[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දැන දැන බොරු කියනවාද ?

දැන දැන බොරු කියනවාද ?

භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතාමත් පිළිකුල් කොට හෙළා දුටු, ගර්හා කළ දෙයකි දැන දැන බොරු කීම. උන්වහන්සේ වදාළේ බොරු කියන, ළාමක අසත්පුරුෂයාට නොකළ හැකි පවක් නොමැති බවයි.

එක බොරුවක් කීවොත් ඒ බොරුව වසාලන්නට තව බොරු දහසක් කියන්නට වෙනවා. ඉතාම වේගයෙන් ගුණ දහමින් පිරිහී යනවා. මරණින් මතු නිරයේ උපදිනවා. චේතිය ජාතක කතාව ඒ ගැන කියැවෙන කතාවක්.

වර්තමානයේ භාග්‍යවතුන් වහන්සේ ලංකාවේ ඉපදුණා කියමින් මිහිකත නුහුලන බොරු කියන අභාග්‍ය සම්පන්න පුද්ගලයන්ට හසු වූ කී දෙනෙක් නම් බොරුවෙහි සමාදන් වෙනවාද? ඒ වගේ ම තමන් රහත් යැයි පවසමින් අන්‍යයන්ට ටොෆී, සීනි බෝල බෙදන ලෙසින් ව්‍යාජ මඟ ඵලවල සමාදන් කරවන අය මොනතරම් පව් රැස් කර ගන්නවාද? ඒ වගේ ම භික්ෂූන්ට අයිති නැති දේශපාලනය කරමින් තමන් ජාතියේ මුරදේවතාවුන් යැයි පවසා බුදුසසුන කණපිට හරවමින් මොන තරම් පව් රැස්කර ගන්නවා ද? නොයෙකුත් බොරු පොරොන්දු දෙමින් මහජනයා රවටා ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තුවට යන බොහෝ උදවිය මොන තරම් අපායගාමී පව් රැස් කරගන්නවා ද?

බොරු කීමේ භයානකකම හොඳින් පෙන්වා දෙන මේ කතාව කියවා ඒ තුළින් ඔබ ජීවිතය යහමඟට ගන්න.

ඒ දිනවල අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කොට වදාළේ සැවැත් නුවර ජේතවනයේ. එදා දේවදත්ත පොළොව පලාගෙන ගොස් නිරයේ උපන් දවසයි. එදා මුළු සැවැත් නුවර ම මිනිසුන් අසත්පුරුෂයන්ගේ භයානක ඉරණම ගැන මහත් සංවේගයට පත්වුණා. දම්සභා මණ්ඩපයේ රැස් වූ භික්ෂූන් වහන්සේලා පවා කතා කළේ මේ බිහිසුණු ඉරණමට ගොදුරු වූ දේවදත්ත ගැනයි. බලන්න ඇවැත්නි... මේ දේවදත්ත ජීවත්ව සිටිනතුරු බොරුවෙන් වංචාවෙන් අනුන් මුළා කරමින් ජීවත් වුණා. අන්තිමේ නිරයට ම ගිහිල්ලා නැවතුණේ. හපොයි. මේ බොරු කීම නිසා ලැබෙන භයානක විපාක ගැන නම් සිතින් සිතා ගන්නටවත් බැරිතරම්.

ඒ අවස්ථාවේ අපගේ භාග්‍යවතුන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළා. භික්ෂූන් වහන්සේලා මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැළකොට සිටියා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

“නෑ මහණෙනි, ඔය දේවදත්ත දැන දැන මුසාවාද කියලා නිරයේ ගොහින් නැවතුණේ මේ ආත්මයේ පමණක් නොවේ. මීට කලින් ආත්මෙකත් බොරු කියලා ඔය විදියට ම පොළොව පලාගෙන ගොහින් නිරයේ උපන්නා’යි අතීත කතාව ගෙනහැර දක්වා වදාළා.

මහණෙනි, අතීතයේ ප්‍රථම කල්පයේ මහා සම්මත නමින් රජ කෙනෙක් වාසය කළා. ඒ කාලේ ඒ රජ්ජුරුවන්ට අසංඛ්‍යෙය ආයුෂ තිබුණා. ඒ රජ්ජුුරුවන්ගේ පුතා රෝජ. රෝජ රජුගේ පුතා වරරෝජ. ඔහුගේ පුතා කල්‍යාණ. කල්‍යාණ රජුගේ පුතා වර කල්‍යාණ. ඔහුගේ පුතා උපෝසථ එලෙස මහා වන්ධාතු, වර මන්ධාතු, උපවර, අපවන් ආදී ලෙස පිය පුතුන් රජකමට පත් වුණා.

ඉතින් මේ උපවර රජ්ජුරුවොන් රජකම් කළේ චේතිය කියන රටේ. සොත්ථිවතී නගරයේ. මොහුටමයි චේතිය රජු කියා කියන්නේත්.

මේ රජ්ජුරුවන්ට විශේෂ සෘද්ධි හතරක් තිබුණා. මොහුට අහසින් යන්නට පුළුවනි. ආරක්ෂාවට කඩු ගත් දේව පුත්‍රයෝ සතර දෙනෙක් සතර දිසාවේ පෙනී සිටියා. සිරුරෙන් සඳුන් සුවඳ හැමුවා. මුඛයෙන් මහනෙල් මල් සුවඳ හැමුවා.

මොහුට කපිල නම් පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටියා. ඔහුට කෝරකලම්බ නමින් බාල සහෝදරයෙක් හිටියා. මේ කෝරකලම්බ චේතිය රජ්ජුරුවන්ගේ යාලුවෙක්. දෙන්නා එකටමයි ගුරු ගෙදර ශිල්ප හදාළේ. චේතිය කුමාරයා දිනක් මෙහෙම කිව්වා.

“මිත්‍රයා මා හිතාන ඉන්නේ රජකමට පත් වූ හැටියෙම ඔහේට පුරෝහිත තනතුර දෙන්නයි කියලා. චේතිය කුමාරයාගේ පියා වන චර රජ්ජුරුවෝ අභාවයට පත්වුණා. නමුත් කපිල බ්‍රාහ්මණයා පුරෝහිත තනතුරෙන් පහකරවන්නට පුළුවන් වුණේ නෑ. කපිල පුරෝහිත පැමිණෙන විට ඔහු කෙරෙහි ඇති ගෞරවය නිසා චේතිය රජ්ජුරුවෝ ගරු සරු දැක්වනවා. එතකොට කපිල බ්‍රාහ්මණයාට මෙහෙම හිතුණා. ‘ම්... මේ රජ්ජුරුවෝ තාම තරුණයි. මොහුට සමාන වයස ඇති පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටියොත් මා එක්ක කටයුතු කරනවාට වඩා පහසුවෙන් කටයුතු කරාවි. ඒ නිසා මං චේතිය රජ්ජුරුවන්ට දන්වා පැවිදි වෙන එක හොඳයි කියලා දවසක් කපිල බ්‍රාහ්මණයා චේතිය රජ්ජුරුවන් බැහැදකින්ට ගියා.

ඉතිරි කොටස වෙසක් අව අටවක (ජුනි 02)පත්‍රයේ පළවේ ...

  වෙසක් පුර පසළොස්වක 

මැයි 25 අඟහරුවාදා අපර භාග 20.29 පුර පසළොස්වක ලබා 26 බදාදා අපර භාග 16.43 ගෙවේ. බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09

First Quarterපුර අටවක

ජුනි 17

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]