[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කාටද ඇඳුම වියන්නේ...

කාටද ඇඳුම වියන්නේ...

සන්නාලියනේ සන්නාලියනේ මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී කාටද ඇඳුම වියන්නේ
මාලගිරා තටු සේ ම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ
මාලගිරා තටු සේ ම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ
ඊයේ ඉපදුණු කුළුඳුල් දූටයි මේ පොඩි ඇඳුම වියන්නේ.

සන්නාලියනේ සන්නාලියනේ මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා කාටද ඇඳුම වියන්නේ
සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ
සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ
ඒ කුළුඳුල් දූ දීගෙක දෙන්නයි මංගල ඇඳුම වියන්නේ

සන්නාලියනේ සන්නාලියනේ සීතල හඳ එළියේ
මැලවුණු මුහුණින් වෙව්ලන දෑතින්
කාටද සළුව වියන්නේ සීතල සළුව වියන්නේ
කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ
කාට ද සළුව වියන්නේ
කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ
මියගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සළුව වියන්නේ

අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක් වැනි දීර්ඝ කාල පරිච්ඡේදයක් පාරමිතා සම්පූර්ණ කරමින් කළ පර්යේෂණයෙන් අනතුරුව සම්මා සම්බුද්ධත්වයට පත් බුදුන් වහන්සේ එසේ කළ පර්යේෂණයෙන් සොයා ගත් නිගමනය වචන තුනකින් ඉදිරිපත් කළහ.

එනම් ‘සබ්බේ සංඛාරා අනිච්චාති’ යන්නයි. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයහ. බුදුන් වහන්සේ වසර හතළිස් පහක් පුරා දේශනා කොට වදාළ සුවාසූදහසක් ධර්මස්කන්ධ සූත්‍ර, විනය හා අභිධර්මය යනුවෙන් පිටකත්‍රයකට අයත් වන ලෙස දේශනා කළ සියලුම දහම මෙම වචන තුන මත රැඳී පවතී.

මෙහි සරල තේරුම ලොව හටගත් සියලුම භෞතික වස්තූන් තුළ දැකිය හැකි ප්‍රධානතම ලක්ෂණ තුනක් ඇත. එනම් ‘උත්පාද-ඨිති-භංග’ හෙවත් හට ගැනීම, පැවතීම හා විනාශයයි. මෙම ධර්මතාවයට හසු නොවන මොන ම වස්තුවක්වත් ලොව නැත. බුදු දහම උගන්වන මෙකී ලෝක යතාර්ථය සාහිත්‍යකරුවන් තම සහෘදයින්ගේ පහන් සංවේගය උදෙසා භාවිත කොට ගත් අයුරු අපූරු ය.

ඉන්දියානු රෙදි වියන්නියන් මුල් කොට ගෙන සරෝජනී නායිඳු රචනා කළ පද වැලක් මහගම සේකර ගීතයක් ලෙස ප්‍රතිනිර්මාණය කරමින් මෙම ලෝක යතාර්ථය සාහිත්‍යමය හැඩ රුව මවමින් ඉදිරිපත් කිරීම අතිශයින් ම සුන්දරජනක ය.

එය වඩාත් තීව්‍ර වන්නේ සංගීත අරණේ මහා මුනිවර පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීතයෙන් ගීතවත් ව ඔහුගේ මියුරු හඬින්ම ගායනය කිරීමෙන් බව අප කාටත් පැහැදිලි වේ.

සන්නාලියනේ සන්නාලියනේ මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී කාටද ඇඳුම වියන්නේ
මාලගිරා තටු සේ ම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ
මාලගිරා තටු සේ ම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ
ඊයේ ඉපදුණු කුළුඳුල් දූටයි මේ පොඩි ඇඳුම වියන්නේ.

සන්නාලියන් යනු ඇඳුම් මහන කාන්තාවන් ය. මාල ගිරවුන්ගේ තටුවල ඇති නිල්වන් පැහැයෙන් හිමිදිරි පාන්දර ඔවුන් විසින් ඇඳුමක් වියනු ලබයි. එම ඇඳුම ඊයේ ඉපදුණ කුළුඳුල් දියණියකට බව ඔවුහු පවසති. .

‘මාලගිරා තටු සේ ම රුවින් යුතු’ ආදි උපමා භාවිතයෙන් කුඩා දියණියගේ මුදු මොලොක් බවත්, උත්පත්තිය පිළිබඳ දෙමව්පියන් තුළ ඇති වූ සුන්දර හා ප්‍රසාදජනක සිතිවිලිත් මතු කරයි. එයින් කවියා ධ්වනිත කිරීමට උත්සාහ ගෙන ඇත්තේ බුදු දහමේ උගන්වන ‘උප්පාද’ යන වචනයේ යතාර්ථයයි. එනම් සෑම භෞතික වස්තුවක ම හට ගැනීමයි.

සන්නාලියනේ සන්නාලියනේ මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා කාටද ඇඳුම වියන්නේ
සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ
සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ
ඒ කුළුඳුල් දූ දීගෙක දෙන්නයි මංගල ඇඳුම වියන්නේ

මෙම රෙදි වියන සන්නාලියන් විසින් නැවතත් ඇඳුමක් වියනු ලබයි. එය සන්ධ්‍යාවක ආකාශයේ පවතින රන්වන් පාටින් යුක්ත ය. එම ඇඳුම හෙට දීගෙට දීමට සූදානම් වන, ඉහත සඳහන් කළ දියණියට බව පවසයි.

යුග දිවිය මිනිසාගේ පැවැත්මට හේතු වන සමාජ ක්‍රියාකාරකමකි. එය මානවයාගේ ඉදිරි පැවැත්මට හේතු කාරක වෙයි. මෙය බුදු දහමේ ‘ඨිති’ හෙවත් පැවැත්ම යනුවෙන් සඳහන් වූ යතාර්ථය බව කවියා නිරූපණය කිරීමට ගත් උත්සාහය අතිශයින් ම ප්‍රශස්ත ය. එහි දී ‘සැන්දෑ අහසේ රන්වන් පාටින්’ යනුවෙන් යොදන පදවල යුග දිවියක සුන්දරත්වය ධ්වනිත කරවයි.

සන්නාලියනේ සන්නාලියනේ සීතල හඳ එළියේ
මැලවුණු මුහුණින් වෙව්ලන දෑතින්
කාටද සළුව වියන්නේ සීතල සළුව වියන්නේ
කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ
කාටද සළුව වියන්නේ
කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ
මියගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සළුව වියන්නේ

මෙම සන්නාලියන් විසින් අවසන් ඇඳුමක් වියනු ලබයි. එය වියනු ලබන්නේ ඉහතින් සඳහන් කළ යුග දිවියට පාත්‍ර වුණ එම දියණියගේ මිනිය වසන්න බව සඳහන් කරයි.

එම අවස්ථාව ප්‍රකාශ කළ භාෂාවත් විශේෂ වූ පදවැලත් අතිශයින් අවස්ථාවෝචිත ය. එනම්, එය සීතල සඳ එළිය තිබූ අවස්ථාවකි. මුහුණ මැලවී ගොස් ය. දෑත් වෙවුලමින් පවතී. කණ කොකුන්ගේ තටුවල ඇති සුදුමැලි පාට මෙම වියන සළුවේ ඇත.

මෙම සියලුම යෙදුම් මගින් කවියා ධ්වනිත කිරීමට අදහස් කරන්නේ ලෝකයේ නිත්‍ය නොවන්නා වූ අනිත්‍ය ස්වභාවයයි. අනිත්‍ය යනු වෙනස් වීමයි. වෙනස්වීම වෙනස් කළ නොහැක. එය ලෝක යතාර්ථයයි. එම වෙනස් වීමේ කෙළවර විනාශයයි; මරණයයි.

මෙම ගීතයේ අවසන් කොටසින් ජීවිතයක අවසානය තම සහෘද සිත් සතන්වලට සෞන්දර්යාත්මක ව සමීප කරවීමට කවියා ගත් උත්සාහය අතිශයින් ම ප්‍රසන්න ය.

එනම් මෙය බුදු දහම උගන්වන ‘භංග’ හෙවත් විනාශය යන යතාර්ථයයි.

මෙම ගීතයේ ඇත්තේ ගැඹුරු දහමයි. ගීතවල පවතින සංගීතයත් , පදවැලත් , විරිතත් සහෘදයා ඉමහත් ආනන්දයට පත් කරවයි. ආනන්දය ළඟ නොනැවතී ප්‍රඥාව කරා තම සදාදරණීය සහෘදයා රැගෙන යාමට කිසියම් සාහිත්‍යකරුවකු සමත් වන්නේ නම්, ඔහු ඒකාන්තයෙන් සියල්ලන්ගේ ප්‍රශංසාවට ලක්වන්නේ ය. මහගම සේකරගේ පන්හිඳීන් අකුරු-වචන බවට පත් වී අමරදේව ස්වරයෙන් තවදුරටත් පණ පෙවුණ මෙම ගීය සත්‍ය වශයෙන් ම බුදු දහම උගන්වන ලෝක යතාර්ථයයි.

මෙයින් ලබා දෙන්නේ ගීතයකින් ලබා දෙන රසාස්වාදනයෙන් ඔබ්බට ගමන් කරන නිරාමිස ප්‍රීතියකි. විමුක්තිය සොයා යන යෝගාවචරයකුට මඟ කියා දෙන සදූපදේශාත්මක මහඟු ඔවදනකි. මෙය වරෙක ධර්ම දේශනයකි. වරෙක භාවනාවකි.

  මැදින් පුර පසළොස්වක 

  මාර්තු 28 ඉරිදා පූර්වභාග 03.27 පසළොස්වක ලබා 29 සඳුදා පූර්වභාග 00.17 ගෙවේ.
ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]