[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව 07 කොටස : නාගදීපයට නාවික හමුදා කඳවුරක්

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව 07 කොටස :

නාගදීපයට නාවික හමුදා කඳවුරක්

කුඩා කල සිටම දඟකාර දිවියක් ගත කළ පද්මසිරි මැන්දිස් නාගදීප විහාරයේ දී නවදගල පදුමකිත්ති නමින් පැවිදි කළ ද පොඩි හාමුදුරුවන්ගේ දඟකාරකම් නම් අඩු වූයේ නැත. දිනපතාම නායක හාමුදුරුවන්ගෙන් පහර කෑමට උන් වහන්සේට සිදු විය.

පදුමකිත්ති හිමියන් ස්නානය පිණිස වැඩම කෙළේ ‘ළිඳවත්ත‘ නම් විහාරස්ථානයේ සිට තරමක් දුරින් පිහිටි ළිඳකට ය. එය කාන්තාවන් පවා ස්නානය කරන ළිඳකි.

ළිඳට වැඩම කරන පොඩි හාමුදුරුවන්ට වතුර අදින්නට සිදු වූයේ නැත. දූපතේ දෙමළ කාන්තාවන් පොඩි හාමුදුරුවන් නානකඩය ඇඳගත් පසු වතුර ඇද නාවන්නට විය. සබන් ගෑම, කුණු ඇතිල්ලීම පවා දෙමළ කාන්තාවන් විසින්ම සිදු කරන ලදී. පැයක් පමණ පොඩි හාමුදුරුවන් එසේ නහවන දෙමළ කාන්තාවන් දෙමළ ගී පවා ගායනා කෙළේ නාවන අතරේ ය. පොඩි හාමුදුරුවන්ට එසේ කවුරුත් ආදරේ කරන්නට විය. එක් කාන්තාවක් විසින් පොඩි හාමුදුරුවන් නැහැවීම පිණිස ලොකු පිටි ටින් එකකින් තැනූ බාල්දියක් ද වෙන් කර තිබුණි.

පැවිදිවීමෙන් පසුව පොඩි හාමුදුරුවන්ගේ හොඳම දෙමළ මිතුරා බවට පත් වූයේ සිවා ය. විහාරස්ථානයට ආසන්න ව පදිංචිව සිටි සිවා පන්සලේ සුළු වැඩවලට සහාය වූයේ ය. ඒ වෙනුවෙන් ධම්මකිත්ති නායක හාමුදුරුවෝ දිනකට ශත 10ක් සිවාට ලබා දුන්හ. පන්සලේ වැඩි කාලයක් රැඳී සිටි සිවා පොඩි හාමුදුරුවන්ට දෙමළ පවා ඉගැන්වූයේ ය.

දහවල් දානයෙන් පසුව නායක හාමුදුරුවෝ මඳ වේලාවක් සැතපෙති. ඊට පෙර පදුමකිත්ති හිමියන්ට ධර්ම පොතක් පිටපත් කරන්නැයි අණ කරති. නායක හිමියන් පවසන පරිදිම පදුමකිත්ති පොඩි හාමුදුරුවෝ ඉක්මනින් ධර්ම පොතක් පිටපත් කර සිවා සමඟ සෙල්ලමට එක්වීමට කටයුතු කරති.

එකල නාගදීපයේ ‘කට්ටුමරම්‘ නමින් කුඩා යාත්‍රාවක් තිබුණි. එයින් ප්‍රධාන වශයෙන් කෙළේ නාගදීපයට යන එන මඟී යාත්‍රාවල පතුලේ පිරෙන ජලය ඉවත් කිරීමයි. නායක හිමියන් සැතපුණු විට පදුමකිත්ති හිමියෝ සිවා හා ගොස් එම යාත්‍රාවේ ටික දුරක් හබල් ගාමින් යති. මුහුදේ ඈතට නොගිය ද පදුමකිත්ති හිමිගේ සිවුර තෙත බරිත විය.

‘‘සිවුර තෙමුණෙ මොනව වෙලාද?‘‘ නායක හාමුදුරුවෝ විහාරස්ථානයට පැමිණෙන පදුමකිත්ති හිමි වෙත බැණ වැදුණාහ.

‘‘සතෙක් ජරා කරා, ඒක නිසා හේදුවා‘‘

‘‘මොන වතුරෙන්ද හේදුවෙ‘‘ නායක හිමියෝ සිවුරේ තිබුණු වැලිකැට කිහිපයක් දැක විමසූහ.

‘‘ළිඳේ වතුරෙන්“ පදුමකිත්ති හිමියෝ ඇගට පතට නොදැනී කීහ.


නාගදීපයට පැමිණි නාවික හමුදා කණ්ඩායමේ නිලධාරියකු සමඟ පදුමකිත්ති හිමි එදා

පසුදින ද යාත්‍රාවට නැඟී මුහුදේ වෙරළ සමීපයෙන් යාත්‍රා කර ගොඩබැස විහාරස්ථානයට යෑමට සැරසෙනවාත් සමඟ ම මහත වේවැල් පහර කීපයක් පදුමකිත්ති හිමිට වැදුණි. නා හිමියන් පදුමකිත්ති හිමි මුහුදේ යාත්‍රා කරනු දැක වේවැල ද රැගෙන වෙරළේ බලා සිටියහ. වේවැල් පහර කාගෙනම පදුමකිත්ති හිමියෝ විහාරස්ථානයට දුවමින් වැඩම කළහ.

‘‘සිවා කට්ටුමරමෙ බැමි කපල විසි කරල දාපන්‘‘ නා හිමියෝ විහාරස්ථානයට වැඩම කරමින් සිවාටම පැවසූහ. ඔහුද ඒ ලෙසින්ම කටයුතු කෙළේ ය. එසේ වුවද පසු දිනද සිවා සමඟ ගොස් කට්ටුමරමෙ කොට දෙකක් එකතු කර ඒවා එක්කර බැඳගෙන මුහුදේ ඔරු පදින්නට පදුමකිත්ති හිමියෝ කටයුතු කළහ. යාත්‍රාව නිසි පරිදි බැඳ නොතිබූ හෙයින් එහාට මෙහාට වැඩියෙන් පැද්දුණේ ය. හදිසියේම ආ සුළං හා රළ පහර නිසා යාත්‍රාව ගැඹුරු මුහුද දෙසට ඇදී ගියේ ය. දෙදෙනාටම දවල් තරු පෙනුණි. කරන්නට කිසිවක් නොවී ය.

සිවා වහාම සරම ගළවා අතට ගත්තේ ය. ඔහු අමු නිරුවතිනි. එක් කෙළවරක් සිවා අත ය. අනෙක් කෙළවර පදුමකිත්ති හිමි අත ය. දෙදෙනාම එකතුව සරම රුවලක් මෙන් අල්ලා ගත්හ.

අටවා ගත් යාත්‍රාව වෙරළට එන විට වැඩම කළ සිටි නා හිමියෝ පදුමකිත්ති හිමියන් බෙල්ලෙන් අල්ලා ගත්හ. පසු පසට මෙන්ම පිටට හොඳ හැටි වේවැල් පහර දුන්හ. පහර දීම නතර වූයේ වේවැල කැඩුණු පසු ය.

යාත්‍රාව ගෙන යන ලෙස නා හිමියෝ විහාරස්ථානයට පැමිණි සිටි දෙමළ වැසියකුට පැවසූහ. ඔහු එම කොට සහිත යාත්‍රාව රැගෙන ගියේ ය. එයින් පසු පදුමකිත්ති හිමියන්ට තිබූ ලොකුම ප්‍රශ්නය මුහුදේ ගමන් කරන්නේ කෙසේද යන්නයි.

මේ අතර යාපනයේ නගරාධිපතිවරයා වූ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතා ඝාතනය කළ බවට ජනතාව කතා කරන්නට වුවද පොඩි හාමුදුරුවන්ට එය එතරම් තේරුම් ගියේ නැත.

දින කිහිපයකට පසුව සිවා විහාරස්ථානයට දුවවිත් පොඩි හාමුදුරුවන්ට පැවසුවේ ලොකු තල්මුලක් මුහුදේ ගසා ගෙන විත් ඇති බැවින් එයින් බෝට්ටු පැදිය හැකි බවයි. දහවල් දානයෙන් පසුව නායක හිමියන් සැතපෙන්නට වූ පසුව දෙදෙනාම වෙරළට ගියහ. විශාල තල් මුල මුහුදට දමා දෙදෙනා එහි එල්ලී යන්නට උත්සාහ කළ මුත් තල් මුල කැරකෙන්නට විය. අඩි 10කට වඩා එයින් යන්නට නොහැකි විය. දෙදෙනාම හොඳට තෙත බරියම් විය.

මේ ලෙසින් පදුමකිත්ති පොඩි හාමුදුරුවන්ගේ දඟකාරකම්වල නම් අඩුවක් නොවී ය. 1977 වසර උදා විය. ඒ වන විට පොඩි හාමුදුරුවන්ට අවුරුදු 16කි. දොරේ අප්පා ඝාතනයෙන් ඒ වන විට වසර දෙකක් පමණ ගත වී තිබුණි. උතුරේ තැන් තැන්වල කලබල ඇති වන බව පොඩි හාමුදුරුවන්ට ආරංචි විය. අවි ගත් දෙමළ තරුණ පිරිස් කලහකාරී ලෙස හැසිරෙන බවට ආරංචි විය. ඒ නිසා යාපනයේ සිංහල ජනතාවට විශාල ගැටලු ඇති වූ අතර ඔවුන් පදිංචි ව සිටි නිවාස පවා කොල්ල කෑ බවට වාර්තා වීම නිසා නා හිමියන්ට යාපනයට වැඩම නොකරන ලෙස ආරක්ෂක අංශවලින් උපදෙස් ලැබී තිබුණි. ඒ අතර යාපනයේ නාග විහාරය ගිනිතැබූ කලහකාරීහු එහි තිබූ දේපළ ද කොල්ල කෑහ. එවකට යාපනය මහ දිසාපතිවරයා ලෙස කටයුතු කෙළේ ලාල් විජේපාල මහතා ය. ඔහු සිංහල දෙමළ සියලු ජනතාව සමඟ ඉතා හොඳ මිත්‍රශීලීත්වයක් තිබු අයෙකි. ඔහු විශාල වෙහෙසක් ගත්තේ මේ කලහකාරීත්වය පාලනය කිරීමට ය.

නාගදීපයේ සිංහල දෙමළ ජනතාව අතර නම් කලහකාරීත්වය ගැටලුවක් නොවී ය. නායක හාමුදුරුවන්ට කවුරුත් ගරු කළහ. නායක හාමුදුරුවන්ද ජනතාව සමඟ ඉතා හොඳීන් සුහද ව කල් ගෙවූ නිසා නාගදීපයේ කිසිදු කලබලයක් සිදු නොවුණි.

ඒ කෙසේ වුවත් නාගදීපයට ද මේ කලබල තත්ත්වය ඇති වෙනු ඇතැයි සිතමින් එවකට ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් නාගදීපයට නාවික හමුදා කඳවුරක් ස්ථාපිත කළ යුතු බවට උපදෙස් ලබා දී තිබුණි. නාගදීපයේ ලොකු හාමුදුරුවෝත් පදුමකිත්ති පොඩි හාමුදුරුවෝත් මේ සියලු කරුණු දැන ගත්තේ සති අන්ත ඉරිදා පුවත්පත්වලිනි. ඒ කාලයේ නාගදීපයේ ගුවන් විදුලි යන්ත්‍ර ක්‍රියා නොකළ හෙයින් සියලු ප්‍රවෘත්ති දැන ගැන්මට තිබුණු එකම මාර්ගය පුවත්පත් පමණි. විශේෂයෙන්ම එකල සිට නාගදීපයට අනිවාර්යනේ ම මිල දී ගත් පුවත්පතක් වූයේ ‘සිළුමිණ‘ පුවත්පතයි.

නාවික හමුදාවේ කතාව සැබෑ කරමින් නෞකා කිහිපයකින් නාවික නිලධාරීහු විශාල පිරිසක් නාගදීපයට පැමිණියහ. ඔවුන් පැමිණ කඳවුරු ඉදි කරන අයුරු පොඩි හාමුදුරුවෝ, සිවා සමඟ බලා සිටියේ නායක හාමුදුරුවන්ට නොපෙනෙන ලෙසිනි. එසේ වුවත් අද තරම් තාක්ෂණය දියුණු නොවූ එකල එක්වරම ඔවුන්ට නවාතැන් ගැනීමට ස්ථාන සකස් කර ගැනීම පහසු නොවීය. මේ නිසා ඔවුන් වැඩි පිරිසක් නේවාසිකව සිටියේ විහාරස්ථානයේ ධර්ම ශාලාවේය. නාවික හමුදාවේ 1000ක පමණ පිරිසක් ඒ අනුව කඳවුරු බඳීන ලදී.

(මතු සම්බන්ධයි)

   පොසොන් අමාවක පෝය 

පොසොන් අමාවක පෝය
ජුනි 20 සෙනසුරාදා පූර්ව භාග 11.52න් අමාවක ලබා 21 ඉරිදා අපර භාග 12.11ට පෝය ගෙවේ.
සෙනසුරාදා සිල්

මීළඟ පෝය 28 වනදා
ඉරිදා
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]