[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් පුර අටවක 2021.03.21

සංවරකම රැක ගැනීම

මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමිපාණන් වහන්සේ ලාංකේය බෞද්ධ ජනතාවගේ නමස්කාර පූර්වක ගෞරවාදරය දිනාගත් මහා යතිවරයන් වහන්සේ නමකි. උන්වහන්සේ මිනිස් වර්ගයාට සේ ම ගහකොළට, සතා සිව්පාවට ද අසීමිත ව කරුණාව දැක්වූහ. එහෙයින් ම මිනිසුන්ගේ ආධ්‍යාත්මික ගුණධර්ම පෝෂණය කොට උභයාර්ථ සාධනය උදාකර දෙනු පිණිස ඇප කැප වූහ. උන්වහන්සේ නිතර පෙන්වා දුන් කරුණක් විය. ඒ, ‘මිනිසා නොහදා රට හදන්නට නොහැකියි’ මිනිසාත් හදාගෙන රට හදා ගනිමු’ යන්නයි.

ශ්‍රී සද්ධර්මය තුළ අන්තර්ගත වන්නේ ම මිනිසාට හැදෙන්නට ඇවැසි ධර්ම කරුණු ය. සදහම් මඟ යනවා යනු ඒ ධර්ම කරුණු ජීවිතය තුළ ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම ය. දැනුමට, සාකච්ඡාවට, දේශනයට, පොතට පතට පමණක් සීමා නොකොට ජීවිතයට ගළපා ගැනීම ය. එසේ නොකොට තමන් බෞද්ධයකු යැයි කෙතරම් හඬ නැඟුව ද අභ්‍යන්තරය හිස් ය. ක්‍රියාව විපරීත ය.

ආධ්‍යාත්මික ගුණධර්ම වර්ධනය වන තරමට සමාජයක විනය රජයන්නේ ය. විනය, සංවරකම චරිතය බබළවන ආභරණය. එය මිනිසා කවුරුදැයි ලෝකයට පෙන්වන කඩපතක් බඳු ය. එහෙයින් විනය, ශික්ෂණය යන්නට මුල්තැන ලැබිය යුතු ම ය. අවිනය බහුල වූ තැන රටක, සමාජයක අභිමානය බිඳ දමන සමාජ විරෝධී ක්‍රියාකාරකම් සිදුවිය හැකි බැවිනි. අතීතයේ සිටම ලාංකේය බෞද්ධ සමාජයේ හැදියාව අගය කෙරුණි. මුල් තැන ලැබුණි. කුඩා කල සිටම පූර්වාචාර්යවරුන්ගෙන් එය දරුවන්ට දායාද වුණි.

එහෙත් අද තත්ත්වය ඇතැම් තැනෙක වෙනස් වී ඇති සැටි පෙනේ. පිරිමි දරුවන් යම් දඩබ්බරකමක් කළ විට එය කොල්ලෝ කොලුකමට කළ වැඩෙකැයි යම් තරමකට නොසලකා හැරීම සාමාන්‍ය ස්වභාවයයි. එහෙත් ගැහැනු දරුවන්ට නම් සමාජයේ දී එවැන්නකට ඉඩක් නැත. බොදු දියණිය තුළ සංවරකම, හැදියාව අත්‍යවශ්‍ය ය. ඇය ආරක්ෂාවන ආයුධය ද එයම ය. අශෝභන හැසිරීම් ඇති ගැහැනු දරුවකුට සමාජයෙන් එන කරදර බොහෝ ය. වඩා සැලකිය යුතු තවත් කරුණක් තිබේ. මතු දිනෙක යහපත් දරුවකුට අම්මා කෙනෙක් වන්නේ ඇයයි. රටක් රාජ්‍යයක් පාලනය කරන්නට, මහා තනතුරු, නිලතල හොබවන්නට ද ඇය ශක්තිමත් ය. ඒ සඳහා ඇය චරිතය ද රැකගත යුතු ය.

ඇය නොමඟ ගිය කල, අවිනයවත් වූ කල ඇයට සේ ම රටට ද වන අවැඩ කෙසේ ප්‍රමාණාත්මක කරන්න ද? පිරිමි දරුවන් අසංවර වීම හොබනේ යැයි මෙහි සාධාරණය කිරීමක් නැත. සමාජයේ දෑස් වැඩියෙන් එල්ල වන්නේ ගැහැනු දරුවාට ය. එහෙයින් ඇය අභිමානවත් චරිතයකින් යුතුව ජීවිතය සැලසුම් කරගත යුතුම ය.

පසුගියදා අපට අසන්නට, දකින්නට ලැබුණු නොහොබිනා සිදුවීමක් විය. ඒ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවියන් පිරිසකගෙනි. පාසලේ පමණක් නොව මහ මඟ ද අඬදබර වූ අශෝභන ස්වරූපය සමාජ මාධ්‍ය ඔස්සේ රටටම දැක ගන්නට හැකිවුණි. ඇතැම් විද්‍යුත් මාධ්‍යවල ද දර්ශනය වුණි. තවත් තැනෙක පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවනට නොගැලපෙන සාදයක්

පිළිබඳව ද තොරතුරු වාර්තා වුණි. අපගේ දරුවන් (සියල්ලන් නොවේ) ගමන් කරන මඟ අපැහැදිලි ය. ඔවුන් යම් තැනක මං මුළා වුවහොත් අනාගතයේ මුළු සමාජයට ම මුහුණ දෙන්නට සිදු වන්නේ භයානක සිදුවීම්වලට ය. එහෙයින් අපේ දරුවන්ට සංවරකම, හැදියාව පුරුදු පුහුණු කරවීමට ප්‍රමුඛත්වය දිය යුතුව තිබේ. මව්පියන් ඒ ගමනේ පෙරමුණ ගත යුතුම ය. දරුවන්ට වැරදුණේ නම් වගකීම ද, දෝෂාරෝපණය ද හිමි වන්නේ මව්පියන්ටම වන බව ද මතකයට ගත යුතු ය.

  මැදින් පුර අටවක 

 මාර්තු 21 ඉරිදා පූර්වභාග 07.10 පුර අටවක ලබා 22 සඳුදා පූර්වභාග 09.00 ගෙවේ.
ඉරිදා සිල්
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]