[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඕපපාතිකව උපන් අම්බපාලි මහරහත් තෙරණිය

ඕපපාතිකව උපන් අම්බපාලි මහරහත් තෙරණිය

‘අම්බපාලි මහ රහත් තෙරණිය ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළවීමට බොහෝ කලකට පෙර ලොව පහළ වූ එක්තරා බුදුරජාණන් වහන්සේ නමකගෙන් බණ අසා ඒ බුදු සසුනේ බොහෝ පින්දහම් සිදුකරගෙන ජීවත් වුණා. පසු කලක දී මරණයට පත් ඇය දෙව් ලොව උපන්නා.

සිඛී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ නැවත මනු ලොව උපන්නා. ඒ ජීවිතයේ දී බොහෝ පින්දහම් කරමින් සිටි ඇය සිඛී බුද්ධ ශාසනයේ පැවිදි වුණා. දිනක් ඇය භික්ෂුණින් සමඟ චෛත්‍යය පිරිසුදු කර වන්දනා කරන්නට ගත්තා. ඇයට ඉදිරියෙන් ගිය තවත් එක් රහත් භික්ෂුණියකට කිවිසුමක් ගොස් කෙළ පිඬක් සෑ මලුවේ වැටුණා. එය නො දුටුව ඒ රහත් තෙරණිය එතැනින් ඉවත් වුණා. ඇයට පසුව යන මේ තෙරණිය එය දුටුවා. පිරිසුදු කළ මලුවේ කවර නම් ගණිකාවක් කෙළ පිඬක් දැමුවාදැයි තරහ සිතින් කියා සිටියා.

එතුමිය භික්ෂුණි ජීවිතයේ හොඳීන් සිල් රැක්කා. නැවත ජීවිතයක මවු කුසක ඉපදීම පිළිකුල් කළා. ඒ පිළිබඳ නිතර සිතුවා. ඕපපාතික උපතකට සිත යෙදුවා. ඒ භික්ෂුණිය මරණින් මතු දෙව්ලොව උපන්නා. අප ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ ඒ දෙව්දුව දෙව්ලොවින් චුතව නැවත මනුලොව ඉපදුණා. නමුත් ඇය මවුකුස පිළිකුල් කළ නිසා විශාලා මහනුවර රජුගේ උයනේ අඹ රුකක් මුල ඕපපාතික ව උපන්නා.

ඇය දුටු උයන්පල්ලා ඇය නගරයට ගෙන ගියා. අඹ රුක්මුල උපන් නිසා ඇය අම්බපාලී නමින් ප්‍රකට වුණා. ඇය රජමාළිගයේ හැදී වැඩුණා.

තරුණ වියට පත් මේ අම්බපාලිට ඉතා සුන්දර, දුටු දුටුවන් වශී කරන රූ සපුවක් ලැබුණා. බොහෝ රාජ කුමාරවරු ඇය විවාහ කර ගැනීමට කැමැත්ත පළකර එවා තිබුණා. කුමාරවරු අතර කෝලාහලයක් පවා ඇති වුණා. රජතුමා ඔවුන්ගේ කලහ සමනය කරනු පිණිස ඇය නගරයේ නගරසෝභනී තනතුරේ පිහිටවනු ලැබුවා. ඇයට එසේ ගණිකාවක් ලෙස ජීවත්වීමට සිදුවුයේ පෙර ජීවිතයේ රහත් තෙරණියට ගණිකාව කියා අපහාස කළ විපාකයට යි.

කාලය ගත වෙද්දී අම්බපාලි ධර්මය අසා පැහැදී තමාගේ උයනේ විහාරයක් කරවා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කළා. පසුව තම පුත්‍රයා වූ විමලකොණ්ඩඤ්ඤ තෙරුන්ගෙන් ධර්මය අසා පැවිදි වී මහත් වීර්යයෙන් විදසුන් වඩා රහත් ඵලයට පත් වුණා. දිනක් ඇය තමාගේ සිරුර දිනෙන් දින ජරා ජීර්ණ වන අයුරු බලා සංවේගයෙන් සංස්කාරයන්ගේ අනිත්‍යතාව සිහි කරමින් මෙසේ ගාථා වදාළ සේක.

* ඉස්සර මගේ කොණ්ඩය කළු පාටටයි තිබුණේ. හරියට බඹරුන්ගේ පාට වගේ. ඒත් දැන් දිරා ගොක් හණ ලණු කැරැල්ලක් වගේ. ඒ වීතරාගී බුදු සමිඳුගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ.

* ඉස්සර මම එක එක සුවඳ මලින් මගේ කොණ්ඩය සරසවනවා. එතකොට කොණ්ඩය සුවඳ කරඬුවක් වගේ. ඒ වුණාට දැන් දිරාගිය ඒ කොණ්ඩය ලොම් ගඳීන් පිරිලා. වීතරාගී බුදු සමිඳුගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ.

* ඉස්සර මම කො තරම් ලස්සනට මගේ කොණ්ඩය සරසනවා ද?, හරියට පිළිවෙළකට මල් වවපු මිදුලක් වගේ. කොණ්ඩය හොඳට දිග ඇරලා පීරලා මම ලස්සන කොණ්ඩා කටු ගසා සකස් කර ගන්නවා. නමුත් දැන් කෙස් ගැලවිලා ගිහිල්ලා, තැනින් තැන හිඩැස් මතුවෙලා. වීතරාගි බුදු සමිඳුගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ.

* කළු කෙස් ලස්සනට ගොතලා රත්තරන් ආභරණවලින් සැරසුවම හරිම ලස්සනයි. නමුත් දැන් ජරාව විසින් ඒ කෙස් ගලවා දාලයි තිබෙන්නේ. වීතරාගි බුදු සමිඳුගේ වචනය නම් වෙනස් වන්නේ නැහැ.

* ඉස්සර මගේ ඇහිබැම හරිම ලස්සනයි. හරියට චිත්‍ර ශිල්පියෙක් ලස්සනට ඇදපු ඉරක් වගේ. නමුත් දැන් ඒ බැම සඟල රැළි ගැසී එල්ලා වැටෙනවා. වීතරාගී බුදු සමිඳුගේ වචනය නම් වෙනෙස් වෙන්නේ නැහැ.

* ඉස්සර මගේ ඇස්දෙක නිල් මැණික් කැට දෙකක් බබළනවා වගේ. ලොකු දිග ඇස් මට තිබුණේ. නමුත් දැන් ජරාව විසින් ඒ ඇස් විරූපි කරල තිබෙන්නේ. වීතරාගී බුදු සමිඳුගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ.

* ඉස්සර මගේ නාසය නිසා මුහුණට ලස්සනක් ලැබුණා. උඩට ඉස්සිලා තිබුණ නහය සිනිඳුවටයි තිබුණේ. ඒත් දැන් ජරාව විසින් ඒ නහය හකුළුවා දාලා. වීතරාගි බුදු සමිඳුගේ වචනය නම් වෙනස් වන්නේ නැහැ.

* මේ කන් පෙති ඉස්සර හරි ලස්සනයි. මනාව නිම කළ රන් වළලු දෙකක් වගේ. නමුත් දැන් ජරාව විසින් ඒවා රැලි ගැහිලා එල්ලා වැටෙනවා. වීතරාගි බුදු සමිඳුගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ..

* ඉස්සර මගේ දත් දෙපළ සුදට සුදේ හරි ලස්සනටයි තිබුණේ. නමුත් දැන් ජරාවට පත්වෙලා, කැඩිලා ගිහිල්ලා, කහපාට වෙලයි තිබෙන්නේ. වීතරාගි බුදු සමිඳුගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ.

* මගේ කටහඬට ඉස්සර හැමෝම කැමැතියි. ඒ හඬ මිහිරි යි. කෝකිලාවක වගේ. නමුත් දැන් ජරාවට පත් වූ ඒ හඬ කතා කරද්දී පැටලෙනවා. වීතරාගි බුදු සමිඳුගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ.

* මගේ ගෙල ඉස්සර හරි ලස්සනයි. මම ඒ ගැන සතුටින් හිටියේ. නමුත් දැන් ජරාව විසින් ඒ ලස්සන නැති කරලා. බෙල්ල නැමිලයි තිබෙන්නේ. වීතරාගි බුදු සමිඳුගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ.

* ඉස්සර ලස්සනට තිබුණ මගේ අත් දෙක දැන් ජරාවට පත්වෙලා. පළොල් ගසක අතු දෙකක් වගේ කේඩෑරි වෙලා. වීතරාගි බුදු සමිඳුගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ.

* පෙරහන් කඩයක් වගේ එල්ලා වැටෙන මගේ පියයුරු ඉස්සර උඩට හැරිලා ලස්සනට තිබුණා. වීතරාගි බුදු සමිඳුගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ.

* ඉස්සර මගේ ශරීරයට හැමෝම ආශා කළා. හරියට හොඳට මැදල ඔප දාපු රත්තරන් රූපයක් වගේ. නමුත් දැන් ජරාවට පත්වෙලා ඇඟ පුරාම රැලි එල්ලා වැටෙනවා. වීතරාගී බුදු සමිඳුගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ.

* ඉස්සර මගේ කෙණ්ඩා දෙක ඇත් දළ පාටට හරිම ලස්සනටයි තිබුණේ. නමුත් දැන් ජරාවට පත්වෙලා එල්ලා වැටෙනවා. සත්‍යවාදී බුදු සමිඳුගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ.

* ඉස්සර මගේ දෙපා හරි ලස්සනයි. දෙපා සැරසුවාම පුදුම ලස්සනක් තිබුණේ. නමුත් දැන් ජරාව විසින් ඒ සියල්ල විනාශ කරලා. යටිපතුල් පැලිලා දෙපා අවලස්සන වෙලා. වීතරාගි බුදු සමිඳුගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ.

* ශරීරයක ඇත්ත තත්ත්වය මේකයි. ජරාවෙන් දෙ දරා යනවා. බොහෝ දුකට වාසස්ථානය මේ ශරීරය යි. පිළිසකර කර ගන්නට බැරි තත්ත්වයට ම මේ ශරීරය දිරා යනවා. දිරා කඩා වැටීමට ආසන්න පිළිසකර කළ නොහැකි ගෙයක් වගේ. වීතරාගි බුදු සමිඳුගේ වචනය නම් වෙනස් වන්නේ නැහැ.

  මැදින් පුර පසළොස්වක 

  මාර්තු 28 ඉරිදා පූර්වභාග 03.27 පසළොස්වක ලබා 29 සඳුදා පූර්වභාග 00.17 ගෙවේ.
ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]