[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෙන් කතා : භූතයා එළවීම

සෙන් කතා

භූතයා එළවීම

එක්තරා පුද්ගලයෙකුගේ බිරිඳ බරපතළ රෝගී තත්ත්වයකට පත්වූවා ය. ඇය මරණ මංචකයේ දී තම ස්වාමිපුරුෂයා අමතමින් ”මම ඔබට හුඟාක් ආදරෙයි. මට ඔබ අතහැර යන්න බැහැ, මම කැමති නැහැ ඔබව අවිශ්වාස කරන්න, මට පොරොන්දු වෙන්න මම මියගිය පසු වෙනත් ගැහැනියක් ආශ‍‍්‍රය නොකරන බවට, හැබැයි ආශ‍‍්‍රය කළොත් මම ඔබ ළඟ හොල්මන් කරනව” යනුවෙන් පවසා ඇය මිය පරලොව ගියා ය.

ඇයගේ මරණයෙන් පසු මාස හත අටක් පමණ ගතවනතුරුම මරණයට පත්වීමට පෙර ඇය කියූ දේ ඔහුගේ මනසේ රැව් පිළිරැව් දෙමින් පැවතිණි. එම නිසා ඔහු කාන්තාවක් දෙස නිකමටවත් බැලුවේ නැත. නමුත් පසුව ඔහු කෙරෙහි ඇල්ම හෙලූ කාන්තාවක් සමඟ ආදරයෙන් බැඳුණි. කලකට පසුව විවාහවීමට තීරණය කර, ඔහු ඇය තම නීත්‍යනුකූල බිරිඳ කර ගත්තේ ය. විවාහ වූ දින රාති‍‍්‍රයේ පෙර බිරිඳ භූතයෙකු සේ ඔහු වෙත පැමිණියා ය. පොරොන්දු කඩ කිරීම පිළිබඳව ඇය ඔහුට දොස් පැවරුවා ය. සෑම දිනක ම රාතී‍‍්‍ර ඇය ඔහු වෙත පැමිණ ගර්හා කළා ය.

බිරිඳ මරණයට පත්වන දිනයේ ඔහු සමඟ කතා බහ කළ සියලු දේ වචනයෙන් වචනය ඔහුට සිහිපත් කළා ය. එදා ඇය ඇඳෙහි වැතිර සිටි ආකාරය, අමාරුවෙන් වචන ගැලපූ ආකාරය, තමන් ඇය දෙස බලා සිටි ආකාරය ඇතුළු සියල්ල භූතයා ඔහුට පෙන්වීය. එදා ඒ සිදුවීම් සියල්ල ඇහෙන දකින ඔහුට රාති‍‍්‍රයට නින්දක් නම් අහලකටවත් එන්නේ නැත. භූතයාගෙන් ඇතිවන සිතේ අවුල ඔහු නින්දෙන් ඈත් කර දැමුවාය.

අලුත් විවාහ ජීවිතයේ බලාපොරොත්තු සුන් වූ ඔහු මේ සඳහා තම ගම සමීපයෙහි ජීවත් වූ සෙන් ගුරුතුමාගෙන් උපදෙසක් ලබා ගැනීමට අදහස් කෙළේ ය. ඒ අනුව ඔහු සෙන් ගුරුතුමා මුණ ගැසීමට ආශ‍‍්‍රමයට ගොස් සියලු කරුණු කාරණා මුල සිට අගට පැහැදිලි කළේ ය.

ඉතා සාවධානයෙන් සියල්ල අසා සිටි සෙන් ගුරුතුමා මේ ඉතා දක්‍ෂ බලගතු භූතයෙකැයි කීවේ ය.

”හා, එහෙමද?”

විශ්මයාර්ථයෙන් කියූ ඔහු ඇය මා කියූ සහ කළ සියලු දේ සහ වූ පොරොන්දු ආදිය ද මා කරන දේවල් පිළිබඳව ද හොඳටම දන්නවා යැයි කී ය.

සෙන් ගුරුතුමා මඳක් සිනා සී ”එපමණ දක්‍ෂ භූතයෙක් දැකීම ගැන ඔබ ආඩම්බර විය යුතුයි, කෙසේ වුවත් ඊළඟ දවසේ භූතයා පැමිණි විට කුමක් කළ යුතුදැයි මම ඔබට කියා දෙන්නම්‘‘.

පසුදින රාති‍‍්‍රයේ ද භූතයා පැමිණියේ ය. ගුරුතුමා උපදෙස් ලබා දුන් ආකාරයට ”උඹ හුඟාක් බුද්ධිමත් භූතයෙක්, උඹ දන්නව මම කරන හැම දෙයක්ම, උඹෙන් මට සඟවන්න බැහැ. උඹට පුළුවන් නම් මම අහන ප‍‍්‍රශ්නයට පිළිතුරු දීපන්, මම මේ සම්බන්ධය නතර කරල මගේ ජීවිතේ ඉතිරි කාලය තනිවම ජීවත් වෙනව”.

”උඹේ ප‍‍්‍රශ්නය අහපන්” භූතයා පිළිතුරු දුණි.

ඔහු බිම තිබූ ගෝනියෙන් මෑ ඇට මිටක් අතට ගත්තේ ය. ”මගේ අතේ හරියටම මෑ ඇට කීයක් තියෙනව ද?” ඔහු විමසී ය.

පිළිතුරක් නැත. භූතයා නොපෙනී ගියේ ය. ඉන්පසු කිසි දිනෙක භූතයා පැමිණියේ නැත.

මෙයින් අපට ලබා ගත හැකි ආදර්ශය වන්නේ භූත, අවතාර, හොල්මන් යනු මිනිසාගේ මනස තුළ මිනිසා විසින්ම ඇති කර ගනු ලබන්නා වූ භ‍‍්‍රාන්තියක් පමණක් බවයි.

   පොසොන් අමාවක පෝය 

පොසොන් අමාවක පෝය
ජුනි 20 සෙනසුරාදා පූර්ව භාග 11.52න් අමාවක ලබා 21 ඉරිදා අපර භාග 12.11ට පෝය ගෙවේ.
සෙනසුරාදා සිල්

මීළඟ පෝය 28 වනදා
ඉරිදා
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]