[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසුන් කෙත බැබළවූ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමිපාණෝ

සසුන් කෙත බැබළවූ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමිපාණෝ

භික්ෂු ජීවිතයක් බහු ජනතාවගේ හිතසුව සඳහා යෙදවීමට භික්ෂූන් වහන්සේ කෙරෙහි ප්‍රධාන වශයෙන් උපයෝගී වන්නේ ජනපි‍්‍රය ධර්ම කථිකත්වය සහ පරිණත ධර්ම ශාස්ත්‍රීය ඥානයයි. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම අංශ දෙකෙහි ම සම්පූර්ණත්වය නිසා ස්වකීය ජීවිතය අර්ථ සම්පන්න කළ සංඝ පීතෘවරයාණ කෙනෙකි.

සම්බුද්ධ දේශිත ධර්මයේ ආශීර්වාදය සමාජයේ සෑම අංශයක් කෙරෙහි ම යොමු කරවමින් ජනතාවගේ ගුණ මානසිකත්වය සංවර්ධනය කරනු සඳහා නාහිමිපාණන් වහන්සේ විසින් දරන ලද ප්‍රයත්නය අතිශයින් ම ප්‍රශස්ත ය. මෙසේ සසුන් කෙත ශොභාවත් කරමින් වැඩ සිටි අතිපූජ්‍ය උත්තරීතර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීම සම්බුද්ධ ශාසනයට කිව නො හැකි තරමේ පාඩුවකි.

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොටුගොඩ ඉතා සම්භාවනීය පරපුරක් වන මහනුවර රජ වාසල සම්බන්ධ තනතුරු නම්බුනාම ලබාගත් ඇඳවිතාරණගේ හරමානිස් රුද්‍රිගු හා ඇඳවිතාරණගේ සෙලෙස්තිනා රුද්‍රිගු නම් සැදැහැති දම්පතීන් නිසා 1933 ජනවාරි මස 26 වන දින උපත ලද උන්වහන්සේ කොටුගොඩ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් අධ්‍යාපනය ආරම්භ කොට ඉගෙනුමෙහි යෙදී සිටියදී ගල්කිස්සේ ධර්මපාලාරාමාධිපති ව වැඩ විසූ පූජ්‍ය උණවටුනේ ධම්මපාල මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1948 අගෝස්තු 12 වන දින සම්බුදු සසුනට ඇතුළත් වූහ.

සිය ගුරු දේවයන් ඇසුරෙහි මූලික බණ දහම් වත් පිළිවෙත් ආදියෙහි පුහුණුවක් ලද ධම්මාවාස පොඩි හාමුදුරුවන්ට රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙණ මූලික ශාසනික අධ්‍යාපනයේ ගුරුකුලය විය. උද්ග්‍රහණ ධාරණයෙහි සහජ කුශලතා විදහා දැක් වූ උන්වහන්සේ ආචාර්යවරුන්ගේ ද ප්‍රසාදය හිමි කරගත් දීප්තිමත් ශිෂ්‍යයෙක් වූහ. මෙම දක්ෂතා නිසාම උන්වහන්සේ ධර්ම විනය, ශබ්ද ශාස්ත්‍ර ඉගෙනීම සඳහා එවකට උසස් අධ්‍යාපන ආයතනය වූ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට 1952 වර්ෂයේ දී ඇතුළත් කරනු ලැබූහ. විද්‍යෝදය පිරිවෙණේ දී සම්භාවනීය මහතෙරුන් වහන්සේලා වෙතින් ධර්ම ශාස්ත්‍රයත් ත්‍රිපිටක ධර්මයත් හදාළ ධම්මාවාස හිමිපාණන්ට අතිපූජ්‍ය බද්දේගම පියරතන නාහිමිපාණන් මෙන්ම පලන්නෝරුවේ විමලධම්ම නාහිමිපාණන් වහන්සේ ධර්මාචාර්යත්වයෙන් ක්‍රියා කොට ඇත.

විද්‍යෝදය පිරිවෙන් අධ්‍යාපනයේ දී විනයාචාර්ය හා සද්ධර්මාචාර්ය විභාග ඉහළින් සමත්වීමට ධම්මාවාස හිමියෝ දක්ෂ වූහ. අනතුරුව ධර්මදූත සේවයෙහි යෙදීමට ඇල්මක් දැක් වූ හෙයින් මරදානේ පධානඝර විහාරස්ථානයේ ආරම්භ කොට තිබූ ධර්මදූතයන් පුහුණු කිරීමේ පාඨමාලාවට බැඳී ධර්මදූත සේවය සඳහා අවශ්‍ය දැනුමත් විශේෂ ඉංගී‍්‍රසි භාෂාවත් හදාරා ඒ පිළිබඳ ප්‍රගුණත්වයක් ලැබීමට සමත් වූහ. අනතුරුව උන්වහන්සේ මරදාන පෙම්රොක් විද්‍යාලයට බැඳී එම පාඨමාලාව ද අවසන් කොට ඉංගී‍්‍රසි භාෂාව ව්‍යවහාරයට අවශ්‍ය නිපුණතාව ලබා ගත්හ.

පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමිපාණෝ මධුර ධර්ම දේශකයාණ කෙනෙකු ලෙස තරුණ වියේ සිටම කීර්තියට පත් වූහ. 1954 වර්ෂයේ කළුගඟ උදකුක්ඛේප සීමාමාලකයේ දී උතුම් උපසම්පදාවට පත් උන්වහන්සේට උපාධ්‍යය වූවාහු අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත බේරුවල සිරිනිවාස මහානායක මාහිමිපණන් වහන්සේයි.

වර්තමානයේ ජනපි‍්‍රය ධර්ම දේශකයාණන් වහන්සේලා අතර විශිෂ්ට ස්ථානයකට පත්ව සිටින්නේ පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමිපාණෝ ය. ධර්ම දේශනයක් පවත්වන විට පෞරාණික ස්වරූපය වූයේ ත්‍රිපිටකයෙන් යම් මාතෘකාවක් තෝරා ගෙන අටුවා ටීකා හොඳින් විමසා ධර්මය විග්‍රහ කිරීම ය. උන්වහන්සේ එසේ ලබාගත් ධර්ම ඥානය සමගම පැවැති විශ්මය ජනක මතක ශක්තිය ද උන්වහන්සේට ම විශේෂ වූවකි. මෙසේ බුදුදහම අර්ථවත් කරමින් විසිතුරු ලෙස ධර්මය දේශනා කළ නිසා ගිහි පැවිදි කාගේත් ගෞරවාදරය දිනා ගැනීමට උන්වහන්සේ සමත් වූහ. ධර්ම කරුණු පැහැදිලි කිරීම සඳහා ජාතක කතා ආදී කතාන්දර තැනට ගැළපෙන පරිදි ඉදිරිපත් කිරීමට උන්වහන්සේට පැවතියේ අපූරු හැකියාවකි. මෙ නිසා උන්වහන්සේ ධර්ම දේශනා නො කළ ගමක් පන්සලක් ලංකාවේ නොමැති තරම් ය. ජනාධිපති මන්දිරයේ සිට රාජ්‍ය ආයතනවල ධර්ම දේශනා පැවැත්වීමේ වරප්‍රසාදය උන්වහන්සේට හිමි වී තිබිණි. ගුවන්විදුලිය රූපවාහිනිය ආදී මාධ්‍යයෙන් ද මුද්‍රිත මාධ්‍යයෙන් ද ධර්ම දූත මෙහෙවර දහම් ලැදියවුන්ගේ සිත් තුළ පවතී.

දේශීය ව පමණක් නොව ජාත්‍යන්තර ව ද උන්වහන්සේගේ ධර්මදේශනා අගය කළ විශාල ශ්‍රාවක පිරිසක් සිටියහ. නේපාලයේ කත්මණ්ඩු නුවර චාබහිල් චාරුවතී විහාරය උන්වහන්සේගේ ධර්ම දේශනා ඇසීමෙන් ප්‍රසාදයට පත් නේපාල ජාතිකයන්ගේ පරිත්‍යාගයකි. එමෙන්ම මියැන්මාර් යැංගුන් නුවර මියන්මාර් ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානය ද එවැනි ධර්මදේශනා මාලාවක ප්‍රතිඵලයකි. එපමණක් නොව ඉන්දියාව, රුසියාව, එංගලන්තය, අමෙරිකාව, ප්‍රංශය, ජර්මනිය, පාකිස්ථානය, සිංගප්පූරුව, නේපාලය, තායිලන්තය, බුරුමය වැනි රටවල බොහෝ වාරවල සංචාරය කරමින් ආගමික කටයුතුවලට සහභාගී වී ඇත.

පර්චස් 13 ක් පමණ කුඩා ඉඩමක පැවති ගල්කිස්සේ ධර්මපාලාරාමය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පර්චස් 97 ක් දක්වා පෙදෙසක ව්‍යාප්ත කරමින් විහාර සංවර්ධනය සඳහා ප්‍රශංසනීය සේවයක් ඉටු කොට තිබේ. විහාර මන්දිරය, ධර්මශාලාව, චෛත්‍ය දහම් පාසල් මන්දිරය, දෙමහල් පුස්තකාලය, සංඝාවාසය ආදී විහාරස්ථානවලින් සමන්විත ව රමණීය පුදබිමක් ලෙස සකස් කිරීමට උන්වහන්සේට හැකියාව ලැබී තිබේ.

එමෙන්ම දෙහිවල ගල්කිස්ස බෞද්ධ ජනතාව අතර ආගමික භක්තිය හා ආගමික ප්‍රබෝධය ඇති කිරීමෙහි ලා සමිති සමාගම් ආරම්භ කිරීමත් 1960 වර්ෂයේ සිට වාර්ෂිකව වෙසක් පොහොය වෙනුවෙන් ධර්ම ග්‍රන්ථයක් එළිදැක්වීමත් එය ප්‍රදේශය පුරා බෙදා හැරීමත් සිදු කොට තිබේ. සදාචාරගරුක සාමකාමී සමාජයක් බිහි කිරීමේ කටයුත්තෙහි භික්ෂූන් වහන්සේ අතින් දැරෙන පරිශ්‍රමය අතිශයින්ම ප්‍රසංශාර්හය. ආගමික විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ධර්ම ග්‍රන්ථ රචනා කොට ස්වකීය කුශලතාවන් උපයෝගී කොටගෙන ජනතාව තුළ ධර්ම ගෞරවය ඇති කරවීමට ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ සම්පාදනයෙහි සුවිශේෂ කාර්ය භාරයක් අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමිපාණන් සිදු කොට තිබේ.

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ව්‍යක්ත ප්‍රතිබල සමාපත්තාව හා විචිත්‍ර ධර්ම කථිකත්වය මෙන්ම සංඝ ශෝභනතාව ආදී විශිෂ්ට ගුණ සම්භාරය නිසා ම උන්වහන්සේට විවිධ තනතුරු ලැබුණේ නිරායාසයෙනි. සංක්ෂිප්ත ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ අනුශාසක ධූරය, බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලයේ අනුශාසක ධූරය, ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ සාමාජිකත්වය, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහා මහෝපාධ්‍යාය ධූරය, විද්‍යොදය පිරිවෙණේ ආදි ශිෂ්‍ය සංගමයේ ගෞරව සාමාජික ධූරය ආදී විවිධ තනතුරු දැරීමට උන්වහන්සේ තෝරා ගනු ලැබූයේ උන්වහන්සේගේ චරිතයේ ප්‍රකටව පෙනුණු සුවිශේෂී සංඝ නේතෘ ලක්ෂණ නිසා ය. විද්‍යෝදය පිරිවෙණේ කීර්තිධර ආදි ශිෂ්‍යයන් වෙත පිරිනැමෙන “ශ්‍රී සුමංගල විද්‍යාවතංස” ගෞරව නාමය උන්වහන්සේ වෙත පිරිනැමුණේ යථෝක්ත මහනීය සාසන සේවා ගැඹුරින් සලකා බලා ය.

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධූරීත, අග්ගමහා පණ්ඩිත ශ්‍රී ධර්මපාල වංශාලංකාර සද්ධර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන්සුව අත් වේ වා.

  මැදින් පුර පසළොස්වක 

  මාර්තු 28 ඉරිදා පූර්වභාග 03.27 පසළොස්වක ලබා 29 සඳුදා පූර්වභාග 00.17 ගෙවේ.
ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]use.lk