[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සංසිඳුණු සිත

සංසිඳුණු සිත

" ඉවසීම බෝධිසත්ව උතුමන් විසින් පුරුදු කරනු ලබන පාරමිතාවකි. එය දස පාරමිතා අතර ඛන්ති පාරමිතාව හෙවත් ශාන්ති පාරමිතාව හැටියට පෙන්වා දී තිබෙනවා. ධර්මයෙන් විග්‍රහ කරන්නේ නම් “යථාවබෝධය ලැබෙන විට ඉවසීම නම් වූ නුවණ, ඤාණය ස්වභාවයෙන් ම සිත තුළ ඇතිවන බවයි."

මෙය ධර්මානුකූලව සඳහන් කළොත් “සබ්බේ සංඛාරා අනිච්චාති” යන්නට ඇතුළත් කර ගන්න පුළුවන්. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යය, දුක්ඛය, අනත්තයට යටත් ය කියන වචන පෙළින් අපිට තේරුම් ගන්න පුළුවනි. අපගේ ජීවිතය හට අරගෙන, බිඳී නැති ව යන්නේ ය. යමක් හට අරගෙන බිඳී නැතිව යන්නේ නම්, එය ස්ථිර නොවන්නේ ය. එය නිරන්තර වෙනස්වීමකට පත්වෙන්නේ නම් එය මගේ කියා හෝ මම වෙමි කියා හෝ මගේ වසඟයේ, මම කැමැති පරිදි පවත්වා ගැනීමක් ඇත්තේ ය යනුවෙන් ගැනීමට බැරිය. සිතෙහි දරා ගැනීමට බැරිය. මේ අදහස ඉතා ම මැනවින් තේරුම් ගැනීම යථා භූත ඤාණයයි. ඒ යථාභූත ඤාණය පහළ වන විට සම්මත ලෝකය තුළ අප කරන කියන සෑම දෙයක් ම කැමැති වූව ද, ඇකැමැති වූව ද ඒවා ඒ ආකාරයෙන් ම දැන ගැනීමට අවශ්‍ය වෙනවා. එනම් යහපත් වූ දේ යහපත් ලෙස දකිනවා. එහෙත් ඒවා මගේ ය. මම වෙමි. මට ඕනෑ ආකාරයෙන් පවතිනවා ය කියන හැඟීම සිතෙන් දැඩිව ගන්නේ නැහැ. එතැන දී අදහස් කරන්නේ ලෝභය සංසිඳවීමයි. ඒ වගේ ම යම් වස්තූන්, පුද්ගලයන් හා සිතිවිලි වෙනස්වීම නිසා අපේ සිතෙහි අකමැති බවක් ඇතිවෙන්න පුළුවන්. තමන් කැමැති දෙයක් එසේ නොපැවතී ම වෙනස්වීමයි. එය සංස්කාර වස්තූන්ගේ ස්වභාවයයි. අන්න ඒ වෙනස්වීමේ දී සිතෙහි ගැටීමක් තරහවක්, ව්‍යාපාදයක් ඇතිකර ගන්නේ නැතිවීම අර යථාවබෝධයෙන් ඇතිවන ඵලයක්. යම් ආකාරයෙන් අවබෝධ කර ගන්නා විට ම ඉ වසීමේ ගුණය ඇතිවෙනවා. ඉවසනවා යන අදහසින් පෙන්නුම් කරන්නේ, තමන්ට යමක් කරගන්න, කියා ගන්න බැරි වූ විට ඕනෙ දෙයක් සිදුවුණා දෙන් කියන අදහසින් නිශ්ශබ්දව සිටීම ම නොවෙයි. සමාජමය වශයෙන් බැලූ විට අන් අයගේ නපුරු වචනවලට නපුරු වශයෙන් ප්‍රතිචාර නොදක්වා. නපුරු ක්‍රියාවලට නපුරු ක්‍රියාවෙන් ප්‍රතිචාර නොදක්වා සංසුන් ව සිටීම හොඳයි. නමුත් ධර්මානුකූල අදහසින් නම් සිතේ තරහව, වෛරය, කේන්තිය, නොරුස්නා බව සිතෙහි දරාගෙන ඉවසනවා කියන අදහස පෙන්නුම් කරමින් කතා නොකොට, ක්‍රියා නොකොට සිටීම වැදගත්කොට සලකන්නේ නැත. වැරැදි ලෙස කතා කිරීම හැසිරීම නොකොට යුතු දෙයක්. එය මතුපිට අර්ථයයි. නමුත් ධර්මානුකූල අදහස නම් සිතෙහි ඇතිවන තරහව, වෛරය, ක්‍රෝධය, නපුරුකම් කිරීමට ඇතිවන සිතිවිලි පාලනය කර ගැනීමයි. අවසානයේ සංසිඳවා ගැනීමයි. මෙයයි යමක් තතු තතු ආකාරයෙන් දැනගන්නා විට ඇතිවන නුවණ, ඉවසීමේ ගුණය හැටියට පෙන්නුම් කළේ. මෙය විදර්ශනාවයි. යමක් ප්‍රිය වුණත්, ප්‍රිය ස්වභාවය සමඟ කටයුතු කරනවා. ධර්මානුකූල ව කටයුතු කරනවා. සීලයේ පිහිටා කටයුතු කරනවා. නමුත් තදින් ඇලීමක් ඇති කර ගන්නේ නැහැ. අකමැති අරමුණකට මුහුණ දුන්නත් අකමැති බව දකිනවා. නමුත් එයට නරක ලෙස තරහ, වෛරය, ඊර්ෂ්‍යාව සමගින් වචනයෙන් ක්‍රියාවෙන් හෝ සිතිවිලිවලින් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එයට හේතුව හට අරගෙන බිඳී යන වස්තූන් ය, යන අදහස යථාවබෝධයෙන් දැනගෙන සිත තුළ අකුසල කර්ම රැස්නොකොට ගැනීමට තමා තුළ ඇති හැකියාවයි. මෙය කරණිය මෙත්ත සූත්‍රයේ “සක්ඛෝ” වචනයෙන් පෙන්වා දී තිබෙනවා. මේ සඳහන් කළේ ගැඹුරු ධර්ම විවරණයයි.

සරල ලෙස සඳහන් කරන්නේ නම්, මේ උතුම් ධර්ම විවරණය කුඩා කල පටන් ඕනෑම කෙනෙකුගේ ජීවිතය තුළ පුරුදු කර ගත යුතු ගුණයකි. උපතින් ම ලැබෙන ස්වභාවය නම් කැමැති අරමුණේ ඇලීමත්, අකමැති අරමුණේ ගැටීමත් ය.

පුංචි ම දරුවෙක්, අම්මාගේ උණුසුමට ළංවීමට කැමැතියි. අම්මාගේ උණුසුම නොවූ විට හැඬීමට පත්වෙනවා. ඒ උණුසුම නැතිවීම නිසා ඇතිවන අකමැත්ත නිසයි, කුසගින්න දැනෙන විට කිරි බීමට කැමැති වෙයි. එහෙත් කුසගින්න නම් වූ අකමැති සිතිවිලි පහළවන විට කෑ ගසා හඬන්නට, දඟළන්නට වේ. එය ස්වභාවයෙන් ඇතිවන සිදුවීමක්. මනුෂ්‍යයන්ට පමණක් නොව තිරිසන් සත්වයන්ටත් එය පවතිනවා.

මේ නිසා පළමුවෙන් අප ඉහත සඳහන් කළ ධර්ම විවරණය අනුව වැඩිහිටියන්, මව්පියන් විසින් ඉවසීමේ ගුණය ධර්මානුකූල අදහසකින් පුරුදු කරගත යුතුයි. එය අවබෝධයෙන් ඇති කරගන්නා වූ ඉවසීමයි. එනම් ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් මුල් කර ගත් තරහව, වෛරය හෝ දැඩි ආශාවන් ඇති නොවන ආකාරයෙන් සිත සංසිඳවා ගැනීමයි. ඉවසීමේ ගුණය හැටියට ධර්මයේ පෙන්වා දෙන්නේ. එය ඔබේ ජීවිතවලටත් පැහැදිලියි. යමක් හැබෑවට සමාජ සම්මතය තුළ යහපත් වූ දේ පවා තදින් ඇලෙන්න යෑමේ දී විපත් විය හැකියි. එතනදිත් සඳහන් කරන්නේ කොයිතරම් කැමැති වුණත් ඔබට ඒවා පවා පරිහරණය කිරීමේ දී ඉවසීමක් තිබිය යුතු බවයි. ඕනෑවට වඩා කලබල වී සම්මතයේ පවතින යහපත් වූ දේට පවා ඇලෙන්නට, බැඳෙන්නට යෑම නො ඉවසීමේ ගුණය නිසයි. “නුඹේ පවතිනා නො ඉවසීම නිසා ම නුඹට ලැබෙන්න තිබුණු දේ නුඹෙන් නැතිව ගියා. "ලැබුණ දේ නුඹ විනාශ කර ගත්තා" කියන තැනක පවතිනවා. ඒ වගේ ම අනවබෝධයෙන් කටයුතු කරන විට තමන් අකමැති දේට මුහුණපාන්නට සිදුවෙනවා. එනම් අන් අයගේ රැවුම්, ගෙරවුම්, තාඩන, පීඩන, නපුරු, වචන, පරුෂවචන, කේළාම් ආදී වශයෙන් මේ සියල්ලක් කෙරෙහි ම දැඩිව තමාගේ සිත තුළ තරහ, වෛරය ඇති වෙනවා. එයට වචනයෙන්, සිතිවිලිවලින්, ක්‍රියාවෙන් විවිධ ආකාරයෙන් ප්‍රතිචාර දක්වන්නට යාමත්, එය නො ඉවසන ගුණයක්. සමාජය තුළ වඩාත් ම නො ඉවසීම හැටියට පෙන්නුම් කරන්නේ එයයි. ඒවා ඉදිරියෙහි සිතේ ස්වභාවය කෙසේ වෙතත් වචනයෙන්, පරුෂ වචනයෙන් හෝ වෙනයම් ආකාරයේ සැරපරුෂ ආකාරයෙන් බොරුකීම්වලින් ප්‍රතිචාර දක්වන්නේ නැති නම් ගහ බැණ ගැනීම්, නපුරුකම් කිරීමේ වැරැදි ලෙස හැසිරීම් ආදියෙන් ක්‍රියා කරන්නේ නැති නම් එය ඉවසීම හැටියට සමාන්‍ය ලෝකයා පෙන්වා දෙනවා. නමුත් ඉහත සඳහන් කළ ධර්ම විවරණයෙන් සිතින් ම අවබෝධයෙන් අකුසල කර්ම රැස් නොවන ආකාරයෙන් සිතෙහිත්, වචනයෙහිත්, ක්‍රියාවෙත් ඇති කර ගන්නා වූ පාලනය සංසිඳීම ඉවසීමේ ගුණයයි.

   පොසොන් අමාවක පෝය 

පොසොන් අමාවක පෝය
ජුනි 20 සෙනසුරාදා පූර්ව භාග 11.52න් අමාවක ලබා 21 ඉරිදා අපර භාග 12.11ට පෝය ගෙවේ.
සෙනසුරාදා සිල්

මීළඟ පෝය 28 වනදා
ඉරිදා
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]