[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කලානූරූපව ආගමික වතාවත් හි යෙදෙන්න

කලානූරූපව ආගමික වතාවත් හි යෙදෙන්න

" බුදුවීමෙන් වසරකට පසු සුදොවුන් පිය රජතුමා ඇතුළු ඥාතීන්ට සෙත සලසා දීම සඳහා කිඹුල්වත් පුරයට වැඩම කරවීම සිදුවූයේ ද වෙසක් පුන් පොහොය දිනක ය. ඒ ගමනේ දී යමාමහ පෙළහර පෑම, සුදොවුන් රජතුමාට හා යශෝධරා දේවියට දහම් දෙසීම, රාහුල කුමාරයා පැවිදි කරවීම, නන්ද කුමරු පැවිදි කරවීම ආදී වැදගත් සිදුවීම් රැසක් සිදුවිය."

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චරිතයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවුණ වෙසක් පුන් පොහොය දිනය තව දින කිහිපයකින් උදා වේ. එම දිනය තරම් දන මන පහන් කර බුද්ධාලම්භන පී‍්‍රතිය ඇතිකරන වෙනත් දිනයක් නැති තරම් ය. එම දිනයේ සිදුවුණු වැදගත් සිදුවීම් මොනවාදැයි සොයා බලමු.

අතීතයේ ලොව පහළව වැඩ සිටි දීපංකර බුදුරජාණන් වහන්සේ සංඝ රත්නය සමඟ රඹගම් නුවරට වඩින අවස්ථාවේ අප මහා බෝසතාණන් සුමේධ නම් තාපසයකු ව සිට මඩෙහි බිම දිගාවී සිට මගේ පිට මතින් වඩඩිනු මැනවැයි අදිටන් කොට සිටී ය.

ඒ අවස්ථාවේ දීපංකර බුදුහු මේ තවුසා අනාගතයෙහි ගෞතම නමින් සම්බුදු පදවියට පත් වන බවට නියත විවරණ ලබා දුන්නේ වෙසක් පුන් පොහොය දිනක ය.

එතැන් පටන් දස පෙරුම්දම් සපුරා දඹදිව කිඹුල්වත් නුවර පාලනය කළ සුද්ධෝදන රජතුමාගේ හා මහාමායා දේවියගේ පුතකු ලෙස ලුම්බිණි සල් උයනේ දී මොලොව එළිය දුටුවේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනක ය. සිදුහත් නමින් උපත ලද මේ කුමරා සියලු ශිල්ප ශාස්ත්‍ර හදාරා යශෝධරා දේවිය සමඟ විවාහ වී රාහුල කුමරු උපන් දින ගිහි ගෙය ගැන කළකිරී වසර හයක් දුෂ්කර ක්‍රියා කොට සම්මා සම්බුදු පදවියට පත්වූයේ ද වෙසක් පුන්ූ පොහොය දිනක ය.

බුදුවීමෙන් වසරකට පසු සුදොවුන් පිය රජතුමා ඇතුළු ඥාතීන්ට සෙත සලසා දීම සඳහා කිඹුල්වත් පුරයට වැඩම කරවීම සිදුවූයේ ද වෙසක් පුන් පොහොය දිනක ය. ඒ ගමනේ දී යමාමහ පෙළහර පෑම, සුදොවුන් රජතුමාට හා යශෝධරා දේවියට දහම් දෙසීම, රාහුල කුමාරයා පැවිදි කරවීම, නන්ද කුමරු පැවිදි කරවීම ආදී වැදගත් සිදුවීම් රැසක් සිදුවිය.

බුද්ධත්වයෙන් අට වැනි වසරෙහි තෙවැනි වරට ලක්දිවට වැඩම කර කල්‍යාණි චෛත්‍යය පිහිටි තැන වැඩසිට එම ස්ථානය පූජනීයත්වයට පත් කළ අතර, සමන් දෙවිඳුගේ ආරාධනයෙන් සමන්තකූට පර්වතයෙහි වම් සිරිපා පිහිටුවා දිවාගුහාවෙහි වැඩසිට රුහුණු පුරයෙහි කතරගම, තිස්සමහාරාම චෛත්‍යයන් පිහිටි ස්ථානවල වැඩ සිට ඒ ස්ථාන පූජනීයත්වයට පත්කර අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය පිහිටි තැන රුවන්මැලි සෑය පිහිටි තැන වැඩ සිට ස්ථාන දාහතරක් පූජනීයත්වයට පත් කළේ වෙසක් පුන් පොහොය දිනක ය.

සතළිස් පස් වසක් බුදු කෙනකුගෙන් ඉටුවිය යුතු සියලු බුදුකිස ඉටුකර අසූ වියට පත් බුදුරජාණන් වහන්සේ කුසිනාරා, නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල් උයනේ දී පිරිනිවන් පෑම සිදුවූයේ ද වෙසක් පුන් පොහොය දිනක ය.

මේ හැර විජය කුමරු ඇතුළු පිරිස ලක්දිවට පැමිණීම ද, දෙවැනි පෑතිස් රජතුමා දෙවැනි වරට ඔටුනු පැළඳීම ද, දුටුගැමුණු රජතුමා විසින් අනුරාධපුරයෙහි රුවන්මැලි මහා සෑය ඉදිකිරීම ආරම්භ කිරීම ද වෙසක් පුන් පොහොය දින සිදුවිය.

මේ කරුණු අනුව සලකන විට වෙසක් පුන් පොහොය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ට ශ්‍රේෂ්ඨ දිනයක් වන අතර, ලංකාවාසී අපට ද අති ශ්‍රේෂ්ඨ දිනයකි. එබැවින් මේ වෙසක් පුන් පොහොය දිනයෙහි ලක්වැසි බොදුණුවන් විසින් කාලානුරූප ව සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් තම නිවසේ සිට හෝ ගමේ පන්සලේ සිට හෝ ආගමික වත්පිළිවෙත්වල යෙදී දෙලොව යහපත සලසා ගන්නා ලෙස මෙත් සිත් පෙරටුව දැනුම් දෙමි.

  වෙසක් පුර අටවක 

මැයි 19 බදාදා අපර භාග 12.50 පුර අටවක ලබා 20 බ්‍රහස්පතින්දා අපර භාග 12.23 ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]