[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කවරයේ කතාව

කවරයේ කතාව

සැවැත් නුවර දුප්පත් පවුලක ගෞතමී නම් ස්ත්‍රියක් විය. ඇය මඳක් කෘශ තැනැත්තියක් බැවින් කෘශා ගෞතමි නමින් ද ප්‍රකට විය. ඇයගේ ස්වාමි කුලයෙහි අය දුගී තැනැත්තියක යැයි ඇයට නිග්‍රහ කළහ.

ඇය පුතකු ලැබූ දා සිට ස්වාමි කුලයේ කවුරුත් ඇයට සැලැකිලි දැක්වූහ. ඒ දරුවා යම්තම් දුව ඇවිද සෙල්ලම් කළ හැකි තරම් වයසේ දී කලුරිය කළේ ය. පුතුගේ වියෝවෙන් ඇය බලවත් ශෝකයට පැමිණ, තම දරුවාගේ මළ සිරුර ඇකයෙන් ගෙන දුටු දුටු අයගෙන් බෙහෙත් ඉල්ලමින් ඇවිද්දා ය.

“මළ කඳට මොන බෙහෙත් දැයි“ පවසමින් මිනිස්සු අත් පොළසන් දෙමින් සිනාසුණහ.

එක් නුවණැති පුරුෂයෙක් ඇය තේරුම් ගෙන “දුව, ඔබගේ දරුවාට බෙහෙත් දෙන්නට බුදුරජාණන් වහන්සේ මිස අන් කිසිවෙක් නොදනී. උන් වහන්සේ මේ ළඟ විහාරයෙහි වැඩ වසන සේක. එහි යන්නැ‘යි කියා ඇය ජේතවනාරාමයට යොමු කළහ. ඇය දරුවාගේ මළ සිරුර රැගෙන ධර්මාසනාරූඪ වූ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ දරුවාට බෙහෙත් දෙන ලෙස ඉල්ලා සිටියා ය.

ඇයට රහත් බව ලබන්නට තරම් හේතු සම්පත් ඇති බව දුටු බුදුරජාණන් වහන්සේ “ගෞතමිය, බෙහෙත් සඳහා මෙහි තොප පැමිණීම යහපති යැයි වදාළහ.

ගෞතමිය ඔබ මේ නුවරට ගොස් එහි කොනක සිට මුළු නුවර ම ඇවිද කිසි කලෙක මරණයක් නොවූ ගෙයකින් අබැටක් ගෙනෙන්නැ‘යි වදාළ සේක. ඇය සතුටු ව නුවර මුල්ම නිවසට පැමිණ තම දරුවාට බෙහෙත් සඳහා බුදුරජාණන් වහන්සේ වෙත ගෙන යෑමට ඇබැටක් ඉල්ලූවා ය. නිවැසියෝ ද ඇයගේ ඉල්ලීම ඉටු කළා ය. එවිට ඇය “මෙහි

කවුරුවත් පෙර නො මළේ දැ‘යි විචාළාය. මෙහි මළවුන් ගණන් කරන්නට ක‍ාටවත් බැරි තරම් යැයි ගේ වැසියෝ කීහ. එහෙනම් මෙය එපා. කිසිවකුත් නොමළ ගෙයකින් අබ ඇටයයි ඕනෑ කළේ යැයි පවසමින් නික්ම ගියා ය. තවත් ගෙවල් දෙකකට ගිය ද, ඒ දෙතැනදී ද මේ ගෙයි මෙපමණ මෙපමණ මළ යැයි යන වචනයක් ම අසන්නට ලැබුණේ ය.

තෙවැනි ගෙට යෑමෙන් පසු ඇය කාරණය තේරුම් ගත්තා ය. එනම් මුළු නුවර ම ඇවිද්දත් කිසිවකු නො මළ ගෙයක් නො ලැබෙන්නේ ය.

මා කෙරෙහි අනුකම්පා කළ බුදුරජාණන් වහන්සේ මට කාරණය වටහා දීමට නො මළ ගෙයකින් අබැටක් ගෙනෙන්නට වදාළ සේකැ‘යි සිතා ශෝකය දුරු කොට එතැනින් ම සොහොන් පිට්ටනියට පිටත් ව ගොස් පුතුගේ මළ කඳ අතින් ගෙන

පුත, මේ මරණය ඔබට පමණක් වූයේ යැයි මම සතුවෙමි. එය එසේ නොවේ. මරණය නම් කාටත් පොදු වූ ස්වභාවයක් යැයි කියා මළ කඳ සොහොනෙහි දමා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියා ය.

බුදුරජාණන් වහන්ස මට පිහිට වුව මැනැවැ‘යි ඉල්ලා සිටියා ය. “බුදුරජාණන් වහන්සේ මරණය සර්ව සාධාරණ බව වදාරා ධර්ම දේශනා කළ සේක. ධර්ම දේශනාව අවසානයේ ඕ තොමෝ සෝවාන් ව පැවිද්ද ඉල්ලා සිටියා ය. බුදුරජාණන් වහන්සේ එයට අවසර දුන් සේක.

පැවිදිව උපසම්පදාව ලබා විදසුන් වඩා නොබෝ කලෙකින් රහත් වූවා ය.

  වෙසක් පුර අටවක 

මැයි 19 බදාදා අපර භාග 12.50 පුර අටවක ලබා 20 බ්‍රහස්පතින්දා අපර භාග 12.23 ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]