[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මගේ රට වෙනුවෙන් කළ හැකි යුතුකම ඉටු කළා

මගේ රට වෙනුවෙන් කළ හැකි යුතුකම ඉටු කළා

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ජා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ එක්සත් රාජධානියේ බ(ර්)මිංහැම් බෞද්ධ මහා විහාරය, ලෙස්ටර් ධර්මාශෝක බෞද්ධ විහාරය, ස්ටෝක් ඔන් ට්‍රෙන්ට් බෞද්ධ විහාරය යන විහාරත්‍රයාධිපති, ජාත්‍යන්තර සහන පදනමේ සභාපති, මහා විහාර වංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහා බ්‍රිතාන්‍යයයේ උප ප්‍රධාන සංඝ නායක, ආචාර්ය විතාරන්දෙණියේ කස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

අපේ හාමුදුරුවනේ, ජීනීවා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට විරුද්ධව ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් මහ බ්‍රිතාන්‍යය සංඝ සභාවේ උප සභාපති සහ ජාත්‍යන්තර බෞද්ධ සහන සංවිධානයේ සභාපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ වශයෙන් ඔබ වහන්සේ 46 වන ජීනීවා සැසිවාරය අමතමින් පළමු දේශනය සිදු කළා. මාතෘභූමිය හා විරෝධාර රණවිරුවන් වෙනුවෙන් ඔබ වහන්සේ ඒ අභීත හඩක් නැගූ එම අවස්ථාව සිහිපත් කරනවා නම්,

එහිදී මම ප්‍රකාශ කරන්නට යෙදුනේ, “මහ කොමසාරිස්වරියගේ වාර්තාව ශ්‍රී ලාංකික ජනතාව අතර සංහිඳීයාව සහ ජනවාර්ගික සමඟිය වර්ධනය කිරීමට සහයෝගයක් නොදක්වන බව කිව යුතුයි. යුද්ධය අවසාන වී දශකයකට අධික කාලයක් ගත වී ඇතත්, ඔබ විසින් ඉදිරිපත් කළ සියලුම යෝජනා ඉෂ්ට කර ගැනීමට අපොහොසත් වී තිබෙනවා. ශ්‍රී ලාංකික ප්‍රජාවගේ අපේක්ෂාවන් අභිලාෂයන් සැලකිල්ලට නොගෙන ඔවුන්ටම අනන්‍යවූ සංස්කෘතික සුවිශේෂීතාවයන් නොතකා එල්. ටී. ටී. සංවිධානය හා ඊට සම්බන්ධ කණ්ඩායම්වලට පක්ෂග්‍රාහීව එම යෝජනා ගෙන ඒම එය අසාර්ථක වීමට හේතුව ලෙස අපි දකිනවා. එල්. ටී. ටී සටන්කරුවන් සහ ළමා සොල්දාදුවන් රැසක් හමුදාබාරයේ සිට පුනරුප්ථාපනය කර නිදහස් කෙරුණා. ඔවුන් නිදහස් කිරීමේ දී කිසිවකු ඊට විරුද්ධ වූයේ නැහැ. ඊට හේතුව ශ්‍රී ලාංකිකයන් අනුකම්පා සහගත දයාන්විත ජනතාවක් වීමයි. ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සංස්කෘතික ලක්ෂණ හැඩගැසී ඇත්තේ ප්‍රධාන වශයෙන් බෞද්ධ පසුබිමක් තුළයි. එම නිසා ස්වකීය රාජ්‍යයයේ ආරක්ෂාව තහවුරු කරන රටේ ජාතික ආරක්ෂාව ආරක්ෂා කරමින් දේශීය සංදර්භය සංස්කෘතිය සහ ආගමික සංදර්භය ඔස්සේ මඟ පෙන්වන නව්‍යකරණය වූ ප්‍රායෝගිකව සලකාබැලිය හැකි විසඳුම් කරායාමට ජාත්‍යන්තර ප්‍රජාව ඉඩදෙනු ඇතැයි අප විශ්වාස කරනවා.”

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඇතුළු විරෝධාර රණවිරුවන් එල්. ටී. ටී. ඩයස්පෝරාව විසින් පෝරකයට ගෙනයාමට උත්සාහ කළේ මේ රටට සාමය උදාකළ නිසයි. උදේ ගෙදරින් පිටත් වුණාම සවසට ගෙදර යාම ගැන විශ්වාසක් නැහැ. එවැනි තත්ත්වයකින් පැවති රට බේරාගන්න හැකිවුණේ අපේ හමුදාව නිසයි. මගේ රට වෙනුවෙන් අවශ්‍ය වෙලාවට මට කළ හැකි යුතුකම ඉටු කළ බව හිතනවා.

ථේරවාදී බුදු දහම ලොව පුරා ප්‍රචලිත කිරීමට සුවිශේෂී ශාසනික කාර්යභාරයක නියැළී සිටින මහතෙරුන් වහන්සේ නමක් වශයෙන් වැඩසිටින ඔබ වහන්සේගේ ශාසනික ජීවිතයේ ප්‍රවේශයත්, විදේශ ධර්ම දූත මෙහෙවරෙහි ආරම්භයත් සනිටුහන් වුණේ කුමන ආකාරයෙන් ද?

මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුවේ විතාරන්දෙණිය ග්‍රාමයේ 1953 වර්ෂයේ දී උප්පත්තිය ලැබුවා. දෙවුන්දර වාචිස්සර නායක හිමිපාණන් වහන්සේ හා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඤාණිස්සර නායක හිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1968 මාර්තු 01 වැනිදා විතාරන්දෙණියේ කස්සප යන උතුම් ශාසනික නාමයෙන් උත්තරීතර පැවිදි දිවියට එළඹුණා. හුණුපිටිය ගංගාරාම පිරිවෙනින් පිරිවෙන් අධ්‍යාපනයත් කැලණිය විශ්වවිද්‍යාලයෙන් උපාධියත් ලබාගෙන 1981 දී ගංගාරාම පිරිවෙනේ ආචාර්යවරයකු වශයෙන් සේවය ආරම්භ කළා.

ගංගාරාම විහාරයට සම්බන්ධ අවිස්සාවේල්ල සුධර්මාරාම විහාරස්ථානයේ වැඩසිටි කාලයේ ගලබොඩ ඤාණිස්සර හිමිපාණන් වහන්සේගේ හා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ඇල්ප්‍රඩ් එදිරිසිංහ මහතාගේ ආරාධනාවකට අනුව අප්‍රිකාවේ ටැන්සානියාවේ විහාරස්ථානයකට 1983 වර්ෂයේ දී වැඩම කළ දින සිට මේ දක්වා විදේශ ධර්ම දූත කටයුතුවල යෙදී සිටිනවා.

ටැන්සානියාවේ පන්සලට බණ අහන්න අපූරු තරුණයෙක් ආවා. බොහෝ කාලයක් බණ අහන්න පන්සලට පැමිණියත් දානය පූජා කළත්, ඔහු එවකට ටැන්සානියා ජනාධිපති ජූලියස් නියරේරේ ගේ පුතා , ඇන්ඩෲ නියරේරේ බවට ප්‍රකාශ කළේ නැහැ. මම ඒ බව දැනගෙන සිටියෙත් නැහැ. වැඩි දුර බුදු දහම හැදෑරීමට ශ්‍රී ලංකාවට කැඳවගෙන යන ලෙස ඉල්ලීම කළ අවස්ථාවේදී තමයි එතුමා ජනාධිපතිතුමාගේ පුතා බව දැනගත්තේ. 1985 දී කොළඹ ගංගාරාම විහාරස්ථානයට කැඳවාගෙන ඇවිත් වසර 2 ක් පමණ පොත්පත් කියවමින් බුදු දහම ඉගැන්වීමට කටයුතු කළා. නැවතත් මම අප්‍රිකාවට වැඩම කළා. පසුව 1986 දී නැවත මම එංගලන්තයට වැඩම කරමින් ජාත්‍යන්තර වශයෙන් ධර්මදුත කටයුතු වගේම සමාජ සේවා කටයුතු ආරම්භ කළා. ලේස්ටර් නගරයේ ධර්මාශෝක බෞද්ධ විහාරයත්,ස්ටොක් ඔන් ට්‍රෙන්ට් බෞද්ධ විහාරයත් ආරම්භ කළා. එකම විහාරස්ථානයක් පමණක් තිබුණු එංගලන්තය පුරා සෑම නගරයකම පාහේ වැඩම කරමින් බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීමට සංවිධානාත්මක වැඩපිළිවෙළක් දියත් කළා. එම විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා වැඩසිටිමින් ආගමික කටයුතු සිදුකරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් පිළිගත් international buddhist relief organization (I B R O) යනබෞද්ධ සංවිධානය ආරම්භ කළා. එම සංවිධානය ලොව වටා බෞද්ධ ආගම සහ සංස්කෘතිය ප්‍රචලිත කිරීමට කටයුතු කරනවා. එහි ශාඛාවන් ශ්‍රී ලංකාවට අමතරව රටවල් රැසක පිහිටා තිබෙනවා. 1992 වර්ෂයේ දී බර්මිංහැම් මහා විහාරය නමින් විහාරස්ථානයක් midland international Buddhist association  සංවිධානය යටතේ ආරම්භ කළා.

1996 වර්ෂයේ දී ඉතාලියේ මිලාන් නගරයේ ශ්‍රී ලංකාරාම නමින් විහාරස්ථානයක් ආරම්භ කළා. ආගමික කටයුතු සඳහා ස්වාමීන් වහන්සේ නමක්වත් සොයාගැනීමට නොහැකි තත්ත්වයත් ඉතාලියේ තිබුණත්, මේ වන විට සමස්ත ඉතාලිය පුරාම බෞද්ධ විහාරස්ථාන ඉදිකරලා තිබෙනවා. 1988 දී සයිබීරියාවේ සෝවියට් ඇන්ග්ලෝ මිත්‍ර සංගමය ආරම්භ කළා. කොළඹ හුණුපිටිය ගංගාරාමයේ දී ආගමික හා සාමාජික වශයෙන් ලබා තිබුණු ආභාසය ධර්මදූත සේවයට ඉතාමත් ප්‍රයෝජනවත් වුණා.

යුද්ධය දරුණු ලෙස පැවැති කාලවකවානුව තුළ විශාල වශයෙන් ලක්ෂ ගණනාවක් වටිනා ඇස්කණ්ණාඩි , රෝදපුටු, කිහිලිකරු, ශාරීරික අංග ( අත්,පා)ආදීය ශ්‍රී ලංකා හමුදාව වෙනුවෙන් ලංකාවට පරිත්‍යාග කිරීමට කටයුතු කළා. සුනාමි ව්‍යසනයේ දී මිනිසුන්ට අවශ්‍ය වන මිලියන 2 ක් වටිනා භාණ්ඩ කන්ටේනර් 14ක් සමාජ සේවා දෙපාර්තමේන්තුවට යොමුකළා. වැලිගම අග්‍රබෝධි විහාරයට සම්බන්ධ සුනාමි ගම්මානයක් ඉදිකළා. ඊට අමතරව 2002 වර්ෂයේ දී midiands Buddhist community association නමින් බෞද්ධ හා සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා සංගමයක් ආරම්භ කළා. බෞද්ධ රටවල පමණක් නොවෙයි, සෑම රටකම අධ්‍යාත්මික සුභසාධනය වෙනුවෙන් සිදු කළ විදේශ මෙහෙවර අගයමින් 2003 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ රුහුණු විශ්ව විද්‍යාලය senate ශාඛාව සහ supreme sangha souncil මගින් ගෞරව ආචාර්ය උපාධියක් ද පිරිනැමීමට කටයුතු කළා. ඒ එක්සත් රාජධානියේ බෞද්ධ භික්ෂුවකට ලොව පිළිගත් ආයතන දෙකකින් ද්විත්ව උපාධියක් පිරිනැමූ ගෞරවනීය ප්‍රථම අවස්ථාවයි.

1986 වර්ෂයේ සිට ජාති ආගම් භේදයකින් තොරව ලෝකය වටා සිදුකෙරෙන සමාජ සත්කාරයන් ඇගයීමට ලක්කරමින් 2008 වර්ෂයේ දී බ්‍රිතාන්‍ය එලිසබත් රැජින විසින් ර්‍ණ ඕ ඡ් ගෞරව නාමයෙන් පුදනු ලැබුවා. මගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යනු ලබන සමාජ සත්කාරයන් හේතුවෙන්

international Buddhist relief organization පුණ්‍ය ආයතනයට , එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ පිළිගැනීමක් (un special status) හිමි වුණා.

එක්සත් රාජධානියේ බර්මිංහැම්හි ඉදිවෙමින් පවතින යුරෝපයේ විශාලතම ශ්‍රී ලාංකේය බෞද්ධ විහාරය වන බර්මිංහැම් බෞද්ධ විහාරස්ථානයේ නිර්මාතෘවරයාණන් වහන්සේ වශයෙන් ඔබ වහන්සේට විශේෂ කරුණක් ප්‍රකාශ කරන්නට ඇති . ඒ පිළිබඳ අදහස කෙබඳු ද?

වැවයි දාගැබයි, ගමයි පන්සලයි කියලා අතීත ශ්‍රී විභූතිය ගැන උදම් අනල වැඩක් නැහැ. අපිත් මොනවා හරි කරල යන්න ඕනේ. මෙම විහාරස්ථානය යුරෝපයේ ඉදිවන විශාලතම ථේරවාදී බෞද්ධ මහා විහාරයයි. 2005 වසරේ දී අවශ්‍ය භූමිය මිලට ගෙන මහල් හතරකින් සමන්විත වන ආකාරයට කළුතර චෛත්‍යයට සමාන චෛත්‍යයක්, එම චෛත්‍ය තුළ තැන්පත් කිරීමට බුදුපිළිම 28 ක්,බුදුමැදුරක් ,දාන ශාලාව, පුස්තකාලය ආදී අනෙකුත් සියලු විහාරාරාංග ඇතුළත්ව සැදැහැවතුන් 200 ට අධික පිරිසකට ප්‍රමාණවත් වන ලෙස ඉදිකර අවසානයි. ලෝකයාට බුදු දහම කියාදීම සඳහාත්, භාවනා පුහුණුව සඳහාත් මෙම. විහාරස්ථානයෙන් සිදුකළ හැකි සේවය අප්‍රමාණ යි. මෙම විහාරස්ථානය බෞද්ධයන්ට පමණක් නොවෙයි, ලෝක ආගමික නායකයන්ට, අන්තර් ආගමික සහජීවනය පිළිබඳව කතා කිරීමට, ඉගැන්වීමට, අධ්‍යාපනික, සංස්කෘතික මධ්‍යස්ථානයක්. ථේරවාදී බෞද්ධයන්ට ගමේ පන්සලක්. මෙම විහාරය ඉදිකිරීමට විවිධ ජාතීන්ගේ උදවු උපකාර ලැබී තිබෙනවා .

  මැදින් පුර පසළොස්වක 

  මාර්තු 28 ඉරිදා පූර්වභාග 03.27 පසළොස්වක ලබා 29 සඳුදා පූර්වභාග 00.17 ගෙවේ.
ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]