේ හඬ‍ා ඇවිදී යැයි ද, බුදුරජාණන් වහන්සේ කෙරේ ප්‍රසාදයෙන් තමාට දෙව් සැප ලැබුණේ යැයි ද දිටී ය.

දෙව් පුතු අදින්නපුබ්බක බමුණා හඬා ඇවිදින සොහොනෙහි පැත්තක පළමු මට්ටකුණ්ඩලී වේශයෙන් ම සිට හඬන්නට විය.

බමුණු ඔහු දැක කුමට හඬයි දැයි ඇසී ය. තමාට රථයක් ලැබුණු බවත් එයට රෝද දෙකක් නැති හෙයින් හඬන බවත් කීය. එවිට සිය පුතුගේ රූපකාය ඇති ඒ තරුණයා කෙරෙහි ආදරයක් ඇති විය. එසේ හෙයින් වුවමනා පරිදි වූ රිය සක් දෙකක් රිදියෙන් හෝ රනින් වූව ද කරවා දෙන්නම් ‍නො හඬන්න යැයි කීය.

රෝගයෙන් පෙළුණු සිය පුතුට ධනය වියදම් වේ යැයි වෙදකමක් නොකර තම පුත්‍ර වේශයෙන් ආවකු කෙරෙහි දැන් සෙනෙහෙ පා මෙසේ කියයි. මොහුට

නිග්‍රහකොට වරද පෙන්වා දෙමැ’යි දෙව් පුත් සිතීය. එසේ සිතා තමාගේ රථයට අන් කිසි රෝදයකින් අර්ථයක් නැති බවත්, රිවි සඳු දෙදෙනා ම සුදුසු වූ රෝද බවත් කීය.

එවිට බමුණා රිවි සඳ නො ලද හැකි බවත්, එය පැතීම මෝඩකමක් බවත් කීය.

දෙව් පුත් තෙම මේ රිවි සඳු ඈත්හි වූවත් ඇසට පෙනෙති. මැරී පරලොව ගිය හු නම් දක්නට නැත්තේ ම ය. මෙසේ කල අපි දෙදෙනා ගෙන් කවරෙක් මූඪතර ද? ඇසට පෙනෙන්නට වත් ඇති රිවි සඳුන් පතන්නේ ද, නැත හොත් කොයි අත ඉඳීදැයි නො දැක්ක හැකි පරලොව සිටියහු පතා ශෝක කරන්නේ දැයි ඇසීය.

බමුණු ඒ දෙව් පුතු ගේ කකාව අසා තමා වඩා මූඪ බව තේරුම් ‍ගෙන ඒ වචනයෙන් ම තුනී වූ ශෝක ඇත්තේ භවත, මා සෝ දුක් නිවූ යුෂ්මත් කවරෙහි දැ යි විචාළේ ය.

මරණ මංචකයෙහි හුන් තමා කෙරෙහි දයාවෙන් වැඩි බුදුරජාණන් වහන්සේ කෙරෙහි උපදවා ගත් ප්‍රසාද මාත්‍රය හේතුවෙන් දෙව් ලොව උපන් බව කීය. එසේ කියා, බමුණාට බුදුරජාණන් වහන්සේ වෙත පැමිණෙන ලෙස අවවාද දී දෙව් පුත් අතුරුදහන් විය.

බමුණා ද ගෙට ගොස් දන් පිළියෙළ කරවා පසු දා බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා වැඩම කැරවී ය. අබෞද්ධයකු බුදුරජාණන් වහන්සේ වැඩම කර වූ කල අබෞද්ධයෝ ප්‍රශ්න ඇසීමෙන් ශ්‍රමණ ගෞතමයන් වෙහෙසවන හැටි බලන්නැයි ද අද මහා ධර්මයාගයක් වෙතැයි ද සිතා එහි රැස් වෙති. මෙසේ එදා මහා ජනසන්නිපාතයෙක් විය.

බුදුරජාණන් වහන්සේ වැඩම කරවා සත්කාර කොට ඒ අදින්නපුබ්බක තෙම, ඔබ වහන්සේට දන් නොදී, වැඳීම් මාත්‍රයකුත් නො කොට ස්වර්ගයේ උපන්නෝ ඇත් දැ යි විමසීය.

බුදුරජාණන් වහන්සේ තොපගේ පුත්‍රයා ම මෙයට සාධක යැයි වදාළහ. කොඬෙ‍ාල් දෙව් පුත් විමානය සහිත ව මෙහි පැමිණේ වා යි ඉටු සේක. දෙව් පුත් ද එසේ අවුත් වැඳ සිටියේ ය.

මෙහි දී බුදුරජාණන් වහන්සේ ඒ දෙව් පුත් ‍සාක්ෂි ස්ථානයෙහි තබා බමුණා සහිත පිරිසට ධර්මාවවාද කළ සේක. බමුණු තෙම සරණ ගත උපාස‍කයෙක් විය.

ඇසළ පුර අටවක

 ජුලි 17 සෙනසුරාදා පූර්වභාග
04.34 පුර අටවක ලබා 18 ඉරිදා පූර්වභාග 02.41 ගෙවේ.
සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 17

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

Full Moonඅමාවක

අගෝස්තු 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]