[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් පුර පසළොස්වක 2021.05.26

අවබෝධයෙන් තෙරුවන් සරණ යමු

සසර මඟ මං මුළා වී අනේක දුක්ඛ දෝමනස්සයන්ගෙන් පීඩිත වූ ලෝ සත දුකින් මුදවාලනු පිණිස සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් කල් පාරමී දම් පුරා උතුම් සම්බුදු පදවිය ලැබගත් අපගේ අසමසම ශාස්තෘවරයාණන් වහන්සේ, තථාගත බුදුපියාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පෝ දා අදයි.

අවිද්‍යා අඳුරෙහි ගිලෙමින් සැප යැයි සිතා දුක පසුපස ම හඹා ගිය ලෝ සත වෙනුවෙන් උන්වහන්සේ පන්සාළිස් වසක් පුරා අමා දහම් දේශනා කොට වදාළහ. අපමණ ලෝ සත්හු ඒ ශ්‍රී සද්ධර්මයෙන් නිවී සැනසුණහ.

සසර පින් මද වූයෙන් අපි තවමත් දුක උරුම කරගත් සසරෙහි ම ඇවිදිමු. ඒ ගමනේ අති දුෂ්කරව, දුර්ලභ ව ලබා ගත් මනුසත්බව තුළ ඒ උතුම් අමාදොර තවමත් අප වෙත විවෘත ව ඇත. අවබෝධයෙන් තුන් රුවන සරණ යෑම හැර ඒ වෙත යන අන් මඟෙක් නැත. සැබෑ බෞද්ධයා නම් අවබෝධයෙන් ම බුදුරුවන, දම් රුවන, සඟ රුවන සරණ ගිය පුද්ගලයාම ය.

සම්බුදුරජාණන් වහන්සේ සරණ ගිය පුද්ගලයාගේ වෑයම විය යුතු සම්බුද්ධ චරිතය පිළිබඳ හොඳින් ඉගෙන ගෙන තමන්ට හැකි උපරිම අයුරින් ආදර්ශගෙන තම ජීවිතය ද ඒ අනුව හැඩගස්වා ගැනීම ය.

ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා ධර්මය විසින් ම ආරක්ෂා කරන බව සම්බුද්ධ දේශිතයයි. අපි අද අන් කවරදාටත් වඩා ජීවිත ආරක්ෂාව ගැන සිතමු.

රෝග බියෙන්, මරණ බියෙන් කායික මානසික පීඩාවන්ට ලක්ව සිටිමු. ඒ ලොවක් බිලිගෙන ඇති කොරෝනා වයිරසය හමුවේ ය. අපගේ අසල්වැසි රාජ්‍ය එදා බුද්ධ කාලීන භාරතයේ විශාලා මහනුවර තුන්බිය සිහිගන්වන්නට සමත් ව ඇත. සොබාදහම ලෝකයට මේ සා දරුණු දඬුවමක් දුන්නේ කාලාන්තරයක් තිස්සේ මිනිසා මිනිසාට ද, ගහකොළ සතා සිව්පාවුන් ඇතුළු පරිසරයට ද කරන ලද අනර්ථකාරී ක්‍රියාවන් නිසා නොවේ යැයි කාට නම් කිව හැකිද?

මෙවන් සමයෙක ධර්මයෙහි සරණ හැර අන් සරණක් නම් නැත. තථාගතයන් වහන්සේ මෙලොව පරලොව ජීවිතයට රැකවරණය සැලසෙන දහම් මාවත අපට පෙන්වා දුන් සේක. එහෙයින් ධම්මානු ධම්ම පටිපන්න වීම ම කාලෝචිත ය.

තමන් වහන්සේ සම්බුදු දහම් මඟ යමින් උතුම් සංඝ රත්නය ගිහි බෞද්ධයාට ඒ මඟ පෙන්වයි. සඟ රුවන සරණ යන බෞද්ධයා උන්වහන්සේගේ අනුශාසනා ජීවිතයට මහඟු මිණක් කර ගනී. චරිතාදර්ශය ජීවිතයට ප්‍රායෝගික කරගනී.

තුන්රුවන සරණ ගිය පුද්ගලයා පව බැහැර කොට පින් පුරන්නෙක් බවට පත්වේ. කුසලය වඩා අකුසලය බැහැර කරන්නෙක් බවට පත් වේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මහත් අනර්ථය පිණිස පවත්නා අකුසල් දහම් හි යෙදීම හා කුසල් දහම් හි නොයෙදීම බඳු අන් එක දහමකුදු තමන් වහන්සේ නොදකින බව ය.

තවත් අවස්ථාවක උන්වහන්සේ අවධාරණය කොට වදාළේ ගිහි පැවිදි ජීවිතයේ වැරැදි පිළිවෙත වර්ණනා නොකරන බවත් එම වැරැදි පිළිවෙත නිසා කුසල් වූ විදසුන් මඟ පසක් නොකරන බවත් ය.

කුසල් වැඩීමටත්, නිවැරැදි පිළිවෙතෙහි යෙදීමටත් මේ උතුම් වෙසක් පෝ දා අධිෂ්ඨාන කර ගනිමු.

  වෙසක් පුර පසළොස්වක 

මැයි 25 අඟහරුවාදා අපර භාග 20.29 පුර පසළොස්වක ලබා 26 බදාදා අපර භාග 16.43 ගෙවේ. බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09

First Quarterපුර අටවක

ජුනි 17

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]