[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිරෝගී ජීවිතයට ධර්මෝපදේශ

නිරෝගී ජීවිතයට ධර්මෝපදේශ

වැස්ස අලස පුද්ගලයා මෙන් ම අනලස් තැනැත්තා ද පෝෂණය කරන බව පෙළෙහි සඳහන් වේ. පොළොව ඇසුරු කළ සියලු ප්‍රාණීහු වැස්ස නිසා ජීවත් වෙති. මෙසේ වැස්ස ද ජලය ද අගය කළ බුදුරජාණන් වහන්සේ අපිරිසුදු බව නො ඉවසූහ.

මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ලක්වැසියන් වෙත දායාද කරන ලද විශිෂ්ටතම සම්පත පාලි භාෂාමය වූ ඉපැරැණි ධර්ම විනයයි. එම ධර්ම විනය පාදක කොටගෙන මෙරට ජනතාවට උගන්වා ඇති සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අදාළ වූ සදූපදේශයන් ද රැසකි.

බුදු දහම අනුව අපට වැළඳෙන රෝග දෙයාකාරය. එනම් කායික හා මානසික යනුවෙනි. යමෙකු වසර දහයක් හෝ සියයක් හෝ කායික රෝගවලින් තොරව සිටිය හැකි ය. එහෙත් මානසික රෝගවලින් තොරව වසන්නෙකු රහතන් වහන්නේ නමකගෙන් මෙපිට දක්නට නොලැබේ. යනු බුද්ධ වචනයයි.

ඒ අනුව පුහුදුන් සියල්ලෝ මානසික රෝගීහු වෙති. ඒ ඔවුන් තුළ රෝග නිදානයන් වන රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් ඇති බැවිනි. මානසික රෝගාබාධයන්ගෙන් තොර වූව ද බුදුවරුන්ට ද කායික රෝග වැළඳේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ වැනි රහතුන් වහන්සේ ද විවිධ ආබාධවලට ලක් වූ බව සූත්‍රාන්තයන් හි සඳහන් වේ. උන්වහන්සේ ද ආබාධිත වූහ. කායිකව දුක් පීඩාවන් ට ගොදුරු වූ හ. දැඩිලෙස ගිලන් වූහ. අවසන් වස්සාන යාමයේ වේලුව ගමෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ ආබාධිත වූහ. ශාරීරික දුක් උපන්හ. දැඩිව ගිලන් වූ උන් වහන්සේට ලෝහිතක්ඛන්දිකා නම් රෝගය වැළැඳුණ බව සඳහන් වේ. එයින් දැඩි දුක් වේදනා ඇතිවිය. එම අවස්ථාවට පෙර ද විටින් විට බුදුරජාණන් වහන්සේ රෝගී වූ තැන් පෙළ දහමෙහි දැක්වේ.

මේ අනුව කායික රෝග මේ ලෝක සත්ත්වයන්ට පමණක් නොව සියලු මානසික රෝග යන්ගෙන් මිදුණු බුද්ධාදී උතුමන්ට ද අදාළවේ. මිනිසුන්ට වැළඳෙන අනේක විධ වූ කායික රෝග 34ක් ගැන ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වේ. සූතිසක් වූ කායික රෝග මාලාව පිළිබඳ ගිරිමානන්ද සූත්‍රයේ අවසන් වන්නේ එබඳු රෝග පිළිබඳ වර්ගීකරණයකිනි. ඒවා රෝග හේතු ලෙස ද හැඳින්විය හැකි ය.

වාතය කිපීමෙන් හටගන්නා ආබාධ, පිත කිපීමෙන් හට ගන්නා ආබාධ, සෙම කිපීමෙන් හටගන්නා ආබාධ, ඉහත කී තුන්දොස් කිපීමෙන් හට ගන්නා ආබාධ, සෘතු වෙනස්වීමෙන්, නුසුදුසු ඉරියව් නිසා, අනුන්ගේ උපක්‍රම නිසා, කර්ම විපාකයෙන් වැළදෙන ආබාධ මෙසේ හඳුන්වා දී ඇත. කය සහ මනස අතර ඇත්තේ සාපේක්ෂක සම්බන්ධයකි.

ඒ අනුව කායික රෝගී බව මෙන් ම නීරෝගී බවට ද මනස බලපායි. මානසික නීරෝගී බවට සේ ම රෝගී බවට කය බලපායි. කායික හේතු නිසා මානසික පීඩනයත්, එයින් තව තවත් කායික රෝගාබාධත් වැළඳිය හැකි ය. මානසික හේතු නිසා කායික රෝග උපදී.

අත්තස්සද්වාර ජාතකයේ සඳහන් පරිදි ආරෝග්‍යය පුද්ගලයෙකුගේ මෙලොව දියුණුවට හේතුවන කරුණු අතර පළමුවැන්න ය. එබැවින් ඉහත කී රෝගවලින් අත් මිදී නිරෝගී ජීවිතයක් ගතකරන සමාජයක් ඇතිවීම බුදුරජාණන් වහන්සේගේ අපේක්ෂාවයි. කරුණු එසේ වූව ද ආරෝග්‍ය මදයෙන් මත් නොවිය යුතුයැයි උන්වහන්සේ වදාළහ. නීරෝගී ව සිටීමෙන් හෙවත් ආරෝග්‍ය මදයෙන් මත් වන්නෝ කයින් ද, වචනයෙන් ද දුසිරිත් කරති. මතු දුගති ගාමී වෙති. රෝග පීඩා වැළදෙන්නේ නැතැයි මුළාවට පත්වෙති. කායික වශයෙන් රෝගීවීම වළක්වා ගැනීමේ එක් කරුණක් නම් නිසි ලෙස ආහාර ගැනීමයි. එය ආහාර සප්පාය ලෙස හඳුන්වා තිබේ. එසේ ම සිහි නුවණින් සලකා බලා ආහාර ගැනීම ය. අල්පේච්ඡතාවෙන් ආහාර පරිභෝග කිරිම ය.

භික්ෂූන් වහන්සේ ආහාර අනුභව කරන්නේ හුදෙක් දිවි පැවැත් ම සඳහා ය. දිවි පැවැත් ම ද හුදෙක් ඒ සඳහා ම නොව දුක්ඛ නිස්සරණයට උපකාර වන බ්‍රහ්ම චර්යාවට අනුග්‍රහය පිණිස ය. පැවිද්දා සිව් පසයෙහි ම ප්‍රමාණවත් ව ලැබීමෙන් සතුටුවෙයි. සිවුරෙන් සතුටුවෙයි. අහරෙන් සතුටු වෙයි. ජීවිතයට ප්‍රමාණවත් වූ සෙනසුනෙන් සතුටු වෙයි. ලෙඩදුක් නසන බෙහෙතෙන් සතුටු වෙයි. පැවිද්දා ලද පමණින් සතුටු වන්නේ ය. පහසුවෙන් පෝෂණය කළ හැකි වන්නේ ය. නිසැකව ම ප්‍රත්‍ය පරිභෝජනය හා බැඳුණු මෙම චිත්තාවත් හා චර්යාවත් ද රෝග පීඩා වළක්වා ගැනීමට උපකාරී වේ.

නිබඳව ම තණ්හාවෙන්, අතෘප්තිකර ව ජීවත්වීම බුද්ධ වචනයට අභිමත නොවේ. එයින් මානසික මෙන් ම කායික රෝගී බව ද ඇතිවේ. සිව්පසයෙහි ලද පමණින් සතුටු වීම ආර්යවංස ධර්මයක් බව බුද්ධ වචනයෙහි පෙන්වා දේ. ලද පමණින් සතුටු වීම, එම පිළිවෙතෙහි ගුණ කීම, අයුතු ලෙස පිණ්ඩපාතයෙහි නොහැසිරීම, පිණ්ඩපාතය ලැබීමෙන් හෝ නොලැබීමෙන් වික්ෂිප්ත සිත් උපදවා නොගැනීම, ආදීනව දකිමින් පරිභෝග කිරීම අනලස් වීම එහිලා වර්ණනා කොට ඇත. ලද පමණින් සතුටු වීම, සුදුසු ගැළපෙන දෙයින් සතුටු වීම ආර්යවංස ප්‍රතිපදාව ය. පමණ නොදැන ආහාර අනුභව කිරීමට පුරුදු වී සිටි කොසොල් රජු ඇමතූ බුදුරජාණන් වහ්නසේ හැම කල්හි මනා සිහි නුවණින් යුතු ව පමණ දැන ආහාර ගන්නා තැනැත්තා කායික වේදනාවන්ගෙන් තොරවන බව ද, වැළඳූ ආහාර සෙමෙන් දිරවීමෙන් ආයුෂ පාලනය වන බව ද වදාළහ.

ආහාර පරිභීජනයේ දී මෙන් ම ජල පරිහරණයේ දී ද සෞඛ්‍ය සම්පන්න ව ක්‍රියාකිරීම ගැන ධර්ම විනයෙහි දක්වා ඇත්තේ ඉතා විශාල උනන්දුවකිනි. මව පුතෙකු පෝෂණය කරන්නා සේ , වැස්ස අලස පුද්ගලයා මෙන් ම අනලස් තැනැත්තා ද පෝෂණය කරන බව පෙළෙහි සඳහන් වේ. පොළොව ඇසුරු කළ සියලු ප්‍රාණීහු වැස්ස නිසා ජීවත් වෙති. මෙසේ වැස්ස ද ජලය ද අගය කළ බුදුරජාණන් වහන්සේ අපිරිසුදු බව නො ඉවසූහ. ජලය පිරිසුදුව තබා ගැනීම ඉතා වැදගත් කරුණක් බව විනයෙහි දක්වා තිබේ. ඒ සඳහා භාවිත කළ යුතු උපකරණ ද දක්වා ඇත. භික්ෂූන් වහන්සේ ජලය පෙරා පානය කළ යුතු ය. ඒ සඳහා පෙරහන් කඩක් අනු දැන ඇත. සෞඛ්‍ය රැක ගැනීම සඳහා ද, කුඩා ප්‍රාණීන්ගේ දිවි රැකුම සඳහා ද පැන් පෙරා පරිහරණය කරන ලදී. නොපෙරූ ජලය භික්ෂූන්ට ඇකැප ය.

යම් භික්ෂුවක් අමනාප සිතින් තවත් භික්ෂුවකට පෙරහන නොදේ නම් ඔහුට ඇවැතක් සිදු වේ. පෙරහණක් නැති විට සිවුරු කොණෙන් හෝ ජලය පෙරා ගැනීමට අනුශාසනා කර ඇත.

මෙසේ ජල දූෂණය වළකනු පිණිස ආරාම තැනීමේ දී පානීය පරිභෝජනීය ජලාශ සමීපයෙහි සෙනසුන් නොකළ යුතු යැයි පෙන්වා ඇත්තේ ය. මේ හැරුණු විට සේනාසන පරිභෝජගය හා බැඳුණු උපදෙස් රාශියක් ද පෙළ දහමේ දැක්වේ.

යම් වෙහෙරක වෙසේ ද, ඒ වෙහෙර කුණු කසළ සහිත ද, ඉදින් හැකිනම් පිරිසුදු කළ යුතු ය. වෙහෙර පිරිසුදු කරන්නා විසින් පාත්‍රා සිවුරු පිටතට ගෙන ගොස් එක් පැත්තක තැබිය යුතු ය. බුමුතුරුණු තවත් පසෙක තබා අව්වේ වේලා පිරිසුදු කොට ගසාදමා ඇතුළට ගෙනවුත් පෙර තිබූ පරිදි ම තැබිය යුතු ය. ඇඳ ද , පාපිස්න ද එක් පසෙක අව්වේ වේළා පිස දමා ආවාසය ඇතුළට ගෙන ගොස් තිබූ තැන්හි ම තැබිය යුතුය.

ඇඳ එක් පසෙක අව්වේ වේළා පිරිසුදු කොට ගසා දමා පහත් කොට දොර පළු, බිත්ති ආදිය නොකඩා මැනවින් තිබූ සෙයින් ම තැබිය යුතු ය. පුටුව ද, මෙට්ටත්, කොට්ටත්, නිසීදනය ද, පසතුරුණු ද, කෙළ ගසන බඳුන ද එසේ තැබිය යුතු යැයි උගන්වා තිබේ. මේ සියලු උපදෙස් සෞඛ්‍ය සම්පන්න පැවැත්මකට උපකාර වේ. ඉදින් වෙහෙර මකුළු දැල් බැඳ ඇත්තේ ද, පළමුව ඉහළ සිට පහළට ඒවා ඉවත් කළ යුතු ය. කුටියට එළිය වැටෙන ලෙස ජනේල, දොරපළු විවෘත කොට තැබිය යුතු ය. කුටියේ මුලු සතර පිස දැමිය යුතුය. හුණු පිරියම් කළ යුතුය. බිත්තිය කිිළිටි වී ඇත්නම් තෙමූ රෙදි කඩකින් පිස දමා ගත යුතු ය. කසළ රැස්කොට පසෙකට දැමිය යුතුය. භික්ෂූන් සමීපයේ දූවිලි ඇති ඇඳ ඇතිරිළි, සිව්රු ආදිය ගසා නොදැමිය යුතු ය. ඉදිරිපස මිදුලේ සිට උඩු සුළඟට හෝ යටි සුළඟට සෙනසුන ගසා නොදැමිය යුතු ය. ඉදින් පෙර දිගින් දූවිලි සහිත වාතය හමයි නම් පෙරදිගින් ඇති ජනෙල් වැසීම සුසුදු ය.

මේ ආදී වශයෙන් සෙනසුන්, සෞඛ්‍ය සම්පන්න ව, පිරිසුදු ව පවත්වාගෙන යාමට පනවන ලද මාර්ගෝපදේශ හා විනය නීති රාශියකි. එක් අතකින් ආහාර පරිභෝජනයේ දී ද එසේ ම ජල පරිහරණයේ දී ද, එසේ ම පරිසරය විධිමත් ව පවත්වා ගැනීමෙන් ද වාසස්ථාන නිසිලෙස පවත්වා ගැනීමෙන් ද භික්ෂූන්ගේ වාසස්ථාවල ඇඳ පුටු ආදිය පිරිසුදුව තබා ගැනීමෙන් ද ආදී වශයෙන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය උපදෙස් රාශියක් ම විනයෙහි සඳහන්ව ඇත.

   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]