[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අභියෝග හමුවේ ජීවිතය ජය ගැනීමට...

අභියෝග හමුවේ ජීවිතය ජය ගැනීමට...

අදින් වසර 327 කට පෙර අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ සේක.උන්වහන්සේ ලංකාවට වඩින සමයේ සිටි හෙළයෝ කෘෂි කාර්මික ජීවිතයක් ගත කළ පිරිසකි.

මිහිඳු මහරහතන් වහන්සේ වැඩම වීමට පෙර සිටම වැව් තැනීම ආදී තාක්ෂණික දැනුමක් තිබුණත් ඔවුනට අවශ්‍ය ආධ්‍යාත්මික දර්ශනයක් නො තිබුණි. පණ්ඩුකාභය සමය පිළිබඳ මහාවංසයේ දැක්වෙන විස්තරයෙන් ඔවුන්ගේ ආගම යක්ෂ, දේව විශ්වාස හා ගස් ,ගල් ඇදහීම වූ බව පැහැදිලි වෙයි.

මහාවංසය සහ සමන්තපාසාදිකාව අනුව මේ ද්වීපය කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයේ ‘ඕජදීප’ නම්විය. කෝනාගම බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී ‘වරදීප’ නම් විය. කස්සප බුදුන්ගේ කාලයේ ‘මණ්ඩදීප’ නම් විය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ ‘සිංහලදීප’ නම් විය.මහින්දාගමනය කාලය වන විට සිංහල ද්වීප, ලංකාදීප, සහ තම්බපණ්නි යන නම් ව්‍යවහාර විය.

මහින්දාගමනය වන කාලයේ මැනවින් අකුරු භාවිතය පැවති අතර විදේශවලට රාජ්‍යතන්ත්‍රික ලිපි ලිවීමත්, රාජ්‍ය දූතයන් විදේශ රටවලට යෑමත් සිදුවිය.අකුරු භාවිතයක් මතු නොව වචන උච්චාරණයක් නැති කාලයේත් මනුෂ්‍යයෝ ලංකාභූමියේ සිටි අතර ඔවුන් අදහස් ප්‍රකාශ කිරීමට නැගූ හඬ තුළින් ලංකාවේ භාෂාව සකස් විය. එම භාෂාව සිංහලයි. රට සිංහලේයි. . පුරා විද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමාගේ පැහැදිලි කිරීම් තුළින් මේ කරුණු ශාස්ත්‍රීයව ඉදිරිපත් වේ. යටත් පිරිසෙන් අවුරුදු එක් ලක්ෂ විසි දහසක පමණ මනුෂ්‍ය ඉතිහාසයක් ශ්‍රී ලංකාවට පවතී. ඕස්ටේ‍්‍රලියව ,ඉන්දියාව තරම්ම ස්වාධීන මානව ඉතිහාසයක් අපට පවතී.

මේ දීර්ඝ කාලය තුළ ඇතිවුණු අභියෝගවලට ලෝකයේ පොදු මිනිසා මුහුණ දුන්නා සේ ලාංකිකයෝ ද මුහුණ දුන්හ. ඔවුන්ට ද ඉපැරණි ලොව අනෙක් මනුෂ්‍යයන්ට මෙන් සමාන ආගමික චාරිත්‍ර පැවතුණි. ස්වාභාව ධර්මයේ අපැහැදිලි අවස්ථා දෙවිවරු ලෙසත්, ඉන් බියට පත් වන අවස්ථා දේව කෝප ලෙසත් ,බලවත් යක්ෂයින් ආරක්ෂකයන් ලෙසත් ,මහා ගස් දේවතාවුන් වසන ස්ථාන ලෙසත් සැලකීම ප්‍රාග් ඓතිහාසික යුගයේ සියලු රටවල පැවති විශ්වාසයන් ය.

ලාංකිකයෝ ද මෙම චාරිත්‍ර පිළිපැද්දහ. ලොව පාලනය කරන දේව මණ්ඩල ගැනත් පසුව නිර්මාතෘ දෙවියකු හෝ මහාත්මයක් හෝ මහා පුරුෂයකු හෝ ඇතැයි මිනිස්සු ක්‍රමයෙන් පිළිගත්හ. එබැවින් ආගම් බිහිවිය. බුදුරජාණන් වහන්සේ මිනිසුන් ආගම් සරණ යන්නේ බියෙන් තැතිගත් නිසා බව ප්‍රකාශ කළහ. ආගමේ නිර්මාණය ගැන නූතන මානව විද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන් ප්‍රකාශ කරන මේ කරුණ ඊට බොහෝ කලකට පෙර බුදු හිමියෝ වදාළහ.

‘බහුං වෙ සරණං යන්ති
පබ්බතානි වනානි ච
ආරාම රුක්ඛ චේත්‍යානි
මනුස්සා භය තජ්ජිතා’

බියෙන් තැති ගස් මිනිස්සු පර්වත,වන,ආරාම(කැලෑ) ගස් සරණ යන බවත් ඒ සරණය උතුම් නොවන බවත් උන්වහන්සේගේ දේශනයයි.

මෙම ආගමට දැනුම ලබාගැනීම, හැදැරීම, විමසීම, තර්කනය, විචාරය අයිති නොවේ. නිසි ලෙස චාරිත්‍ර කළ යුතු ය. කට වරද්දා නොගත යුතු ය. ගත වරද්දා නොගත යුතු ය. ඒ නිසා මෙම ආගමේ අධිකාරිත්වය දරන පූජකවරු බිහිවිය. මිනිසාගේ ඉපදීමේ සිට මරණය දක්වාත් මරණයෙන් පසු පවත්වන යාගහෝම, බලි බිලි ආදි චාරිත්‍රත් ඇති විය. ඒ සියල්ල දන්නෝ පූජකයෝය. මේ පරිසරය ලංකාවේ ද පැවතුණි. පණ්ඩුකාභය සමයේ ලංකාවේ පැවතියේ මෙම ආගමික පරිසරයයි. මහාවංසයේ දස වන පරිච්ඡේදයේ මෙම විස්තර දැක්වේ. යම් අභියෝගයක් ඇති වුවහොත් පූජකයන්ගේ මාර්ගයෙන් දෙවිවරුන්ට, යකුන්ට, ගස්ගල් වලට, යාඥාකිරීමත් බලි බිලි දීමත් කළයුතු විය. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළේ මෙම සමාජ පරිසරය තුළයි. ඉන්දියාවේ පැවති ආගම් සියල්ලම වාගේ ලංකාවට බලපා තිබුණි, මුහුදු ගමන් හා ඊට අදාළ තාක්ෂණය ලාංකිකයන්ට මේ වන විට තිබුණු අතර වෙළදුන් ඉන්දියවෙන් ලංකාවට පැමිණියහ. සංස්කෘතික වාහකයන් වෙළඳුන් බැවින් එකල ඉන්දියාවේ පැවති බ්‍රාහ්මණ ආගම පමණක් නොව ශ්‍රමණ සම්ප්‍රදා ද ලංකාවට පැමිණ තිබුණි.

මිහිඳු මහ රහතන් වහන්සේට ලංකාවේදී මුණ ගැසුනේ තීක්ෂණ නුවණක් ඇති,බුදු දහම වැනි ගැඹුරු දහමක් වටහා ගත හැකි රජ කෙනෙකි. උන්වහන්සේ මුලින්ම දේශනා කළ චුල්ලහත්ථි පදෝපම සූත්‍රය සහ එහි සංකල්ප වටහා ගැනීමට ප්‍රමාණවත් දැනුමක් දෙවානම් පියතිස්ස රජුට තිබුණි. සාමාන්‍ය ගිහි පුද්ගලයෙක් ආර්ය ස්වභාවයට පත්ව ආර්ය ශීලය, ආර්ය ඉන්ද්‍රිය සංවරය, ආර්ය සමාධිය, වඩමින් නිවන් මග ගමන් කරන ආකාරය එහි පැහැදිලි කෙරෙයි. බුදු වදන සියලු ආගම් හා දර්ශන වලට හත්ථි පදෝපම වන්නේ කෙසේ දැයි එහි පැහැදැලි කෙරෙයි. මිනිසාට බලපාන ගැටලුවලට යාග හෝම හෝ බලි බිලි පැවැත්වීම හෝ බලවතුන් පාමුල වැඳ වැටී යාඥා කිරීම හෝ නොවන ස්ව උත්සාහයෙන් මුහුණ දීමට ආර්ය ශීලය පදනම් කර ගත් උට්ඨාන වීර්යය ඇතිකරගත යුතු බව මේ සූත්‍රයේ නිර්දේශ වෙයි. යහපත් ඉන්ද්‍රිය සංවරය ඇති කරගත යුතු අතර ඉන් ප්‍රධාන මනෝඉන්ද්‍රිය උට්ඨාන වීර්යයෙන් සංවර කරගත යුතු ය, මෙලෙස වඩන නුවණ ප්‍රඥාවට මග පාදයි.

බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදා දෙකක් වදාළහ. එකක් අනගාරික ප්‍රතිපදාවයි. අනෙක අගාරික ප්‍රතිපදාවයි. ලෝවැසි ප්‍රජාවගෙන් වැඩිම ප්‍රතිශතය අගාරිකයි. පැවිද්දන් නොව ගිහියෝයි. අනගාරික වන්නෝ දුලබයි. එහෙත් එය උසස් චර්යාව වෙයි. ගිහි පැවිදි දෙපක්ෂයටම තම ජීවන පැවැත්ම අභියෝගයකි. මෙයින් ගිහි ජීවිතය සංකීර්ණ ය. බැ½දීම් සහිතය. ව්‍යාකූල ය. එම ගිහියන්ට ආර්ථික අභියෝග රාශියකි. මේ අභියෝගවලට මුහුණ දෙන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවස්ථාවක් ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ පැහැදිලි කෙරෙයි.කාමභොගී ගිහියකු වන දීඝජානු කෝලිය නම් තැනැත්තා තමන්ට හා තම සමාජයට බලපාන අභියෝගයක් විසඳීමට ක්‍රම වේදය බුදුරජාණන් වහන්සේගෙන් විමසී ය. ‘ස්වාමිනි , අපි කාම භෝගි ගිහියෝ වෙමු . ගිහි සැප භුක්ති විඳීන්නෝ වෙමු. අඹු දරු සම්බාධ සහිත ව වාසය කරමු. කසී සළු දරමු. සුවඳ සඳුන් පරිභෝග කරමු. රන් රිදී මසු කහවනු ඉවසමු. අපට මෙලොව සහ පරලොව සැප පිණිස දහමක් දේශනා කරනු මැනවි.’

ගිහියෙක් මෙලොව පරලොව හිත සුව ලබා ගන්නේ කෙසේ ද යන්න මෙහි අභියෝගයයි. මෙලොව ජීවිතයේ අභියෝග ජයග්‍රහණයට සම්පදා සතරක් උන් වහන්සේ වදාළහ. උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා,කල්‍යාණ මිත්තතා හා සමජීවිකතා යන සතරයි. තමන් කරණ රැකියාව හෝ නිෂ්පාදන කාර්යය ධාර්මික විය යුතු අතර එහි දක්ෂව, අනලස් ව, සුදුසු කාල හා පරිසරය දැන, උපාය ශක්තියෙන් හා විමර්ශන බුද්ධියෙන් කටයුතු කිරීම හා කරවීම උට්ඨාන සම්ප්‍රදාවයි. මෙසේ උට්ඨාන වීර්යයෙන්, බාහු බලයෙන්, දහඩිය වගුරුවා, උපයන ලද දැහැමි ධනය රජුන්ගෙන්, සොරුන්ගෙන්, ගින්නෙන්, සැඩ පහරින් ,අප්‍රිය ඤාතීන්ගෙන් රැක ගැනීම ආරක්ඛ සම්පදාවයි. විශේෂ යෙන්ම උපයන ධනය විනාස වන්නේ දුරාචාරයෙන් සහ පාපමිත්‍රයන් නිසා යි .එබැවින් ස්ත්‍රී ධූර්ත, සුරා ධූර්ත, අක්ෂ ධූර්ත නොවිය යුතුයි, මේ ඉගැන්වීම ඉහත සූත්‍රයේ පුළුල්ව විස්තර වෙයි. පුද්ගලික ජීවිතයට පමණක් නොව රාජ්‍යයක ආර්ථික නිෂ්පාදනයට හා සංරක්ෂතාවට මේ ඉගැන්විම මැනවින් අදාළ වෙයි.

( මෙම ලිපියේ ඉතිරි කොටස එළඹෙන අව අටවක පෝදා පත්‍රයේ පළ වේ)

   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]