[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිතය වටහා දෙන සම්බුදු දහමේ උපමා උපමේය

ජීවිතය වටහා දෙන සම්බුදු දහමේ උපමා උපමේය

‘තිලෝගුරු’ යන විශේෂණ පදය බුදුරජාණන් වහන්සේ හැඳීන්වීම සඳහා යොදා ඇති ඉතා ප්‍රකට යෙදුමක් වන්නේය. ඉන් අදහස් කරනුයේ උන්වහන්සේ තිලොවටම අසහාය මඟපෙන්වීම සිදුකරන උත්තම ආචාර්යවරයාණෝ වන බවයි.

තමන් වහන්සේගේ ධර්මය විෂය වන්නේ අනුවණ පුද්ගලයන්ට නොවන බව තථාගතයන් වහන්සේ

විසින් නොයෙක් විට දේශනා කොට ඇත. අනුවණයා හැඳීන්වීම සඳහා ‘බාල’ යන නම භාවිතකොට ඇති අතර ධම්මපදයෙහි බාලවග්ගය තුළින් බාලයන් විෂයකොට ගෙන දේශිත දහම් කරුණු රාශියක් ප්‍රකාශිත ව පවතී. මෙහි ‘බාල’ යන්නෙන් අදහස් කෙරෙනුයේ වයසින් බාල වූවන් නොවන බව බොහෝ දෙනා දන්නා කරුණකි.

ධර්මයෙහි බාලයාගේ හෙවත් අනුවණයාගේ ලක්ෂණ 03 ක් පිළිබඳව දක්වා තිබේ. ඒවා ‘දුච්චින්තිත චින්තීච හෝති, දුබ්බාසිත භාසි, දුක්ඛට කම්මකාරි’ ලෙස පෙළ දහමෙහි දැක්වේ. එහි අදහස වන්නේ නපුරු සිතිවිලි සිතන, නපුරු වචන කියන, නපුරු ක්‍රියාවන්හි නිරත තැනැත්තා බාලයා හෙවත් අනුවණයා වන බව ය.

නපුරු සිතිවිලි සඳහා අභිධ්‍යා, ව්‍යාපාද, මිත්‍යාදෘෂ්ටි යන ත්‍රිවිධ මනෝ දුශ්චරිතයන් ද, මුසාවාද, පිසුනාවාච, ඵරුෂාවාච, සම්ඵප්‍රලාප යන චතුර්විධ වචී දුශ්චරිතයන් ද, ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර යන තෙවැදෑරුම් කාය දුශ්චරිතයන් ද යන දස අකුසල කර්ම පථයන් හි යෙදී සිටින්නා බාලයා යනුවෙන් ධර්මයෙහි හඳුන්වනු ලැබේ.

තථාගතයන් වහන්සේ විසින් දේශනාකොට ඇත්තේ නිවන් දක්නා තෙක් නොසිඳී නොකැඩී අවිච්ඡින්න පාරම්පරික පැවැත්ම සංසාරය යනුවෙනි. මෙහි ‘නොසිඳෙන පරම්පරාව’ යන යෙදුමෙන් අදහස් කරනුයේ ස්ඛන්ධ ධාතු ආයතනයන්ගේ අඛණ්ඩ වූ චිර පැවැත්මයි. ලබා ඇති ස්ඛන්ධ ධාතු ආයතනයන් අතීතයේ මෙන් මෙතැන්සිට ද චුති පටිසන්ධි වශයෙන් දිගින් දිගටම දිව්‍ය, මනුෂ්‍ය, අසුර, යක්ෂ, රාක්ෂ, නාග ස්ත්‍රී, පුරුෂ ආදී විවිධ නම් ලබමින් පැවැතගෙනයෑම සංසාරය නම් වේ. මෙබඳු වූ සසර පිළිබඳව සඳහන් කිරීමේ දී එහි ඇති බියකරු බව දහමින් සරලව පෙන්වා දී ඇත්තේ එය ඕඝයක් හෙවත් සැඩපහරකට උපමා කරමින් ය.

‘තිලෝගුරු’ යන විශේෂණ පදය බුදුරජාණන් වහන්සේ හැඳීන්වීම සඳහා යොදා ඇති ඉතා ප්‍රකට යෙදුමක් වන්නේය. ඉන් අදහස් කරනුයේ උන්වහන්සේ තිලොවටම අසහාය මඟපෙන්වීම සිදුකරන උත්තම ආචාර්යවරයාණෝ වන බවයි. තම ශ්‍රාවකයන්ට හෙවත් ශිෂ්‍යයන්ට ධර්මාවබෝධය සඳහා තමන් වහන්සේගේ සුවිශේෂී ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා විවිධ ක්‍රමෝපායන් භාවිතකොට ගෙන තිබේ. ඒ අතර ශ්‍රව්‍ය හා දෘෂ්‍ය උපකරණ මෙන්ම උපමා උපමේය භාවිතය ද දක්නට ලැබෙන අතර වර්තමාන අධ්‍යාපන විද්‍යාවේදී ඇතැමුන් තමන්ගේ මත හැටියට ප්‍රකාශ කරනුයේ ද එම මූලධර්මයන් ම බව රහසක් නොවේ.

අද දිනයේ දී සාකච්ඡාවට බඳුන්වන මෙම ඉගැන්වීමට අදාළව ඇති උපමා රූපකයන් හි ස්වභාවය ධම්මපදයෙහි ඇතුළත් මෙම ගාථා ධර්මයෙන් මනාව පැහැදිලිවේ.

දීඝා ජාගරතො රත්ති
දීඝං සන්තස්ස යෝජනං
දීඝෝ බාලානං සංසාරෝ
සද්ධම්මං අවිජානතං

‘ජාගරතො’ සහ ‘සන්තස්ස’ යන වචන ව්‍යවහාර බසට නැඟීමේදී පැහැදිලි වන්නේ ‘නිදිවැරීම’ සහ ‘ගමන්විඩාව’ යන තේරුම් ය. රාත්‍රියෙහි ඇතැම් විට නින්ද නොයෑම නිසා පීඩාවට පත් නොවූ කෙනෙක් සොයාගැනීම දුෂ්කර කාර්යයක් වන්නේය. එබඳු තත්වයන්ට බොහෝ අවස්ථාවල මුහුණ දී ඇති අපි කොතරම් අපහසුතාවලට පත්වී ඇත්දැයි අත්දැකීමෙන් ම දනිමු. රාත්‍රියෙහි ස්වභාවිකව ලැබෙන නින්ද යම් යම් හේතුන් නිසා නොලබන රෝගී බවට පත් බොහෝ දෙනා ඒ සඳහා ඖෂධ ලබා ගන්නේ ද ඒ නිසාවෙනි. එබඳු පීඩාකාරි වූ මෙම සුලභ අත්දැකීම සංසාරයෙහි ඇති පීඩාකාරි ගති ස්වභාවය හැඟවීම සඳහා ඉතා සමීපතාවයක් මතුනොව එහි ඇති පීඩාකාරී වූත්, අප්‍රසන්න වූත් වෙහෙසකාරි වූත්, කඨෝරදායි වින්දනය සත්වයාට සසර පිළිබඳ කිසියම් අත්දැකීමක් ලබාදීමට යොදාගෙන ඇති අයුරු තථාගත ධර්මයෙහි අව්‍යාජ බව පෙන්නුම් කරන්නකි.

එසේම සසර ස්වභාවය පිළිබඳ සරල දැනීමක් ඉක්මනින් ඇතිකරලී ම සඳහා මෙහි අනෙක් උපමාව වූ ‘සන්තස්ස’ යන වචනය හේතු වේ. තථාගතයන් වහන්සේ ධරමාන කාලය බොහෝවිට උන්වහන්සේ ද මතුනොව බොහෝදෙනා පා ගමනින් තම අවශ්‍යතා සඳහා ගමන් බිමන් ගිය කාලයක් ලෙස සැලකීම වරදක් නොවේ. ගැල් සහ අශ්ව කරත්ත ආදී විවිධ ප්‍රවාහන ක්‍රම තිබුණ ද අද මෙන් පොදු මගී ප්‍රවාහන ක්‍රම නොතිබුණේය. අශ්ව කරත්ත බහුල වශයෙන් භාවිත කරන්නට ඇත්තේ රජවරුන් හා සිටුවරුන් ආදී ප්‍රභූ ජනයා විය හැකි ය. ඒ අනුව යොදුන් ගණන් පා ගමනින් යන බොහෝ සාමාන්‍ය ජනතාව භාග්‍යවතුන් වහන්සේට ද මුණගැසණ.ි එක් ව ගමන්කිරීම් ද සිදුවන්නට ඇත. එසේ බොහෝ වෙහෙස දරමින් කුඹල්හල් ආදී විවිධ නවාතැන්වල නතරවෙමින් දින ගණන්, සති ගණන් තමන් අපේක්ෂිත ස්ථාන කරා යාමට පීඩාකාරීව වෙහෙස විඳීමින් මහමඟ ගමන්ගන්නා මගීන් තථාගතයන් වහන්සේ ට බොහෝසෙයින් මුණගැසී තිබෙන්නට ඇත.

එසේ විඩාබරිතව යන පුද්ගලයන් තමන් අත්විඳීන වේදනාකාරි බව නිසා ම ඉදිරියට ඇති දුර මුණගැසෙන අයගෙන් විමසමින් ගමන්කිරීම ද ප්‍රකට කරුණකි. එම විඩාබරිත මගියා මෙන් සත්ව ප්‍රජාව සාංසාරික ගමන්මඟෙහි තැන තැන නතර වෙමින් නැවත නැවතත් ගමන්කිරීමේ දී එහි ඉමක් නොදැකීම ශ්‍රාවක මනසට ළඟා කිරීම සඳහා තථාගතයන්වහන්සේ ජන මනසට ඉතා සමීප රූපකයන් භාවිත කොට ඇති අයුරු දැක ගත හැකි ය. ධර්මය නොදන්නේ, දැන දැනත් නොදන්නාක් මෙන් ක්‍රියාකරන්නන් මෙන් ම ධර්මය විකෘති කරන අනුවණයන්ගේ සසර ගමන ද නිදිවරන්නාට රැය පීඩාකාරීව දික්වන්නාක් මෙන් විඩාබර මගියාට ගමන්මඟෙහි දුර ප්‍රමාණය දික්වන්නාසේ ම සසර ගමන ද දික්වන බව මින් ප්‍රකාශිත ව ඇත.

මෙහි ‘සද්ධම්මං’ යන්නෙන් ප්‍රකාශ වන්නේ උතුම් තථාගත ධර්මයයි. මෙහිදී මූලික වශයෙන් අර්ථ ගන්වා ඇත්තේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ය. ඒවා පංචින්ද්‍රිය, පංචස්කන්ධ, සතර සතිපට්ඨාන, සතර සම්මප්ප්‍රදාන, සතර ඉද්ධිපාද, පංචබල, සත්ත බොජ්ඣංග මෙන්ම ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනුවෙන් ඒවා සංඛ්‍යාත්මක ව දැක්වා ඇත. එබඳු වූ උතුම් ධර්මය නොදැනීම අනුවණයාගේ ලක්ෂණය වන්නේය. ඔහුගේ සසරමග දික්වන්නේ ය යන්න මෙම දේශනාවෙහි අදහස යි.

තථාගතයන් වහන්සේගේ මෙම දේශනය සඳහා හේතු වී ඇති සමීප සාධකය වන්නේ උන්වහන්සේ සමඟ ළඟ ඇසුරක් තිබූ තත්කාලීන ප්‍රභල දේශපාලකයෙකු වූ කොසොල් රජතුමා අරමුණු කරගත් රසබර සිදුවීමකි.

කොසොල් රජතුමා ද නුවර සැරිසරන අවස්ථාවේ නගරවැසි එක්තරා රූමත් ස්ත්‍රියක් දැකීමෙන් ඇය සමඟ සහවාසවීමේ නොතික් ආශාව ඇතිවිය. තොරතුරු සොයාබැලීමේ දී ඇය විවාහක කතක් බව දැනගත් රජු එම ස්වාමියා විනාශකොට ස්ත්‍රිය ලබාගැනීමට සිතන්නේ, පහසුවෙන් කළ නොහැකි කාර්යයක් මෙන් ම මෙලොව දී සොයාගත නොහැකි යැ යි සම්මත කිසියම් මල් වර්ගයක් හා මැටි වර්ගයක් සොයාගෙන පැමිණීමට නියම කරනු ලැබේ.

එම අසරණ මිනිසා නගරයෙන් ඈතට ගොස් ගඟක් අසබඩ නතරව ආහාර දානයක් දෙමින් සිදු කළ සත්‍යක්‍රියාවකින් පසු එම දුර්ලභ පුෂ්පයන් වූ කඩුපුල් මල් හා අරුණුවන් මැටි විශ්මිත ආකාරයකින් ලබාගත හැකි විය. රජ අණ ඉටුකරමින් නැවත ලහි ලහියේ රජ මැදුරට පැමිණියේ නමුදු රජ මැදුරට ඇතුළු විය නො හැකි වූයේ රැගෙන පැමිණි දෑ කිසියම් තැනක තබා තම රැකවරණය පතා හෙතෙම දෙව්රම් වෙහෙරට පැමිණියේ ය. ඉහත රූමත් ස්ත්‍රිය සමඟ එක්වීමේ කාම කල්පනාව නිසා රජුගේ අසලකටවත් නින්ද නො පැමිණියේය නිදිවරමින් එම ස්ත්‍රියගේ රුවගුණ ගැන සිතමින් සිටි රජතුමාට මැදියම් රැයේ දී “දු ස න සෝ” යනුයෙන් ඇසුන බියකරු සූ හඬකින් මහත් සේ බියපත් වූයේ ය. උදෑසනම තැතිගත් සිතින් හා බියෙන් සැකයෙන් යුතුව තථාගතයන් වහන්සේ මුණගැසුණ රජතුමා ප්‍රකාශ කරන ලද සිදුවීම පිළිබඳ ව තථාගතයන් වහන්සේ දේශනා කරන ලද්දේ කාමයෙහි වරදවා හැසිරීම නිසා අපායගතව සිටින සිටුවරු සිව් දෙනෙක් ලෝකුඹු නරකයෙහි පැසෙමින් නිරය මුවවිටට පැමිණි විටෙක ඔවුන්ගෙන් ප්‍රකාශ වූ සෝකාලාපයක් බවයි. එය ඔබට හෝ රාජ්‍යයට හානියක් නොවන බවයි. නිදිවරන්නාට රැයත්, විඩා ඇත්තාට යොදුනත් දික්වන්නාසේ ම ධර්මය නොදත් අනුවණයාට සසර දික්වන බව දේශනාකරන ලදින් බියපත් සිතින් යුතුව සිටි රජු කම්සැපයෙහි ගිජුකම හැරදැමූ බව සඳහන් වේ.

  මැදින් පුර පසළොස්වක 

  මාර්තු 28 ඉරිදා පූර්වභාග 03.27 පසළොස්වක ලබා 29 සඳුදා පූර්වභාග 00.17 ගෙවේ.
ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]