[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නාගයින් හඬා වැලපුණු රාවගල

නාගයින් හඬා වැලපුණු රාවගල


රාවගල කඳු මුදුනේ පිහිටි ඉපැරැණි චෛත්‍යය

කලින් කල ඇති වූ පරසතුරු ආක්‍රමණ නිසා අපේ වෙහෙර විහාර රැසක් විනාශ වී ගිය බව ඉතිහාසයේ දැක්වෙනවා. එමෙන්ම රාජධානි මාරුවීමත් සමඟම ඇතැම් සිද්ධස්ථාන කෙරෙහි අවධානය යොමු වී නැති බවත් අපට පෙනී යනවා.

මේ බොහෝ සිද්ධස්ථාන පසුගිය දශක කිහිපය තුළ සොයා ගෙන ඒවා ප්‍රතිසංස්කරණය කළත් නැඟෙනහිර පළාතේ තවමත් පුරා විද්‍යා ඇස නොගැටුණු බෞද්ධ ඓතිහාසික සිද්ධස්ථාන රැසක් තිබෙනවා. වසර 800කට පමණ පසු කඨින පින්කමක් පැවැත්වූ ‘රාවගල‘ එයින් එක් සිද්ධස්ථානයක්. කාලිංග මාඝ විසින් විනාශ කළ පුදබිමක් ලෙස රාවගල හඳුන්වා දෙන්න පුළුවන්.

මේ ඓතිහාසික සිද්ධස්ථානය පිහිටා ඇත්තේ මඩකළපුව - ත්‍රිකුණාමලය මාර්ගයේ මූතූර් නගරයට කිලෝමීටර් 12ක් පමණ මඩකළපුව දෙසට වන්නටයි. මඩකළපුව දෙසට ගමන් කරද්දී මාර්ගය අද්දරම වම් පැත්තේ සිංහ රුව සහිත සුදු පැහැති තොරණකින් හෙබි රාවගල පුදබිම අපට හමුවෙනවා.

නැඟෙනහිර පළාතේ හුදකලා වූ එකම, උසම කන්ද මෙය වනවා. කඳු මුදුනට ත්‍රිකුණාමලය වරාය දක්වාත්, අනෙක් පැත්තෙන් සේරුවිල හා ලංකා පටුන දක්වාත් වූ ප්‍රදේශය ඉතා පැහැදිලිව දර්ශනය වනවා. එම නිසා යුද සමයේ ත්‍රස්තවාදීන් විසින් මේ ස්ථානය ඔත්තු බැලීම සඳහා භාවිත කර තිබෙනවා.

රාවගල සම්බන්ධ වූ ඓතිහාසික කතාවක් අපට ධාතුවංශයේ දැකගන්නට පුළුවන්.

සේරුවිල විහාරස්ථානය ගැන කියැවෙන ධාතු වංශයේ දැක්වෙන ආකාරයට සේරුවිල චෛත්‍යයේ නිධන් කිරීමට කේශ ධාතු ලබා ගැනීම පිණිස ශිව මහ රහතන් වහන්සේ නාග ලොවට වැඩම කර තිබෙනවා. ජයසේන නම් නාගරාජයා ශිව මහ රහතන් වහන්සේ වැඩම කරනු දැක ඔවුන් සතුව තිබූ කේශ ධාතූන් ඇතුළත් කරඬුව ගිල දමනවා. ඒ නාගයින් ධාතූන් වහන්සේට දැඩි ඇල්මක් දැක්වූ හෙයින්.


රාවගල කඳු මුදුනට පිවිසෙන සිංහ තොරණ

‘‘ස්වාමීනි, ඇයි නාග ලොවට වැඩම කෙළේ‘‘ ජයසේන නා රජු ශිව මහ රහතන් වහන්සේගෙන් විමසනවා.

‘‘සේරුවිල වෛත්‍යයක් කරනා හෙයින් ඒ සඳහා කේශ ධාතූන් වැඩම කරවනු පිණිස වැඩම කෙළෙමි‘‘

ශිව මහ රහතන් වහන්සේට පිළිතුරු දෙන ජයසේන නා රජු පවසන්නේ කේශ ධාතූන් තමන් අත නොමැති බවත්, හැකියාවක් ඇත්නම් සොයා ගන්නා ලෙසයි. තමා අත නොමැති බව පැවසුවත් ධාතූන් ඇතුළත් කරඬුව නා රජු විසින් ගිල දමා ඇති බව දිවැසින් දුටු රහතන් වහන්සේ නා රජුගේ උගුරට අත දමා එය රැගෙන නා ලොවින් පැමිණෙනවාත් සමඟම ජයසේන නා රජු තම මස්සිනා ද කැටුව සෙසු නාගයින් සමඟ ශිව මහ රහතන් වහන්සේ පසුපස හඹා ආ බව ධාතු වංශයේ දැක්වෙනවා.

‘දෙව් මිනිසුන් සහිත වූ ලොවට පිහිට වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධාතු පරිහරණය කොට සතර අපා දුකින් මිදෙන්නා වූ අප නිශ්ශෝභ කොට ‘ධාතූන් වහන්සේ ගෙන ගිය මහණු‘ ලුහු බඳවා ගනුම්හ‘ යි දෙකෙළක් පමණ වූ නයින් ගෙන තමාගේ බෑණා හා සමඟ ඔවුන් වහන්සේ පසු පස්සෙහි ලුහු බඳවා එන්නේ අහසට නැංගේය. එකිණෙහිම තෙරුන් වහන්සේ අහසින් බැස පොළව කිමිද යට වන් සේක ‘ඒ නයිදු පොළොවට එන්නාහුය. මෙසේ ඒ තෙරුන් වහන්සේ ඒ නයින් හා සමඟ නැඟෙමින් බසිමින් පෙළහර දක්වා සේරු නුවරට නුදුරු තෙන ගල් අතළකට නැගි සේක.‘

‘ නයි තෙරුන් අල්වා ගන්ට නොහැකිව මහ හඬින් හඬා ඒ ගල් අතළ පිට හිඳ ඇම දෙනම එක්ව පින්වත්නි මෙයින් මත්තෙහි අපි ඇම නටුම්හ‘යි මහ හඬින් හැඬුවාහුය. එතැන් පටන් ඒ ගල් අතළ නයින් රැව් පිළිරැව් දී හැඬූ බැවින් රාවගල් නම් වූයේ ය.‘

ධාතු වංශයේ දැක්වෙන පරිදි ‘රාවගල්‘ නම් ගල්තලාවේ සිට නාගයින් ශෝක වූ ගල්පර්වතය ‘රාවගල‘ නම් වුවත් එහි ඉදිකර තිබූ ඉපැරැණි චෛත්‍යය ඇතුලු සියල්ල කාලිංඝ මාඝගේ ආක්‍රමණයත් සමඟ විනාශයට පත් වූ බව අපේ ඉතිහාසයේ දැක්වෙනවා. එහෙත් කඳු මුදුණේ ඉදි කරන ලද චෛත්‍යය පමණක් නටබුන් වූ තත්ත්වයකින් තවමත් ඉතිරි ව තිබෙනවා. එහෙත් අවාසනාවකට තවමත් පුරාවිද්‍යාවේ ඇස මේ කෙරෙහි යොමුව නැහැ.


බලල්ලේ රතනසාර හිමි

කාලිංඝ මාඝගේ ආක්‍රමණය සිදු වන විට මේ ප්‍රදේශයෙහි ආරාම කෝටියක් තිබුණු බවත් කෝටියක් ආරාම ඇති නිසා ‘කෝටියාරම‘ හෙවත් ‘කොට්ටියාරම්‘ වශයෙන් හඳුන්වා තිබෙනවා. පසුව කොට්ටියාරම් පත්තු වශයෙන් මේ ප්‍රදේශය අද දක්වාම හඳුන්වා ඇත්තේ ද එහෙයින්. ශ්‍රී මහා බෝධියට සම කාලීන බෝධීන් වහන්සේ නමක් මේ ආසන්නයේ තිබුණ ද මෑත කාලයේ එක්තරා අන්තවාදීන් පිරිසක් විසින් ඒ බොදු උරුමය විනාශ කළ නිසා එය සිහිවීම පිණිස රාවගල විහාරය කොට්ටියාරම මූල මහා විහාරය නමින් අද හැදින්වීමට වත්මන් විහාරාධිපති බලල්ලේ රතනසාර හිමියන් විසින් කටයුතු කර තිබෙනවා. කිලෝමීටර් 15ක් දෙපසටම යනතුරු කිසිදු බෞද්ධ ජනතාවක් සොයාගැන්මට නොමැති පරිසරයක් තුළ මේ බෞද්ධ සිද්ධස්ථානය රැක ගැන්මට විහාරාධිපති හිමියන් දක්වන්නේ විශාල කැපකිරීමක්. දෙමළ ජනතාව පවා මේ පින්බිමට පැමිණ සිල් සමාදන් වීම විශේෂත්වයක්.


රාවගල රැක ගන්නට රතනසාර හිමි කටයුතු කරන්නේ මේ කුඩා ආවාසයේ සිටය

රාවගල විශේෂත්වයක් ගන්නේ එය රජවරුන් විසින් ශාසනයට පූජා කළ ස්ථානයක් නොවීමත්, භික්ෂූන් වහන්සේ විසින් ගල් ලෙන් වාස භූමි බවට පත් කර ගෙන එය පූජා භූමියක් බවට පත් කරගත් ස්ථානයක් වීමත් නිසයි.

කාවන්තිස්ස රජු සමයේ ආරම්භ කරන ලදැයි සැලකෙන මේ පූජාභූමිය පසු කලෙක වළගම්බා රජු විසින් වැඩි දියුණු කළ බව ද සඳහන්. එහෙත් කාලිංඝ මාඝගේ ආක්‍රමණය නිසා වල්වැදී ජනතාවගෙන් ඈත් වූ මේ පින් බිම හා ආසන්න බෞද්ධ සිද්ධස්ථාන යළි ජනතාවට ලබා දීම පිණිස දඹගස්ආරේ සුමේධංකර නාහිමියෝ දැඩි වෙහෙසක් ගෙන තිබෙනවා. උන් වහන්සේ සේරුවිල චෛත්‍යය ජනතාවට වන්දනා මාන පිණිස සොයා දුන් අතර එතැනින් පසුව අවට ඇති නීලපොළ, විල්ගම් වෙහෙර, රාවගල වැනි සිද්ධස්ථාන ගැන ද අවධානය යොමු කළා.

උන් වහන්සේගේ අපවත් වීමෙන් පසුව සේරුවිල සරණකිත්ති නාහිමියන් විසින් රාවගල බෞද්ධයන් උදෙසා ලබා දීමට කටයුතු ආරම්භ කළ ද ත්‍රස්තවාදී තර්ජන ආරම්භ වීමත් සමඟම එම කටයුතු යළි ඇණ හිටියා.

රාවගල පුද බිම ගැන අදහස් දැක්වූ රතනසාර හිමියන් පවසා සිටියේ කඳු මුදුනේ ආරක්ෂක මුරපොළක් ඉදිකර තිබූ නිසා යම් පමණකට මේ භූමිය ආරක්ෂා වූ බවයි. 2018 වසරේ පැමිණ උන් වහන්සේ විසින් මේ පුදබිම රැක ගෙන ඇත්තේ විවිධාකාර අන්තවාදී තර්ජන මැදයි.

නිසි සංඝාවාසයක් නොමැති නිසා උන් වහන්සේ වැඩ වාසය කර ඇත්තේ තහඩුවලින් සමන්විත වූ කුඩා කාමරයකයි. දිවා කාලයේ අඹ ගස මුල පැදුරක් එළාගෙන සැතපී මේ බෞද්ධ උරුමය රැක ගන්නට උන් වහන්සේ කටයුතු කළේ එකල නැඟෙනහිර පළාතේ ප්‍රාදේශීය ලේකම්වරයකුගේ නිල රථයෙන්ම පැමිණ මේ ආසන්නයේ පිහිටි සැදු කුඩා ඉපැරැණි චෛත්‍යයක් ඩෝසර් කරන ලද නිසයි.

රහතන් වහන්සේ ලක්ෂ ගණනක් වන්දනා මාන කළ රාවගල කඳු මුදුණේ චෛත්‍යක් ඉදි කිරීම පිණිස මේ වන විට කටයුතු කර තිබෙන අතර රාවගල සම්බන්ධ ව අවධානය වහාම යොමු කරන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කළ යුත්තේ මුහුදු මහා විහාරයට ගුරුකන්ද විහාරයට වූ දෙය මේ පුදබිමට අත් නොවිය යුතු නිසයි.

   පොසොන් අමාවක පෝය 

පොසොන් අමාවක පෝය
ජුනි 20 සෙනසුරාදා පූර්ව භාග 11.52න් අමාවක ලබා 21 ඉරිදා අපර භාග 12.11ට පෝය ගෙවේ.
සෙනසුරාදා සිල්

මීළඟ පෝය 28 වනදා
ඉරිදා
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසෙලාස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]