[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙවිවරු අතර සුමන සමන් දෙව් රජ අභිමානවත් වන්නේ ඇයි ?

දෙවිවරු අතර සුමන සමන් දෙව් රජ අභිමානවත් වන්නේ ඇයි ?

ශ්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදුවී මාස නවයකින් වර්ෂ 2608 කට පෙරදී ප්‍රථම වතාවට මේ හෙළ දිවයිනේ මියුගුණයට වැඩමවා වදාළ සේක.

එහිදී දෙසූ දම් අසා ප්‍රථමයෙන් මාර්ගඵලලාභියා වූයේ සබරගමුවැසි සුමන සමන් දෙවි මහරජු ය. කේශ ධාතු නිධන් කොට මහියංගන වෙහෙර කරවූ ලක්වැසි දෙවිඳු ය.

දෙවැනිවර නාගදීපයට බුදුරදුන් වැඩම කළේ මීට වසර 2604 කට පෙරදී බුදු වී පස් වසරකිනි. එහිදී ද තමන් වසන අඩවියට වැඩම වීමට ඇරයුම් කළේ ද සුමන සුරිඳු ය.

තෙවැනිවර කැලණියට ගෞතම බුදුරදුන් වැඩමවූ දා මීට වසර 2600 කට පෙරදී බුදුවී අට වසරකින් සමනලයට වැඩමවා උතුම් ශ්‍රීපාදය පිහිටුවීමට ඇරයුම් කළේ මේ හෙළයේ ප්‍රථම බෞද්ධයා වූ මාර්ගඵලලාභී සුමන සමන් දෙව් මහරජු ය.

ශ්‍රී ලංකා ධරණී තලයේ විශේෂ වූ පර්වතය අක්‍රිය වූ ගිනි කන්දක් සේ සැලකේ. සූර්ය වංශ පරම්පරාවේ ඍෂිවරයෙක් වූ අගස්ති නම් මුනිවරයාගේ වාසභූමිය වේ.

අගස්ති පුලස්ති විශ්‍රව වෛශ්‍රව රාවන හෙළ පරපුරේ මහා තම්බදේව මහරජුගේ පුත්‍ර වූ සුමන සමන් දෙව් මහරජු ශ්‍රී ලාංකිකයෙකි. විවිධ උගතුන්ගේ මත පළවී ඇති බව පෙනේ. ඒ අයට වැටහුණ පරිදි කීමට මැලිව ඇත සත්‍යය.

එනමුත් වෙන දෙවි කෙනෙක් නොව පදපෙරලි හා මොන අදහස් ප්‍රකාශ කළ ද මේ සිරිලක දෙවියෙකි සුමන. භාරත සමිද්ධි සුමන නොවේ.

සුභදි සුමන යනු දෙවිවරු දෙදෙනෙකි
පැහැදි සුමන යනු සිරිලක දෙවියෙකි
සමිදි සුමන යනු දඹදිව දෙවියෙකි
මෙහිදී සුමන යනු දෙදෙනෙකි දනුසකි

මෙයින් ද මහා වංසයේ සඳහන් දෙවි දඹදිව අයෙකි. සමිද්ධි සුමන දෙවිඳුට වඩා තේජස් ඇති දෙවියා සුමන සමන් දෙවිඳු වේ. සූර්ය වංශානුගත ව පැවැත එන වහා වැටහෙන නුවණින් යුත් ශ්‍රී ලාංකික දෙවියෙක් බව සඳහන් කළ හැකි ය.

අප රටේම ජනිත වූ දෙවි කෙනෙක් බව සඳහන් කළ හැකි කරුණු වලින් ස්වල්පයක් ප්‍රකාශ කරමි. මොහු මහා තම්බදේව මහරජුගේ වැඩිමහලු පුතා ය. චූලසුමන නම් සහෝදරයෙක් ද මහලොකූ නමින් සහෝදරියක් ද සිට ඇත. භාරත ශාක්‍ය වංශයෙන් විවාහ කරගෙන ඇත. ඇය පමිතා නම් වේ.

එක පුතෙක් ද සිටිය බව සංදේශ වලින් ද පැහැදිලි ය. තව ද ගම්පළ යුගයේ නිමවන ලද ලංකාතිලක විහාරයේ සමන් දෙව් රජු සමඟ බිසවගේ රුව ද ඇත. සබරගමු දේවාලය සමන් දෙව් රජුගේ මාළිඟාව සේ සැලකේ.

කන්ද උඩින් බැස්ස කලට
පෙනේය උළු මාලිගාව
ලංකාවට තිලකයක්ය
සබරගමුවේ මාලිගාව

දෙවියන් වෙසෙන තැන දේවාලයයි. නමුත් මේ හෙළ දෙව් රජුගේ වාසභවන මාළිගාව වීමත් ඒ වෙනුවෙන් සබරගමු මහා සමන් දෙවොලේ කරන පෙරහරින් ද කරුණු එළි වේ.

වෙනත් කිසිම දෙවියකුට ගමන් කිරීමට මෙවන් වාහනයක් නොමැත. (හස්ති)

පෙරහරේ රජුගේ ඊතලය ගෙන යන පෙරහර සමන් දෙව් රජ පෙරහරයි.

ඊළඟට යන රථය පුත් කුමාර සහ රථය කුමාර පෙරහරයි.

පසුව ගෙන යන දෝළාව බිසවගේ ආභරණ ගෙනයන දෝළාවයි. එය බිසෝ පෙරහරයි.

මෙවන් පෙරහරක් ලක්දිව කොතැනකවත් නොමැත. මෙයින් ද සනිටුහන් වන්නේ ලක්වැසි රජෙක් බවයි. සුමන සුරිඳු, සුමන සමන් දෙව්රජු දේව ගෝත්‍රික ලාංකිකයෙකි. තවද දේවගති වලින් යුක්ත උසස් මිනිසෙකි. “සචචං භනෙන කුජෙජ්‍යය”. සෝවාන් වූ කෙනෙක් අභාවයට ගිය පසු සතර අපායේ නූපදී. දෙවියන් මිනිසුන් අතර පමණක් පහළ වන බව සැබෑ ය. එබැවින් උතුම් ශ්‍රීපාදය පිහිටුවීමට මූලික වූ සුමන සමන් දෙවි මහ රජු ඒකාන්තයෙන් දෙවියෙකි.

පොළොන්නරු යුගයේ මහරජු පැමිණ විශ්මිත ක්‍රියාදාමය කෙරෙහි පැහැදී ප්‍රථමයෙන්ම සමන් දෙවිඳු උදෙසා ශ්‍රීපා මලුවට දෙවොලක් තැනීම ඇරඹූහ. ලක්වැස්සන් හා ලෝ වැස්සන් මිසදිටු බවින් මුදවීමට මූලික වූ ප්‍රථම ලාංකිකයා නම් සුමන සමන් දෙව් මහරජු බව නිසැකයෙන්ම කිව යුතු වේ.

ලක්බුදු සසුන රැකීමට වරම් ලැබුවේ ද වෙනත් උපුල්වන් දෙවියෙක් නොවේ. භාරතයන් විෂ්ණුට බාර කළාට සත්‍යද?

සමන් දෙවියන් භාරත දෙවියෙක් නම් දෙවියන් උදෙසා යාඥා ගායනා ස්තෝත්‍ර නොමැත්තේ ඇයි? ඉන්දීය ස්තෝත්‍ර කවච මාලාවල නොමැත්තේ මේ දෙවිඳු ලක්දිව දෙවියෙක් නිසා නොවේදැයි බලනු මැනවි. තිස්තුන් කෝටියක් දෙවිවරු අතර ආයුධ රහිත එකම දෙවියා අපේ සුමන සමන් දෙවිරජු නොවේදැයි සිතන්න. අපේ අභිමානයකි.

ජනානං වන්ද මානානං පත්ථනා සාධකං වරං
තථාගත පාදං වන්දෙ දෙවින් දෙහිපි වන්දිතං

උතුම් ශ්‍රීපාදයට ජනයා වන්දනා කිරීමෙන් ඔවුන්ගේ අදහස් ඉෂ්ට කරන දෙවිඳුන් විසින් ද වන්දනා කරන ගෞතම ශ්‍රීපාදයට වන්දනා කරමු.

රාජරාජ මහ ඇමතීන් පූජනීයත්වයට සරිලන සේ ශ්‍රීපා මලුව සකසා ඇත. ලක්වැසි බොදු දනන්ගේ පූජාවන්ට ලක් වූ මේ තැන දුටු මිසදිටුවන් ඔවුන්ගේ කර ගැනීමට වෙර දැරූහ.

වරින්වර මිසදිටුවන් මේ ස්ථානය විනාශ කිරීමට ද කටයුතු කළහ. මුස්ලිම්වරු බාබා මලෙයි ද, හින්දුවරු ශිව පාදම් ද, කතෝලිකයන් ආදම් පාද ද ව්‍යවහාර කළහ. කිසිදු අයිතියක් ඔවුන්ට නැත. ජනයා මිසදිටු බවින් මුදවා ගැනීමට ලක් රජු වන සමන් සුරිඳු බුදුරදුන්ට කළ ඇරයුමෙන් අදිටනින් මඟුල් ලකුණු සහිතව ශ්‍රීපා ලාංඡනය පිහිටුවා වදාළ සේක. පන්දහසක් කල් පවතී. සත්‍ය වේ. පොළොන්නරු, දඹදෙනි, ගම්පල, නුවර යුගවලදී රාජ අනුග්‍රහය ලැබිණ.

කෝට්ටේ යුගයේ දී හින්දු කෝවිලක් කිරීමට රජු ආඬින්ට බාරදුන් විට පැල්මඩුලු පොත්ගුල් විහාරවාසී මඩගම්මන හිමියෝ ඔවුන් පළවා හැර කණු සිටුවා තලඅතු සෙවිලි කොට ආවරණයක් සාදා බෞද්ධ උරුමය රැකගෙන ඇත. රජු මඩගම්මන හිමිට සන්නසක් දී තිබේ. පසු කල පැල්මඩුලු විහාරවැසි මහා මාලිම්බඩ හිමියන් ප්‍රකාර බැඳ පඩි ද සකස් කොට ආරක්ෂා කළහ. කීර්ති ශ්‍රී මහරජුගේ නියමයෙන් වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න නාහිමි පිළිසකර කොට පුද සිරිත් පැවැත්වීම ඇරඹූහ. වන්දනාව දුෂ්කර වූ බැවින් යකඩ දම්වැල් ද ඉනිමන් ද යොදා ඇත.

ශිෂ්‍යානුශිෂ්‍යයන් ද ආරක්ෂා කර ගත්හ. ගාල්ලේ මේධංකර ශ්‍රීපා නාහිමි ඒ දඬු පාලම් අම්බලම් සැකසූහ. ඉඳුරුවේ ශ්‍රීපා නාහිමි නැවත සියල්ලම පිළිසකර කොට මංමාවත් ද සැකසූහ.

හික්කඩුවේ නාහිමි කල ලැඟුම් ගෙවල් ද සාදන ලදී. මොරොන්තුඩුවේ නාහිමි කල හැටන් පාර පඩි සකසා අත්වැටක් ද මහගිරිදඹේ කරවූහ. එම වකවානුවේ දී 1947 කොතලාවල මහ ඇමතිතුමාගේ මැදිහත්වීමෙන් ආලෝක පූජාව සදාකල්හිම පවතින ලෙස යෙදූහ. ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ මැදිහත්වීමෙන් ජලනල පද්ධතිය 1962 දී සිදු කළහ. 1972 සිට 2011 දක්වා කාලය තුළ බටුගෙදර නාහිමි, හඳපාන්ගොඩ නාහිමිවරු ලැඟුම් ගෙවල් හා දන් ගෙවල් ද නවාතැන් පහසුව ද සැකසූහ.

වර්තමානය වන විට උතුම් ශ්‍රී පාද පුදබිම තුළ සැදැහැවත් ජනී ජනයාට වන්දනාමානයට පහසුව සලසනු පිණිස බොහෝ සංවර්ධන කටයුතු සිදු කොට තිබේ. ඒ සඳහා බොහෝ පින්වත් පිරිස් කලින් කල තම ධනය, ශ්‍රමය, කාලය කැප කළහ.

මේ මහඟු පින්කම් සඳහා දායක වූ සැමට නිවන් පසක් වේවා යි පතමි.

උතුම් ශ්‍රී පාදස්ථානයේ හා සමන් දෙවිඳු පිහිටෙන් අප රටට යහපතක් වේවා. ආශිර්වාද වේවා. රැකවරණ වේවා.

චිරං තිටඨතු ලොකස්මිං
සම්මා සම්බුද්ධ ශාසනං

  මැදින් පුර පසළොස්වක 

  මාර්තු 28 ඉරිදා පූර්වභාග 03.27 පසළොස්වක ලබා 29 සඳුදා පූර්වභාග 00.17 ගෙවේ.
ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]